සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

ගෝවේ තිබෙන ඉපැරණි දේහය තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේමයි 2

දේහයේ උස අඩුවීම ගැන කියන හේතු සාධාරණද?

7 වැනි කොටස

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පහළොස්‌ වැනි සියවසෙහි ලක්‌දිව විසූ අග්‍රගන්‍ය පඬිරුවනක්‌ විය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳවද වෛද්‍ය විද්‍යාව පිළිබඳවද, නක්‍ෂත්‍රය පිළිබඳවද හසල දැනුමක්‌ තිබූ කෙනෙකි. සපුමල් කුමරු, විජයබාහු කුමරු මරා රජ වූ පසු උන්වහන්සේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ "අම්බන" නම් පෙදෙසෙහි හුදකලාව ජීවත් විය.
අපවත් වන මොහොතේ දේහය දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබා ගැනුමට "සිදු අලු රසය" නම් වූ බෙහෙතක්‌ පානය කළ බව ජනප්‍රවාදයේ ඇත. උන්වහන්සේගේ දකුණු අතෙහි කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි ගෝවේ තිබෙන දේහයෙහි දකුණු අත නොමැත. එය රාහුල හිමිගේ දේහය බව සනාථ වන බැවින් අත කපා ඉවත් කර ඇති බවට සැකකෙරේ. ශාන්ත සේවියර් යනු ස්‌පාඤ්ඤයේ ඉපිද නැගෙනහිර ආසියාවේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා පාප්වහන්සේ පත්කළ නියෝජිතයෙකි. එම පියතුමා චීනයට යන අතරතුර "සැන්ක්‌පන්" නම් දූපතෙහිදී මියගිය බව ද මලක්‌කාවට ගෙනයැමට පෙර එහි වළලා මාස කීපයකට පසුව ගොඩගන්නා විට දේහය නරක්‌ නොවී තිබුණු බව ද කිතුනු පොත පතෙහි සඳහන් වේ. තවද දේහයේ තිබෙන විවිධ තුවාල "සාධාරණීය" කිරීම සඳහා ඔවුන්ගේ වාර්තාවට දේහයට කෲර අන්දමින් සලකා ඇති බව ද සඳහන් වේ. මෙම සිරුරේ නියම තත්ත්වය පිළිබඳව නිල පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවන්වල විස්‌තරවලින් සිරුරේ දකුණු අත නොමැති බව සනාථ වී ඇත. අද එතැන් සිට....
කතෝලික බැතිමතුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවට ශාන්ත සේවියර් පියතුමා ජීවත්ව සිටින විට අඩි 5 1/2 ක්‌ එනම් මී. 1. සෙමී. 69 ක උසින් යුක්‌ත බැව් කියෑවේ. නමුත් සිරුරේ මිනුම් ගත් විට හිස කෙලින් තබා දිග මී. 1 සෙ. මී. 46 ක්‌වේ. ඔවුනට අනුව මළ සිරුරෙහි දිග අඩුවීම සාධාරණීය කර ඇත්තේ මෙසේය.
(අ) කලවා ඇටය සෙ. මී. 5 ක්‌ පමණ පහළට ඇදී යැම
(ආ) ශත වර්ෂ 4 ක්‌ තිස්‌සේ සිරුරේ වේලීම නිසා අස්‌ථි බන්ධනීන්ගේ සම්පීඩනය හේතුවෙන් සිරුර හැකිළීම.
