ඉහත සඳහන් කරුණු කතෝලිකයන් විසින් මෙම සිරුර ශාන්ත සේවියර්ගේ ය යන්න තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලද ඒවාය. ඔවුන්ට අනුව ෆ්‍රැන්සිස් සේවියර් පියතුමා දුප්පත්, අඩු පහසුකම් ඇති අයට, රෝගීනට, දුක් පීඩා විඳින්නන්ට උපකාර කළ නිතර යාඥ කරමින් දෙවියන් වහන්සේට සමීපව ජීවත්වූ අයෙකි. එබැවින් එවන් උතුමෙකුගේ සිරුර සාමාන්‍ය කෙනකුගේ සිරුරකට ස්‌වාභාවිකව වන දේ නොවී දෙවියන්ගේ කැමැත්ත මත මෙලෙස නරක් නොවී තිබුණු බවට ඔවුන් විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් පොත්පත් ගණනාවක්‌ද ලියා ඇත.
දේහයේ ඇට කටු දිරනවාද?මෙතෙක් කතාව -
තොටගමුවේ රාහුල හිමි 15 වන සියවසෙහි ලක්‌දිව විසූ අග්‍රගනයේ පඬිරුවනකි. උන්වහන්සේට ත්‍රිපිටකය පමණක් නොව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ ඖෂධ පිළිබඳව ද සුවිශේෂී දැනුමක් තිබිණි. 6 වන බුවනෙකබා රජු සමඟ විරසක වූ බැවින් රහල් හිමි අවසන් කාලයේ වැඩවාසය කළේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ 'අම්බන' නම් ග්‍රාමයේය. අපවත් වන මොහොතේ උන්වහන්සේ 'සිදු අළු රසය' නම් වූ බලවත් ඖෂධයක් පානය කළ බවත් ඒ නිසාම සිරුර දින දහස් ගණනක් නරක් නොවී තබාගත හැකි වූවාය යන්න ජනප්‍රවාදයේ පවතී. රහල් හිමිගේ දකුණු බාහුවේ උන්වහන්සේ හඳුනා ගැනීමට කවි දෙකක් කොටා තිබූ අතර අද ශාන්ත සේවියර් පියතුමාගේ දේහය යයි කියනු ලබන සිරුරේ දකුණු අත අතුරුදන්ව ඇත. ශාන්ත සේවියර් යනු රෝමයේ පාප්වහන්සේ විසින් 16 වන සියවසෙහි මුල්භාගයේදී ඈත නැගෙනහිර කතෝලික ආගම පතුරුවා හැරීම පිණිස පත් කළ අයෙකි. ඔහු චීනයට යන අතරමග සැන්ක්‌ෂන් දූපතෙහි මියගිය අතර එම දේහය නරක් නොවී තිබුණු බව කිතුනුවෝ විශ්වාස කරති. සේවියර් පියතුමාගේ උස අඩි 5 1/2 ක් එනම් සෙ.මී. 169 ක් වුවද එම දේහය අඩංගු මිනී පෙට්‌ටියේ දිග සෙ. මී. 152 ක් වේ. කතෝලිකයන් පවසන්නේ මියගිය පසුව දේහය හැකිලී ගොස් ඇති බවයි. දේහය පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ ගණනාවක් කර ඇති අතර ඒ තුළින් දේහයේ දකුණු අත නොමැති බවත් සිරුරේ තුවාල ඇති බවත් සනාථ වේ. සිංහලයන් විසින් මෙම දේහය ශාන්ත සේවියර්ගේ නොව ශ්‍රී රාහුලගේය යන තර්කය තහවුරු කිරීමට කරුණු ගණනාවක් ගෙනහැර පාන අතර ගිය සතියේ එම කරුණුවලින් කිහිපයක් සඳහන් කරන ලදී. තවත් කරුණු
මෙතැන් සිට...
