සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

පෙළොං විෂ ශරීරයේ දිව යද්දී පැය දෙකක්‌ ධර්මය දේශනා කළ හිමිනමක්‌


අහුන්ගල්ලේ දේ. සු. ද. සොයිසා

පුරාණ වැලිතොට හෙවත් වර්තමාන බළපිටිය ඈත අතීතයේ සිට සුපේශල ශික්‌ෂාකාමී මහ තෙරවරුන්ට සැවැත්නුවරක්‌ බඳුවූ පුණ්‍ය භූමියකි. දුගී පැල්පතේ සිට රජ වාසල මහ වලව්ව දක්‌වා මහා සංඝරත්නයට ගරු කළ හා සිව්පසය සැපයූ ජනී ජනයාගෙන් පිරුණු මෙම ප්‍රදේශය පසු කලෙක දෙවැනි මිහින්තලාව ලෙසද අරුත් ගැන්විණි. මෙම ප්‍රදේශයේ වැඩ වාසය කළ සුසිල්වත් මහතෙර නමක්‌ හා බැඳුණු පුදුම සහගත බෝසත් කතා ප්‍රවෘත්තියක්‌ මා ඔබ හමුවේ තබමි.

මෙම කතාවේ කතානායකයා වනුයේ බළපිටිය රන්දොඹේ මහාෙච්තිය පිරිවෙනෙහි පරිවේණාධිපතිව වැඩ විසූ ධර්මධර පරම පූජනීය තොටගමුවේ පඤ්ඤාමෝලී තිස්‌ස මහානායක මාහිමිපාණන්වහන්සේය. පඤ්ඤාමෝලී මහ නාහිමියන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේද, බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්‌චන්ද්‍ර ශ්‍රීමතාණන්ගේද ජීවිත හා සම්බන්ධකමක්‌ තිබුණු මාහිමි නමකි. ඒ සබඳතාවයන්ද මා මෙම ලිපිය තුළින් හෙළි කිරීමට අදහස්‌ කරමි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2400 හෙවත් රාජ්‍ය වර්ෂ 1856 මාර්තු මස 07 වැනි දින දකුණු සිරිලක තොටගමුව නම් ඓතිහාසික ගම්මානයේදී උපත ලද පඤ්ඤාමෝලී මාහිමියන් පුත් කුමරුවන් සත් දෙනෙක්‌ සිටි පවුලක හත්වන දරුවා විය. බෞද්ධ පාසල් නොතිබුණු එම යුගයේ ගමේ පන්සලෙහි අකුරු උගෙනීම ආරම්භ කළේ ගරුතර ස්‌වාමීන් වහන්සේලාගේ සෙවණේය. මෙම ශිල්ප හැදෑරීම සිදු වූයේ තොටගමුවේ සිරි සුභද්‍රාරාම මහා විහාරස්‌ථානයේදීය.

ඉතා තැන්පත්, විනීත ගති පැවතුම්වලින් යුක්‌තව තම වයසේ අන් ළමුන්ට වඩා සුවිශේෂී චරිතයක්‌ ගත කළ මෙම පින්වත් කුමරා තරුණ විය ගතකරන සමයේදී එළඹුණ වස්‌සාන කාලයක තොටගමුවේ සිරි සුභද්‍රාරාම විහාරයේ වැඩ විසුමට වැඩම කළේ එවකට සිරිලක අග්‍රගණ්‍ය පඬිරුවන් වූ අතිපූජ්‍ය වැලිතර විමලසාර තිස්‌ස මහා නායක මාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ වස්‌ වැසූ දිනයේ සිටම දිනපතාම සුභද්‍රාරාම වමහා විහාරයේ පින්කම් සිදුවිය. ඒ පින්කම් අතර සුවිශේෂී අංගයක්‌ වූයේ දිනපතාම රාත්‍රී කාලයේ විමලසාර මහ නාහිමියන් විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාවන්ය. මේ දහම් දෙසුම්වලට සවන්දීම සඳහා තොටගමුවාසී ජනයා රාත්‍රියේ ගිනි හුළු අතු දල්වාගෙන පන්සලට පැමිණ හෝරාවක්‌ දෙකක්‌ ධර්මය අසා ගෙවල්වලට ආපසු ගියේ නිවුන සිතින්ය.