(මෙම සාධාරණීයකරණය ඒ සම්බන්ධයෙන් වන වෛද්‍ය මතයට එකඟ නොවන බව සිංහලයෝ පවසති)
ඉහත සඳහන් කරුණු කතෝලිකයන් විසින් මෙම සිරුර ශාන්ත සේවියර්ගේ ය යන්න තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලද ඒවාය. ඔවුන්ට අනුව ෆ්‍රැන්සිස්‌ සේවියර් පියතුමා දුප්පත්, අඩු පහසුකම් ඇති අයට, රෝගීනට, දුක්‌ පීඩා විඳින්නන්ට උපකාර කළ නිතර යාඥ කරමින් දෙවියන් වහන්සේට සමීපව ජීවත්වූ අයෙකි. එබැවින් එවන් උතුමෙකුගේ සිරුර සාමාන්‍ය කෙනකුගේ සිරුරකට ස්‌වාභාවිකව වන දේ නොවී දෙවියන්ගේ කැමැත්ත මත මෙලෙස නරක්‌ නොවී තිබුණු බවට ඔවුන් විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් පොත්පත් ගණනාවක්‌ද ලියා ඇත.
නමුත් ගෝවේ දැන් තබා තිබෙන, ශාන්ත සේවියර්ගේ යෑයි කියනු ලබන එම දේහය වෙන කාගේවත් නොව රහල් හිමියන්ගේ යෑයි සිංහලයෝ එදා සිට තරයේ විශ්වාස කරයි. එසේම එය සනාථ කිරීම සඳහා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරති. 20 වන ශත වර්ෂයේදී දේශීය බෞද්ධ ආයතන ගෝවේ බලධාරීන්ගෙන් මෙම දේහය තම රටට ලබා දෙන මෙන් ඉල්ලා ලිපි පවා යවා ඇත. එවකට පැවැති "සිංහල බෞද්ධයා" නම් පුවත්පතෙහිද (1953 දෙසැ( 27) මෙම දේහය රාහුල හිමියන්ගේ බැව් සනාථ කරන කරුණු දක්‌වා ඇත.
සිංහලයන් විසින් තම තර්කය, එනම් මෙම දේහය ශාන්ත සේවියර්ගේ නොව රාහුල හිමිගේම යෑයි යන තර්කය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කරුණුවලින් සමහරක්‌ මෙසේ ය.
(අ) යුරෝපීය ජාතිකයන් තම හිසබූගෑමේ පිළිවෙතක්‌ කිසි කලෙක අනුගමනය කොට නැත. විශේෂයෙන් එලෙස එය වහල් බවේ සංකේතයක්‌ සේ සැලකූ බැවිනි. ශාන්ත සේවියර් ජීවත්වූ කාලයේ ස්‌පාඤ්ඤ හා අනෙක්‌ යුරෝපීය කතෝලික පූජකවරුන් තම හිසකෙස්‌ සහ රැවුල දීර්ඝ ලෙස වැවීම පුරුද්දක්‌ කොට තිබුණි. වර්තමානයේදී වුවද රෝමානු කතෝලික ස්‌පාඤ්ඤ පූජකවරුන් කොණ්‌ඩය බූ ගාන්නේ නැත. නමුත් මෙම දේහයේ හිසෙහි කෙස්‌ ඇත්තේ සම්පූර්ණයෙන් බූ ගෑ පසු දින 2 කට හෝ පසුව මතුවන ප්‍රමාණයක පමණි. රැවුලද එසේමය. නමුත් ඇහි බැමෙහි සම්පූර්ණයෙන්ම කෙස්‌ වැවී ඇත. එසේ නම් ඇහි බැමිවල සම්පූර්ණයෙන් කෙස්‌ තිබීමටද, හිසෙහි කෙස්‌ නොතිබීමටද හේතුව කුමක්‌ විය හැකිද? එකම හේතු වනම් මියගිය තැනැත්තා නිතිපතා කොණ්‌ඩය සහ රැවුල බෑමට පුරුදුවී සිටි අයෙකු වීමයි. සේවියර් පියතුමා එසේ නොකළ බව කව්රුත් දනී.
(ආ) පැරැණි යුරෝපීය සංස්‌කෘතියෙහි මිනිසුන්ගේ නොව ගැහැනුන්ගේ ද කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ නොවිනි, රහල් හිමි කල ආභරණ පැළඳීම සඳහා "ක්‍ෂත්‍රීය" පුද්ගලයන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ පැවතුණි. එසේම උපසම්පදා උත්සවයේදී භික්‍ෂුන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ වූ බැව්ද ඉතිහාසය සාක්‍ෂි දරයි. එසේ නම් මෙම දේහය සේවියර් පූජකතුමාගේ නම් එහි කන් සිදුරු වූයේ කෙසේ ද?
(ඇ) සේවියර්තුමා ස්‌පාඤ්ඤ ජාතිකයෙක්‌ වූ අතර යුරෝපීයයන් අතරේÊවුවද ස්‌පාඤ්ඤ ජාතිකයෝ බෙහෙවින් සුදු හමකට (වර්ණයකට) හිමිකම් කියති. නමුත් මෙම දේහයේ වර්ණය තළඑලළු හෙයින් එය ආසියානු ජාතිකයෙකුගේ මිස කිසිසේත්ම යුරෝපීය ජාතිකයෙකුගේ විය නොහැක.
(ඈ) මෙම දේහයේ ඇස්‌ නිල්පාට නමුදු ස්‌පාඤ්ඤ ජාතිකයනට සාමාන්‍යයෙන් තිබෙන්නේ දුඹුරුපාට බළල් ඇස්‌ය.
(ඉ) දේහයේ දකුණු අත නොමැත. වාර්තාගත වන අන්දමට වර්ෂ 1614 නොවැ. 3 වන දින පෝල් පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි එම දකුණු අත කොටස්‌ 3 කට කපා එක්‌ කොටසක්‌ මැකාවෝ විදුහලටද අනෙක්‌ කොටස මලක්‌කාවටද, ඉතිරි කොටස රෝමයටද යවා ඇත. කතෝලිකයන් අතිශය ලෙස ගෞරව කරන, එවන් වූ වටිනා වස්‌තුවක්‌ මෙවන් වූ කෲර ඉරණමකට භාජන කරත් දැයි සිතිය හැකිද? පෝල් පාප් වහන්සේ එවන් ඉල්ලීමක්‌ සත්‍ය වශයෙන්ම ඉදිරිපත් කොට තිබුණේ නම්, සම්පූර්ණ අතක්‌ වෙනුවට කුඩා ඇඟිල්ලක්‌ කපා යෑවීමට නොහැකි වූයේ මන්ද? නො එසේ නම් එම "අත" කපා ඉවත් කළේ එවන් වූ ඉල්ලීමකට වඩා එම අතෙහිවූ තමන් නොකැමති යම් කිසි "ලකුණක්‌" තිබූ නිසාද? පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි කොටසක්‌ රෝමයට යෑව්වා නම් ඉතිරි කොටස්‌ අනෙක්‌ පෙදෙස්‌වලට යෑව්වේ කාගේ ඉල්ලීම පරිදි ද?
(සිංහලයන් විශ්වාස කරනුයේ රහල් හිමිගේ දකුණු අතෙහි තමන් හඳුනා ගැනීම සඳහා "සතුරු බුවනෙකබා බලය තෙව්ටක්‌ පසුබා රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගේ ගජබා යන කවියද "සවර" ලද මුල් කඳ" යන කවියද කොටා තිබූ බව සහ මෙම අත සිරුරෙන් ඉවත් කර ඇත්තේ එම දේහය සේවියර් පියතුමාගේ නොවේය යන්න ඉන් තහවුරු වන නිසාය).
(ඊ) රෝමානු කතෝලික පූජකවරු සාමාන්‍යයෙන් "ඔඩිසන්" නමැති ක්‍රියාවලිය අතරතුර තම හිස වටේට කවාකාරව "බොන්සෝර්" නමින් හඳුන්වන කෙස්‌ සිඳීම කරන අතර තමා මිය යනතුරුම එසේ තබා ගනිති. මෙම සිරුරේ එබඳු දෙයක්‌ නොමැත.
