සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

තිත්ත කළුවරේ පොතපත කියෑවූ බදුරලියේ යෝගාවචර හාමුදුරුවෝ

මා මේ ඔබ හමුවේ ලියා තබන්නේ පසුගිය සියවසේ වැඩ සිටි දුර්ලභ ගණයේ සිල්වත්, ගුණවත්, පින්වත්, යෝගාවචර හිමිනමක්‌ පිළිබඳවයි. සිරිපා හිමයේ ගල් ගුහාවල තනිවම වැඩ වෙසෙමින් භාවනා කර සිත දියුණු කර, දියුණුවූ සිතෙන් පුදුම හාස්‌කම් කළ මේ හාමුදුරුවෝ නමින් පූජ්‍ය යෝගාවචර බදුරලියේ චන්දිම හිමියන්ය. උන්වහන්සේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූයේ 'වළහා කෑ හාමුදුරුවන්' ලෙසය.
මේ හාමුදුරුවන් පිළිබඳව මා මුලින්ම ඇසුවේ හැත්තෑවේ දශකයේදීය. ඒ වනවිට අප පාසල් යන සිසුවන්ය. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, කුරුවිට නගරයේ වෙළඳ ව්‍යාපාරයේ යෙදුන ධර්මසේනද සොයිසා නම් අපේ බාප්පා ගමට ආ විට තමාගේ හෝටලයට ඉඳහිට පිඬුසිළුා වඩින මෙම හාමුදුරුවන් පිළිබඳව ඉතා වර්ණනාවෙන් යුතුව පවසන්නේ ඇඟ ලොමු ඩැහැගන්වන කරුණු සමගය. එසේ කියන ලද කරුණක්‌ වූයේ පින්කම් දිනයක උන්වහන්සේ විදුලිය සහිත කම්බියක්‌ අතින් අල්ලා ඉවතට දැමුවේ ලණුපටක්‌, කඹ පටක්‌ ඉවත් කරන ලෙසය. සාමාන්‍ය මිනිසකු කම්බියක්‌ අතින් ඇල්ලුවා නම් එතනම මැරී වැටීම නියත බව බාප්පා කියනු මා අසා සිටියෙහි. සිරිපා සමයේ බවුන් වඩන උන්වහන්සේ ලුනු ඇඹුල් කෑමට වුවමනා වූ විට පා ගමනින් එරත්න පාරේ සිට කුරුවිට නගරයට අවුත් පිඬුසිඟා දානය වළඳන බවත්, මුලටම වඩින්නේ තමාගේ හෝටලයට බවත් බාප්පා කියන්නේ සැබෑ ගෞරවයෙනි. උන්වහන්සේ පිළිබඳව දෙවනුව අපිට විස්‌තර කියන ලද්දේ අප සහෝදර කුරුවිට පදිංචි ධර්මදාස සොයිසාය. ඔහුගෙන් 'වළහා කෑ හාමුදුරුවෝ' වැඩ ඉන්නා තැනක්‌ දැනගත් පූජ්‍ය අහුන්ගල්ලේ සීවක නාහිමියන් උන්වහන්සේ හමුවීමට සිරිපා අඩවියට ගොස්‌ ඒ වනවිට වයෝවෘද්ධව සිටි 'වළහා කෑ හාමුදුරුවෝ' වර්ෂ 1995 දී පමණ අහුන්ගල්ල, කැකිරිවත්ත පන්සලට වැඩමවාගෙන ආහ.