මෙම දහම් දෙසුම් තම මිතුරන් සමග නොවරදවා ශ්‍රවණය කළ අයෙකි අප සඳහන් කරන ලද ඉහත සඳහන් කළ තරුණයා. මාසයක්‌ පමණ එක දිගට ධර්මය ඇසීමෙන් පසු මෙම තරුණයාගේ ඒකායන බලාපොරොත්තුව වූයේ පැවිදි දිවියට ඇතුළත් වීමයි. මේ පිළිබඳ සිය පියාණන් වූ විතාන එන්ද්‍රිස්‌ ද සිල්වාටත්, සිය මෑණියන්ටත් කියා අවසර ලබාගත් මොහු පන්සලේ නායක හාමුදුරුවන් වූ තොටගමුවේ පඤ්ඤාසිරි මාහිමියන්ටද පවසා කැමැත්ත ගෙන සාමණේර බණ දහම් උගෙන ගන්නට විය. මෙලෙස බණ දහම් උගත් මේ තරුණයා 18 වැනි වියට පිවිසෙද්දී වර්ෂ 1874 ඉල් මස පුන් පොහෝ දින වැලිතර විමලසාර මහානායක මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති පැවිදි කිරීමේ මහා පූජෝත්සවයේදී තොටගමුවේ පඤ්ඤාමෝලී යන නමින් බලපිටියේ වැලිතර ශ්‍රී පුෂ්පාරාම මහ විහාරය හෙවත් නායක පන්සලේදී ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු ශාසනයට ඇතුළත් වූහ.

මීට වසර එකසිය පහකට පමණ පෙර 1911 දී පඤ්ඤාමෝලී මහාහිමියන් අඹගහපිටිය මහා විහාරයේ සිට පා ගමනින් ධර්ම දේශනයට වැඩම කළේ මීගෙට්‌ටුවත්තෙ නම් චිර ප්‍රසිද්ධ ගමටය. රාත්‍රි කාලයේ තම දායක මහතකු වන කරෝලිස්‌ සිල්වාද වෙද මහත්මයා සමග ගිය මෙම ගමනේදී මිගෙට්‌ටුවත්තේ අභිනවාරාමය ආසන්නව තිබියදී පඤ්ඤාමෝලී මාහිමියන්ගේ පාදයට සර්පයකු දෂ්ට කර ඇත.සුළු වේලාවක්‌ යන විට කකුලේ වේදනාවක්‌ හටගත් හෙයින් තමා සමග ගමන් කරන වෙද මහතාට පැවැසුවේ තමාගේ කකුල සර්පයකු විසින් දෂ්ට කරන ලද බවත්, දැන් තරමක වේදනාවක්‌ පවතින බවය. පන්සලට ගිය පසු කකුල පරීක්‌ෂා කර බෙහෙතක්‌ ගැල්වුවොත් හොඳයි. එසේ වුවත් පන්සලේ සිටින කාටවත් මේ ගැන නොදන්වා කටයුතු කරන ලෙස වෙද මහතාට දන්වා සිටියේ පිරිස කලබල වීමෙන් පන්සලේ පින්කමටත්, ධර්ම දේශනාවටත් බාධා වන නිසාය.