(එ) වාර්තාවලට අනුව ශාන්ත සේවියර්තුමා වර්ෂ 1507 අප්‍රේල් මස 7 වැනි දින උපත ලබා 1552 දී මිය යන විට වයස අවුරුදු 46 කි. නමුත් මෙම දේහය එවන් තරුණ දේහයක්‌ නොව ඉතා වයස සුදුකෙස්‌ නෙරා ඇති ආසියානු ජාතිකයකුගේ බව පෙන්නුම් කරයි.
(ඒ) ශාන්ත සේවියර්තුමාගේ උස අඟල් 66 කි. සාමාන්‍යයෙන් කෙනෙක්‌ මියගිය විට සිරුර අඟල් 1-2 කින් පමණ දික්‌වේ. එවිට සේවියර්ගේ දේහයේ දිග අඟල් 67 1/2 ක්‌ වත් විය යුතුය. නමුත් මෙම දේහයේ දිග අඟල් 60 ක්‌ පමණ වේ. එබැවින් අනිවාර්යයෙන්ම මෙය සේවියර්ගේ විය නොහැක.
(ඒ) මරණ පරීක්‍ෂක වාර්තාවනට අනුව දේහයේ මරණීය තුවාල ඇති බැව් වෛද්‍යවරු සහතික කරති. සේවියර්තුමා ඉතා ශාන්ත ගුණයන්ගෙන් හෙබි අතර අවසාන කාලයේ ඔහුව බලා ගැනීම සඳහා ඔහුගේ මිතුරන් ද විය. එසේනම් ඔහුගේ දේහයේ මරණීය තුවාල ඇති වීමට හේතුව කුමක්‌ද? (ජනප්‍රවාදයට අනුව 1552 දී පෘතුගීසීන් අම්බන ගුහාවේ සිට දේහය පැහැරගෙන යෑමට සැරසෙන විට ගම්වාසීන් එයට විරුද්ධව සටන් කර ඇත. එම ප්‍රදේශය අදටත් "ඇවිලුම" ලෙස හඳුන්වයි. සිරුරට තුවාල වී ඇත්තේ මෙම අවස්‌ථාවේය යන්න සිහලුන්ගේ විශ්වාසයයි.

දේහයේ ඇට කටු දිරනවාද?
මෙතෙක්‌ කතාව -

තොටගමුවේ රාහුල හිමි 15 වන සියවසෙහි ලක්‌දිව විසූ අග්‍රගනයේ පඬිරුවනකි. උන්වහන්සේට ත්‍රිපිටකය පමණක්‌ නොව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ ඖෂධ පිළිබඳව ද සුවිශේෂී දැනුමක්‌ තිබිණි. 6 වන බුවනෙකබා රජු සමඟ විරසක වූ බැවින් රහල් හිමි අවසන් කාලයේ වැඩවාසය කළේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ 'අම්බන' නම් ග්‍රාමයේය. අපවත් වන මොහොතේ උන්වහන්සේ 'සිදු අළු රසය' නම් වූ බලවත් ඖෂධයක්‌ පානය කළ බවත් ඒ නිසාම සිරුර දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබාගත හැකි වූවාය යන්න ජනප්‍රවාදයේ පවතී. රහල් හිමිගේ දකුණු බාහුවේ උන්වහන්සේ හඳුනා ගැනීමට කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ශාන්ත සේවියර් පියතුමාගේ දේහය යයි කියනු ලබන සිරුරේ දකුණු අත අතුරුදන්ව ඇත. ශාන්ත සේවියර් යනු රෝමයේ පාප්වහන්සේ විසින් 16 වන සියවසෙහි මුල්භාගයේදී ඈත නැගෙනහිර කතෝලික ආගම පතුරුවා හැරීම පිණිස පත් කළ අයෙකි. ඔහු චීනයට යන අතරමග සැන්ක්‌ෂන් දූපතෙහි මියගිය අතර එම දේහය නරක්‌ නොවී තිබුණු බව කිතුනුවෝ විශ්වාස කරති. සේවියර් පියතුමාගේ උස අඩි 5 1/2 ක්‌ එනම් සෙ.මී. 169 ක්‌ වුවද එම දේහය අඩංගු මිනී පෙට්‌ටියේ දිග සෙ. මී. 152 ක්‌ වේ. කතෝලිකයන් පවසන්නේ මියගිය පසුව දේහය හැකිලී ගොස්‌ ඇති බවයි. දේහය පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ ගණනාවක්‌ කර ඇති අතර ඒ තුළින් දේහයේ දකුණු අත නොමැති බවත් සිරුරේ තුවාල ඇති බවත් සනාථ වේ. සිංහලයන් විසින් මෙම දේහය ශාන්ත සේවියර්ගේ නොව ශ්‍රී රාහුලගේය යන තර්කය තහවුරු කිරීමට කරුණු ගණනාවක්‌ ගෙනහැර පාන අතර ගිය සතියේ එම කරුණුවලින් කිහිපයක්‌ සඳහන් කරන ලදී. තවත් කරුණු
මෙතැන් සිට...