වර්ෂ 1922 දී වෛද්‍ය ඇන්තෝනියේ මිල්ෆ්ගන්ග් ඩි සිල්වා විසින් එම දේහය පරීක්‍ෂා කොට මෙසේ කියා තිබේ. මෙම දේහය විජලනය හෝ මමිකරණය කළ එකක් නොවේ. කකුලෙන් බත් කෙන්ඩෙහි මෘදු බව නිසා එය ළඟදී එම්බාම් කරන ලද සිරුරක් සේ පෙනේ. සාමාන්‍යයෙන් මෙය බෙහෙත් ගැල්වූ සිරුරක් බවට නම් කළ හැක. යනුවෙනි. ශාන්ත සේවියර්තුමාගේ සිරුර නරක් නොවී තබාගැනීම සඳහා කිසිදු අවස්‌ථාවක බෙහෙත් පාවිච්චි කළ බැව් හෝ පියතුමා මිය යැමට පෙර එසේ වීමට බෙහෙතක් පානය කළ බවට හෝ කතෝලිකයන් කිසිවිටෙක කිසි තැනක ප්‍රකාශ කොට නොමැත. ඔවුන් විශ්වාස කරන්නේ මෙය දේව බලයෙන් සිදු වූවක් ලෙසය. උක්‌ත වෛද්‍යවරයාද කතෝලිකයකු බැවින් මෙම දේහය ඖෂධ මගින් ආරක්‍ෂා වී ඇති බැව් ඔහුට සක්‌සුදක්‌සේ පැහැදිලි නොවූයේ නම් දෙවියන් බලෙන් එසේ සිදුව ඇතැයි ඔහු අනිවාර්යයෙන් පවසනු ඇත. (සිංහලයන් විශ්වාස කරන්නේ රහල් හිමි අපවත් වීමට මොහොතකට පෙර සිරුර දින දහස් ගණනක් නරක් නොවී තබාගැනීම සඳහා 'සිදු අළු රසය' නම් බලගතු ඖෂධයක් පානය කළ බවයි.
සේවියර් පූජකතුමා ශාන්තුවරයෙක් ලෙස ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා කළ ඉල්ලීම් පාප් වහන්සේලා තිදෙනෙක් එනම් දහහතර වන ග්‍රෙගරි පාප් වහන්සේ, පස්‌වන පෝල් පාප් වහන්සේ සහ පහළොස් වන ග්‍රෙගරි පාප් වහන්සේලා විසින් තෙවරක්‌ම ප්‍රතික්‍ෂේප කරන ලද අතර එතුමා ශාන්තුවරයෙක් ලෙස නම් කරන ලද්දේ 1624 දෙසැම්බර් 6 වැනි දින අටවන උර්බන් පාප් වහන්සේ විසිනි. ඉහත ප්‍රතික්‍ෂේපයන් තුළින් පෙන්වන්නේ එම පාප් වහන්සේලා මෙම දේහය සේවියර්ගේ බවට නොපිළිගත් බව නොවේද?
කතෝලික පූජකවරු එම කාල වකවානුවේදී ප්‍රකාශ කිරීමට යෙදුනේ එම දේහය නරක් නොවී පවතින්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ බලය නිසා බවය. නමුත් දැන් එය ක්‍රමක්‍රමයෙන් දිරාපත් වන බව වෛද්‍යවරු සනාථ කරති. තවද එහි ඇටකටු ද දිරමින් පවතී. චීන සහ ඊජිප්තුවේ මමීකරණය කරන ලද දේහයක්, ඖෂධ බලයෙන් අවුරුදු 5000 ක් පමණ කාලයක් සුරැකී තිබෙන නමුත්, දෙවියන් වහන්සේගේ 'ආශිර්වාදය' ලැබූ මෙම දේහය අවුරුදු තුන්හාරසියයකට පසුව දිරාපත් වන්නට පටන්ගෙන තිබේ. එයට හේතුව 'ඔෂධවල' බලය දෙවියන්ගේ බලයට වඩා වැඩි නිසාද? නැත. එයට හේතුව බුදු දහමට ද අනුව රහල් හිමිගේ දේහයට ද 'සියලු දේ අනිත්‍යය' යන න්‍යාය බලපාන බැවිනි.
ආචාර්ය උභයසේකර (1934) මහතාගේ තර්කය
ආචාර්ය උභයසේකර මහතා තම 'ශ්‍රී ලංකාදීප වර්ණනා' නම් කෘතියේ (වර්ෂ 1934) ගෝවේ තබා තිබෙන දේහය රාහුල හිමියන්ගේම බැව් සාධක සහිතව සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කරයි. ඔහු ප්‍රථමයෙන් සියවස් පහක් තිස්‌සේ මුවින් මුව පැමිණි ඒ හා සම්බන්ධ ජනකවි දෙකක් පිළිබඳව සඳහන් කරයි.
(එම කවි දෙක මීට පෙර සඳහන් කොට ඇත.)
එයින් පළවන කවියෙන් කියනුයේ 'මන්ත්‍ර බලයෙන් වසර දහසක් සුරක්‍ෂිතව' තබාගත් සිරුර අඩංගු ගුහාව යක්‍ෂයන් ආරක්‍ෂා කළ බවත්, සාවියර් නමැති සතුරු පෘතුගීසි ජනරාල්වරයා සහ එම හමුදාව උතුම් රාහුලගේ සිරුර ගෝවේ නගරයට ගෙන ගොස් තැබූහ. යන බවත්ය.