ටික වේලාවකින් පන්සලට වැඩම කළ නායක හාමුදුරුවෝ ධර්ම දේශනයට සූදානම්ව වැඩම කළ අතර වෙද මහත්මා හාමුදුරුවන්ගේ සර්පයා කෑ මුඛය පාදා බෙහෙත් බඳින්නට වූයේ කාටවත් කිසිවක්‌ නොකියා කලින් තිබූ තුවාලයකට ඔසු ලබාදෙන සෙයක්‌ පෙන්වමිනි. ස්‌වාමීන්වහන්සේගේ පාදයට දෂ්ට කර ඇත්තේ පොළඟෙකු බවත්, ශරීරයේ විෂ පැතිරෙමින් තිබෙන නිසා ජීවිතයට අනතුරක්‌ ඇති බවත් වෙද මහතා තත්ත්වයේ බැරෑරුම්කම කීය. 'මටත් හරි අමාරුයි වෙද මහත්තයෝ. වේදනාව උහුලන්න බැහැ. මම මේ බණ කියන අතරම අපවත් වුණොත් මේ වේදනාව යටපත් වී ජීවිතය බෙරෙනවාට වඩා සතුටුයි. පුළුවන් දෙයක්‌ කරන්න. මම වේදනාව බුදුගුණයෙන් යටපත් කරගෙන බණ කියනවා.' නාහිමියෝ් දිගටම ධර්ම දේශනය කළහ. ධර්ම දේශනාව පැය දෙකකින් සමාප්ත විය. හාමුදුරුවෝ සිහි මූර්ජා වී ධර්මාසනයේ ඇලවිණි. සියල්ලෝ තුෂ්ණිම්භූත විය. සිදුවී ඇති දැ වෙද මහත්මා සැමටම දැන්වීය. මේ විස්‌තර ඇසූ සියලු දෙනාම පුදුමයටත්, කණගාටුවටත් පත්විය. ගම්වැසියෝ නිදි වර්ජිතව ඖෂධ වර්ග ගෙන එමින් ස්‌වාමීන් වහන්සේ සුවපත් කිරීමට වෙද මහතාට සහය වන්නට වූහ. නමුත් පසුදා සවස්‌ වනතුරු ස්‌වාමීන් වහන්සේට සිහිය නොලැබිණි. පොළොං විෂ ශරීරය පුරා විහිදී ගොස්‌ තිබුණු නිසා සිහිය ආවද කතා කිරීමට මාහිමියන්ට ඉතා අපහසු විය. ටික දිනකින් ස්‌වාමීන් වහන්සේ යම් සුවයක්‌ ලැබීය. දායක පිරිස සිදුවූ දේවල් නාහිමියන්ට පැවැසූහ.

ඒ අසා ස්‌වාමීන් වහන්සේ පැවැසුවේ තමා දහම් දෙසනවිට අධික වේදනාවෙන් පෙළුණත් බුද්ධ ගෞරවයෙන් සියල්ල යටපත් කරගත් බවයි. ඒ වනවිට වේදනාව ඉවත්ව යන නිසා එක දිගට දහම් දෙසීමට හැකියාව ලැබීම මහත් සහනයක්‌ වූ බව ප්‍රකාශ කෙරිණි. තමා මෙසේ සුවය ලැබුවත් දහම් දෙසන විට අපවත් වූයේ නම් තමන් වහන්සේ ජීවත් වනවාට වඩා සතුටක්‌ ලබන බවද කියා ඇත. ටිකෙන් ටික සුවපත් වුවද කාලයෙන් කාලයට මේ සර්ප දෂ්ඨනය නිසා නාහිමියන් රෝගාතුර වීම සිදුවිය. මේ නිසා හිතවත් වෛද්‍යවරුන්ගෙන් ස්‌වාමීන් වහන්සේට නිතරම වෛද්‍ය පහසුකම් ලැබිණි. නාහිමියන්ගේ රෝග තත්ත්වයන් නිට්‌ටාවට සුව කිරීමට නොහැකි වූයේ දවහල් 12.00 න් පසු කිසිම හේතුවක්‌ නිසා අකැප කිසිම දෙයක්‌ වැළඳීමට දැක්‌වූ අකැමැත්තය. දහවල් 12 න් පසු කිරි පිටි වීදුරුවක්‌වත් වළඳවන්නට කිසිම වෛද්‍යවරයකුට හැකියාව ලැබී නැත. ජීවත්වීම සඳහා සිල්පද කඩන්නට තමා නොපොළඹවන්නැයි නායක හිමියන්ගේ උපදේශය වී ඇත.