වර්ෂ 1922 දී වෛද්‍ය ඇන්තෝනියේ මිල්ෆ්ගන්ග් ඩි සිල්වා විසින් එම දේහය පරීක්‍ෂා කොට මෙසේ කියා තිබේ. මෙම දේහය විජලනය හෝ මමිකරණය කළ එකක්‌ නොවේ. කකුලෙන් බත් කෙන්ඩෙහි මෘදු බව නිසා එය ළඟදී එම්බාම් කරන ලද සිරුරක්‌ සේ පෙනේ. සාමාන්‍යයෙන් මෙය බෙහෙත් ගැල්වූ සිරුරක්‌ බවට නම් කළ හැක. යනුවෙනි. ශාන්ත සේවියර්තුමාගේ සිරුර නරක්‌ නොවී තබාගැනීම සඳහා කිසිදු අවස්‌ථාවක බෙහෙත් පාවිච්චි කළ බැව් හෝ පියතුමා මිය යැමට පෙර එසේ වීමට බෙහෙතක්‌ පානය කළ බවට හෝ කතෝලිකයන් කිසිවිටෙක කිසි තැනක ප්‍රකාශ කොට නොමැත. ඔවුන් විශ්වාස කරන්නේ මෙය දේව බලයෙන් සිදු වූවක්‌ ලෙසය. උක්‌ත වෛද්‍යවරයාද කතෝලිකයකු බැවින් මෙම දේහය ඖෂධ මගින් ආරක්‍ෂා වී ඇති බැව් ඔහුට සක්‌සුදක්‌සේ පැහැදිලි නොවූයේ නම් දෙවියන් බලෙන් එසේ සිදුව ඇතැයි ඔහු අනිවාර්යයෙන් පවසනු ඇත. (සිංහලයන් විශ්වාස කරන්නේ රහල් හිමි අපවත් වීමට මොහොතකට පෙර සිරුර දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබාගැනීම සඳහා 'සිදු අළු රසය' නම් බලගතු ඖෂධයක්‌ පානය කළ බවයි.
සේවියර් පූජකතුමා ශාන්තුවරයෙක්‌ ලෙස ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා කළ ඉල්ලීම් පාප් වහන්සේලා තිදෙනෙක්‌ එනම් දහහතර වන ග්‍රෙගරි පාප් වහන්සේ, පස්‌වන පෝල් පාප් වහන්සේ සහ පහළොස්‌ වන ග්‍රෙගරි පාප් වහන්සේලා විසින් තෙවරක්‌ම ප්‍රතික්‍ෂේප කරන ලද අතර එතුමා ශාන්තුවරයෙක්‌ ලෙස නම් කරන ලද්දේ 1624 දෙසැම්බර් 6 වැනි දින අටවන උර්බන් පාප් වහන්සේ විසිනි. ඉහත ප්‍රතික්‍ෂේපයන් තුළින් පෙන්වන්නේ එම පාප් වහන්සේලා මෙම දේහය සේවියර්ගේ බවට නොපිළිගත් බව නොවේද?