ආචාර්ය උභයසේකරයන් තර්ක කරනුයේ මෙම ජන කවියෙන් කියෑවෙන සාවියර් නමැත්තා අන් කිසිවකු නොව ෆ්‍රැන්සිස් සාවියර් බවත්, එවකට සිටි ලංකාවේ රජු දොන් ජුවන් ධර්මපාල කතෝලිකයකු වූ බැවින් එම සිරුර රටින් පිට කිරීමට සහාය දී ඇති බවත්ය. තවද පෘතුගීසීන් දකුණේ ජනතාව භීතියට පත් කරමින් කෲර ලෙස පාලනය කළ බැවින් මෙය ශතවර්ෂ 3 ක් පමණ රහසක්‌ව තබා ගැනීමට හැකිවූ බවත් ඉන්පසු සියල්ලන්ටම එය අමතක වන්නට ඇති බවත් ඔහු පවසයි. තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු දක්‌වන ආචාර්යවරයා මෙසේ කියයි. රාහුල හිමි අම්බන අපවත් වූ අතර ප්‍රදේශයේ ජනතාව දේහයට ඉමහත් ගරුසරු දක්‌වමින් සිටියහ. වර්ෂ 1552 දී පෘතුගීසි ජනරාල් ෆ්‍රැන්සිස් සේවියර්ගේ හමුදාව සිංහලයින් සමඟ සටන් කොට දේහය රටින් පිටකරන ලදී, එම සටන තුළදී දේහයට මරණීය තුවාල සිදුවිය හැකි බැව් පිළිගත හැකි කරුණකි. සේවියර් "ශාන්තුවරයෙක්" යෑයි කියනා නිසා එවන් ශාන්තුවරයකුගේ සිරුරේ මරණීය තුවාල තිබිය හැක්‌කේ කෙසේද? (ඉතිහාසඥ පී. ඊ. පීරිස් තම පෝචුගිස් 1505-1695 නමැති කෘතියේ ලංකාවට පැමිණි සේවියර් නමැත්තා ශාන්ත සේවියර් යන නම ලබාගත් කතෝලික ආගම වැළඳගත් කෙනෙක් බව පවසයි.)
'ශ්‍රී ලංකාද්වීප වර්ණනා' නම් පොතෙහි ආචාර්ය උභයසේකරයන් විසින් දක්‌වන ලද කරුණු සංක්‍ෂිප්තව මෙසේය.
ෆ්‍රැන්සිස් සේවියර් වර්ෂ 1552 දී දොන් ජුවන් ධර්මපාල රජ සමයේ ලංකාවට පැමිණියේය. රජු කතෝලික බැතිමතෙකු වූ අතර පෘතුගීසීන් සමඟ සුහදව සිටි බැවින් රජුගේ ද ආශිර්වාදය මත සේවියර් දකුණු වෙරලබඩ තීරයේ සිහලුන් කතෝලික ආගමට හැරවීම සඳහා දේශනා පවත්වමින් කටයුතු කළේය. මෙම ක්‍රියාදාමය අතරතුර ඔහු 'අම්බන' තිබෙන මෙම දේහය පිළිබඳව දැනගෙන එය මලක්‌කාවට ගෙන යැමට කටයුතු කළේය.
රාජකීය ආසියාතික සමාගමේ 60 වන සංස්‌කෘත සඟරාවේ 159 වැනි පිටුවේ සඳහන් පරිදි සාවියර් මලක්‌කාවේ නව ආණ්‌ඩුකාරවරයා ලෙස පත්වූ තම මිතුරාගේ එම උත්සවයට සහභාගි වීම සඳහා මලක්‌කාවට ගියේය. එසේම ඔහුගේ ජීවිත කතාව අනුව ඔහු දුර ඈත පෙදෙසක 1552 නොවැ. මස මියගිය බව දක්‌වන අතර එම කාලවකවානුව ඉහත සඳහන් මලක්‌කාවේ පැවැත්වූ උත්සවය තිබූ කාලය හා ගැලපේ.
ෆ්‍රැන්සිස් සේවියර් ජපානයේදී බුදුදහම ඉගෙන ගත් අතර ඒ බව ඔහු එස්. බීල් නමැති පූජකතුමාට, ශ්‍රී ලංකාවේ දකුණේ පවතින බුදුදහම ක්‍රිස්‌තියානි ආගම හා සසඳන විට සත්‍ය දහමක් සේ සැලකිය හැකි බව පවසා යෑවූ ලිපියෙන් සනාථ වෙයි. ලිලි නමැති කතුවරයා විසින් ලියන ලද 'බුද්ධා ඇන්ඩ් බුඩිසම්' නමැති පොතේ 193 වැනි පිටුවේ පූජක බිල්ජසින් එම ලිපිය පාප් වහන්සේට පෙන්වා ඇති බැව් සඳහන් වේ.
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......