නායක මාහිමියනගේ සිල්වත් බව හොඳින්ම දැනසිටි අයෙකි ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා. එතුමා ජීවිතයේ අවසාන කාලයේ සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි විය. මෙම පැවිදි පින්කමේදී අනගාරික ධර්මපාලතුමන්ට පෙරවීම සඳහා සිවුරු පිරිකර පූජා කිරීමට බොහෝ දෙනා කැමැත්තෙන් සිටියහ. නමුත් ධර්මපාලතුමා ඒ කිසිම පිරිකරත් පැවිදිවීමේදී පෙරවීම සඳහා පා සිවුරු වශයෙන් පාවිච්චි කළේ නැත. දඹදිව සිට ධර්මපාලතුමා දන්වා එවා තිබුණේ තමාට පැවිදිවන විට පෙරවීම සඳහා තොටගමුවේ පඤ්ඤාමෝලී නාහිමියන් විසින් පොරවා ගෙන සිටිය සිවුරක්‌ ගෙනැවිත් දෙන ලෙසය. කොළඹ මහාබෝධි සමාගමේ පිරිස බළපිටියට පැමිණ නාහිමියන් පොරවන ලද සිවුරක්‌ ඉල්ලාගෙන ගොස්‌ ධර්මපාලතුමාට පිරිනමා ඇත. ධර්මපාලතුමා එම සිවුර මහත් ගෞරවයෙන් පිළිගෙන සිවුර සිඹ වැඳ නමස්‌කාර කර පැවිදි පින්කමේදී පළමුවෙන් පොරවාගත්තේ මෙරට බළපිටියේ ජීවත්වූ සුසිල්වත් හිමිනමකගේ සීලයට ගරු කරමිනි.

දිනක්‌ අඟුරුකාරමුල්ල පන්සලේ ධර්ම දේශනයකට වැඩම කළ පඤ්ඤාමෝලී මාහිමියන් හමුවීමට පැමිණි තරුණයකු නාහිමියන් වැඳ පසෙකට වී පවසා සිටියේ 'ස්‌වාමීනි, මගේ නම වලිසිංහ එඩ්වඩ් සිල්වා. මම ආගමික ජීවිතයට නැඹුරු වී සිටිනවා. ගිහිගෙයින් නික්‌ම බ්‍රහ්මචාරී වීමටයි මගේ අදහස. ඒ නිසා සුදුසු නමක්‌ ලබාදෙන්නැයි ඉල්ලා සිටියහ. නැකැත් සතර දේහ ලක්‌ෂණ විද්‍යාව ආදියද දැනගෙන සිටි නාහිමියන් තරුණයා දෙස හොඳට අවධානය යොමු කර බලා සිට පැවැසුවේ ඔබට සුදුසු නම 'වලිසිංහ හරිස්‌චන්ද්‍ර' කියා භාවිත කිරීමයි. නාහිමියෝ සුදුසුම නම තැබීය.

එම නම් යෝජනාවෙන් මෙරට සිංහල ජාතියත්, බුදුදහමත් පවතින තුරු අමතක නොවන ජාතික වීරවරයෙක්‌ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්‌චන්ද්‍ර යන නමින් රට දැයට බිහිවිය.

අමරපුර නිකායේ මහානායක පදවියෙන් පුද ලද මේ සුසිල්වත් මහ තෙරුණුවන් පසු කලෙක අපවත්වී වදාළේ මහරහතුන් වහන්සේලා ගියමඟ ගිය මහා යතිවරයකු ලෙසය. මෙවන් යතිවරුන් වර්තමාන සමාජයේද අප රට තුළ ද නැතුවා නොවේ. එවන් මහා ස්‌වාමීන් වහන්සේලා වැඩ සිටින තුරු සම්බුදු සසුන බබළනු නියතය. පෙරහැර දහසක්‌ කරනවාට වඩා, විවිධ සංදර්ශන පූජා දහසක්‌ පවත්වනවාට වඩා, දේශපාලකයන්ට පාවඩ එළනවාට වඩා, සිල්වත්ව එක දවසක්‌ ජීවත්වී අපවත්වීම බෞද්ධ ලෝකයාටම වාසනාවකි. 


free counters

දහම් රස වින්දෝ