කතෝලික පූජකවරු එම කාල වකවානුවේදී ප්‍රකාශ කිරීමට යෙදුනේ එම දේහය නරක්‌ නොවී පවතින්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ බලය නිසා බවය. නමුත් දැන් එය ක්‍රමක්‍රමයෙන් දිරාපත් වන බව වෛද්‍යවරු සනාථ කරති. තවද එහි ඇටකටු ද දිරමින් පවතී. චීන සහ ඊජිප්තුවේ මමීකරණය කරන ලද දේහයක්‌, ඖෂධ බලයෙන් අවුරුදු 5000 ක්‌ පමණ කාලයක්‌ සුරැකී තිබෙන නමුත්, දෙවියන් වහන්සේගේ 'ආශිර්වාදය' ලැබූ මෙම දේහය අවුරුදු තුන්හාරසියයකට පසුව දිරාපත් වන්නට පටන්ගෙන තිබේ. එයට හේතුව 'ඔෂධවල' බලය දෙවියන්ගේ බලයට වඩා වැඩි නිසාද? නැත. එයට හේතුව බුදු දහමට ද අනුව රහල් හිමිගේ දේහයට ද 'සියලු දේ අනිත්‍යය' යන න්‍යාය බලපාන බැවිනි.
ආචාර්ය උභයසේකර (1934) මහතාගේ තර්කය
ආචාර්ය උභයසේකර මහතා තම 'ශ්‍රී ලංකාදීප වර්ණනා' නම් කෘතියේ (වර්ෂ 1934) ගෝවේ තබා තිබෙන දේහය රාහුල හිමියන්ගේම බැව් සාධක සහිතව සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කරයි. ඔහු ප්‍රථමයෙන් සියවස්‌ පහක්‌ තිස්‌සේ මුවින් මුව පැමිණි ඒ හා සම්බන්ධ ජනකවි දෙකක්‌ පිළිබඳව සඳහන් කරයි.
(එම කවි දෙක මීට පෙර සඳහන් කොට ඇත.)
එයින් පළවන කවියෙන් කියනුයේ 'මන්ත්‍ර බලයෙන් වසර දහසක්‌ සුරක්‍ෂිතව' තබාගත් සිරුර අඩංගු ගුහාව යක්‍ෂයන් ආරක්‍ෂා කළ බවත්, සාවියර් නමැති සතුරු පෘතුගීසි ජනරාල්වරයා සහ එම හමුදාව උතුම් රාහුලගේ සිරුර ගෝවේ නගරයට ගෙන ගොස්‌ තැබූහ. යන බවත්ය.

ආචාර්ය උභයසේකරයන් තර්ක කරනුයේ මෙම ජන කවියෙන් කියෑවෙන සාවියර් නමැත්තා අන් කිසිවකු නොව ෆ්‍රැන්සිස්‌ සාවියර් බවත්, එවකට සිටි ලංකාවේ රජු දොන් ජුවන් ධර්මපාල කතෝලිකයකු වූ බැවින් එම සිරුර රටින් පිට කිරීමට සහාය දී ඇති බවත්ය. තවද පෘතුගීසීන් දකුණේ ජනතාව භීතියට පත් කරමින් කෲර ලෙස පාලනය කළ බැවින් මෙය ශතවර්ෂ 3 ක්‌ පමණ රහසක්‌ව තබා ගැනීමට හැකිවූ බවත් ඉන්පසු සියල්ලන්ටම එය අමතක වන්නට ඇති බවත් ඔහු පවසයි. තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු දක්‌වන ආචාර්යවරයා මෙසේ කියයි. රාහුල හිමි අම්බන අපවත් වූ අතර ප්‍රදේශයේ ජනතාව දේහයට ඉමහත් ගරුසරු දක්‌වමින් සිටියහ. වර්ෂ 1552 දී පෘතුගීසි ජනරාල් ෆ්‍රැන්සිස්‌ සේවියර්ගේ හමුදාව සිංහලයින් සමඟ සටන් කොට දේහය රටින් පිටකරන ලදී, එම සටන තුළදී දේහයට මරණීය තුවාල සිදුවිය හැකි බැව් පිළිගත හැකි කරුණකි. සේවියර් "ශාන්තුවරයෙක්‌" යෑයි කියනා නිසා එවන් ශාන්තුවරයකුගේ සිරුරේ මරණීය තුවාල තිබිය හැක්‌කේ කෙසේද? (ඉතිහාසඥ පී. ඊ. පීරිස්‌ තම පෝචුගිස්‌ 1505-1695 නමැති කෘතියේ ලංකාවට පැමිණි සේවියර් නමැත්තා ශාන්ත සේවියර් යන නම ලබාගත් කතෝලික ආගම වැළඳගත් කෙනෙක්‌ බව පවසයි.)
'ශ්‍රී ලංකාද්වීප වර්ණනා' නම් පොතෙහි ආචාර්ය උභයසේකරයන් විසින් දක්‌වන ලද කරුණු සංක්‍ෂිප්තව මෙසේය.
ෆ්‍රැන්සිස්‌ සේවියර් වර්ෂ 1552 දී දොන් ජුවන් ධර්මපාල රජ සමයේ ලංකාවට පැමිණියේය. රජු කතෝලික බැතිමතෙකු වූ අතර පෘතුගීසීන් සමඟ සුහදව සිටි බැවින් රජුගේ ද ආශිර්වාදය මත සේවියර් දකුණු වෙරලබඩ තීරයේ සිහලුන් කතෝලික ආගමට හැරවීම සඳහා දේශනා පවත්වමින් කටයුතු කළේය. මෙම ක්‍රියාදාමය අතරතුර ඔහු 'අම්බන' තිබෙන මෙම දේහය පිළිබඳව දැනගෙන එය මලක්‌කාවට ගෙන යැමට කටයුතු කළේය.
රාජකීය ආසියාතික සමාගමේ 60 වන සංස්‌කෘත සඟරාවේ 159 වැනි පිටුවේ සඳහන් පරිදි සාවියර් මලක්‌කාවේ නව ආණ්‌ඩුකාරවරයා ලෙස පත්වූ තම මිතුරාගේ එම උත්සවයට සහභාගි වීම සඳහා මලක්‌කාවට ගියේය. එසේම ඔහුගේ ජීවිත කතාව අනුව ඔහු දුර ඈත පෙදෙසක 1552 නොවැ. මස මියගිය බව දක්‌වන අතර එම කාලවකවානුව ඉහත සඳහන් මලක්‌කාවේ පැවැත්වූ උත්සවය තිබූ කාලය හා ගැලපේ.
ෆ්‍රැන්සිස්‌ සේවියර් ජපානයේදී බුදුදහම ඉගෙන ගත් අතර ඒ බව ඔහු එස්‌. බීල් නමැති පූජකතුමාට, ශ්‍රී ලංකාවේ දකුණේ පවතින බුදුදහම ක්‍රිස්‌තියානි ආගම හා සසඳන විට සත්‍ය දහමක්‌ සේ සැලකිය හැකි බව පවසා යෑවූ ලිපියෙන් සනාථ වෙයි. ලිලි නමැති කතුවරයා විසින් ලියන ලද 'බුද්ධා ඇන්ඩ් බුඩිසම්' නමැති පොතේ 193 වැනි පිටුවේ පූජක බිල්ජසින් එම ලිපිය පාප් වහන්සේට පෙන්වා ඇති බැව් සඳහන් වේ.


රියර් අද්මිරාල් (ආචාර්ය) 
සරත් වීරසේකර


free counters

දහම් රස වින්දෝ