කැකිරිවත්ත පන්සලේ වැඩ සිටිය වසරකට අධික කාලය තුළ ගරුතර බදුරලියේ චන්දිම හිමියන්ට ඇප උපස්‌ථාන කිරීමටත්, උන්වහන්සේ සමග කතා කිරීමටත්, නොයෙකුත් තොරතුරු දැන ගැනීමටත් මට අවස්‌ථාව උදාවිය. මේ කාලයේ දැරණියගල ප්‍රදේශයේ මහත්මයෙක්‌ 'සිරිපා හිමයේ සිටි අද්භූත හාමුදුරුවෝ කෝ?'' යනුවෙන් ලිපියක්‌ ඉරහඳ ජ්‍යොතිෂ පුවත්පතට ලියා තිබිණි. එතුමා පවසා සිටියේ උන්වහන්සේ වැඩසිටි ගල් ගුහාවට පිරිසක්‌ සමග දකින්නට ගිය විට උන්වහන්සේ එකවරම අතුරුදන්වූ බවත් කොපමණ සෙව්වත් සොයාගන්නට නොහැකිව හිස්‌ අතින් ආපසු ගමට ආ බවත්ය. මෙම පුවත්පත රැගෙන ආ මම ගරුතර බදුරලියේ හිමියන්ට පෙන්වා අසාසිටියේ ඔබවහන්සේ අහුන්ගල්ලේ වැඩසිටින බවට ලිපියක්‌ ලියා පුවතපතට යවන්නද යනුවෙනි. එවිට උන්වහන්සේ පැවැසුවේ මහත්මයාට කැමැති නම් ලියන්න. මේ පන්සලට පැමිණෙන ආකාරය ගැන සඳහන් කරන්න එපා. එහෙම වුණොත් පිරිස්‌ මෙහෙ ඇවිදින් මගේ විවේකයට බාධාවෙනවා.
බදුරලියේ චන්දිම හාමුදුරුවෝ 'වළහා කෑ හාමුදුරුවෝ' කළුතර දිස්‌ත්‍රික්‌කයේ අගලවත්ත මැතිවරණ කොට්‌ඨාසයේ උපත ලද හිමිනමකි. පාසල් අධ්‍යාපනයෙන් පසු තරුණ වියට පැමිණ ගමේ වෙළෙඳසලක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත. එසේ සිටියත් එතුමාගේ පුංචි කාලයේ සිට ඉතා ආසාවක්‌ව තිබී ඇත්තේ පැවිදිවීමටය. නමුත් දෙමාපිය අවසරය නොලද නිසා එය මඟහැරී ඇත. දෙමාපියන්ගේ අභාවයෙන් පසුව වෙළඳසැල පසෙක දමා බදුරලිය ගමෙන් පිටත්ව යන මෙම තරුණයා දඹුල්ල ප්‍රදේශයේදී ආරණ්‍යයක පැවිදි ඇත. රාත්‍රී කාලයේ වනගව භාවනා කර ජලය පානය කිරීම සඳහා වන අරණේ ජලය ඇති තැනකට ගිය පසු ඒ අසළ සිටි වළසකු බදුරලියේ හිමියන්ගේ ඇඟට පැන ඇත. එසේ පනිනවාත් සමගම මරණය තමා වෙත එළැඹ ඇතැයි සිතා දඟලන්නේ නැතිව බුදුගුණ මෙනෙහි කරනවාත් සමගම වළහා උන්වහන්සේගේ මුහුණේ පැත්තක්‌ සපාකා මරහඬ දී කැලයට පැනගොස්‌ ඇත. ආරණ්‍යයේ කැපකරුවන්ව අවදි කර විස්‌තර පැවැසූ පසු ඔවුන් හාමුදුරුවෝ රාත්‍රියේම රෝහල් ගත කර වෛද්‍යධාර ලබාදී ඇත. මුහුණේ තුවාලය සනීපවීමට පෙර යළිත් වනගතව භාවනාව ඇරඹූ නිසා යළි තුවාලය පැතිරගොස්‌ මුහුණේ යම් විකෘතිභාවයක්‌ ඇතිවන තරමටම රෝගී විණි. මෙම තත්ත්වය දුටු දායක පිරිසක්‌ බදුරලියේ හිමියන් කොළඹ වැඩමවා මුහුණේ තුවාලය නිට්‌ටාවටම සුවපත් කරන්නට යෙදුණි. එයින් පසු 'වළහා කෑ හාමුදුරුවෝ' ලෙස ජනතාව හැඳින්වූ බදුරලියේ චන්දිම හිමියන් එතැන් සිට මිනිස්‌ කටහඬක්‌ නොමැති සිරිපා හිමයේ විවිධ තැන්වලට වඩිමින් ගල් ලෙන්වල නැවතී, බවුන් වඩමින් වසර 35ක්‌ම ජීවත්වූ බව කියයි. උන්වහන්සේ වනයේ ජීවත්වන සමයේ එහි සිටි හිතවත් උතුමෙකි අනගාරික නාරද තවුසා. එතුමන්ද මා දන්නා හඳුනන උතුමෙකි. මීට වසරකට පෙර අපවත්වූ නාරද තුමාද බදුරලියේ චන්දිම මාහිමියන් පිළිබඳව පවසා ඇත. නමුත් උන්වහන්සේගෙන් භාවනා අත්දැකීම් වනයේ සිදුවූ අද්භූත සිදුවීම් ආදිය විමසා දැන ගැනීමට නම් නොහැක. මා පත්තරවලට ලියන කෙනෙක්‌ නිසා කිසිම දෙයක්‌ මා සමග කීමට උන්වහන්සේ අකමැතිවූයේ එම තොරතුරු ලියූ පසු උන්වහන්සේගේ විවේකයට බාධා සිදුවීම භාවනා අරමුණුවලටද බාධාවක්‌ නිවන නිසාය. පින්තූරවලටද පෙනී සිටීමට පවා උන්වහන්සේ අකමැතිය. 
දිනෙන් දින බදුරලියේ හාමුදුරුවන් සමීපයට පැමිණ කතා කිරීමටත්, උවටැන් කිරීමටත් පෙළඹුණ නිසා උන්වහන්සේ මා සමග යම් හිතමිත්‍ර කමක්‌ ඇතිකරගත්හ. කිහිප විටක්‌ම අප නිවෙසට වැඩම කළේ කුරුවිට සිටි අපේ බාප්පා චන්දිම හිමියන්ට දන් පහන් පිදූ අයෙක්‌ නිසාය. උන්වහන්සේ කියූ හැම දෙයක්‌ම මුල, මැද, අග යන තුන් කොටසම අර්ථවත්ය. දුන් උපදේශ ප්‍රයෝජනවත්ය. විටින් විට සිරිපා සමයේ ලද අත්දැකීම් විමසීම මගේ කථාවලදී සිදුවිය. ඒ අනුව මට කියූ කතා පුවත් 27ක්‌ පමණ මා සතුව ඇත. 
දිනක්‌ රාත්‍රියේ උන්වහන්සේ තමා වැඩ සිටින ගල් ගුහාවේ භාවනානුයෝගීව සිටියේ කළුවරේය. වේලාව රාත්‍රි 10ත් 11ත් අතර වෙන්නැති ගරුතර හිමියෝ පවසත්. හුළු අත්තක්‌ දල්වා ගත් අයෙක්‌ ගල් ගුහාවට ඇතුළු විය. හුළු අත්ත පොල් කොළවලින් සකස්‌වූවකි. මෙම ගල්ගුහාව ආසන්න මායිමක මිනිස්‌ වාසයක්‌ නොවන නිසාත්, පොල් අත්තක්‌ පැත්ත පළාතක නොමැති නිසාත්, ඈත ගමක සිට මේ රාත්‍රියේ හුළු අත්තක්‌ දල්වාගෙන කෙනකුට මෙතනට ඒමට නොහැකි බව නම් හොඳටම දන්නා නිසාත් මේ පැමිණි පුද්ගලයා පිළිබඳ කිසිවක්‌ නොවිමසා තමන්ගේ භාවනා අරමුණට ස්‌වාමීන් වහන්සේ සිත යොමුකර දැස්‌ පියාගත්තේය.
ගතවූයේ නිමේෂයකි. පැමිණි පුද්ගලයා මාහිමියන් ඇමැතීය. 
''මේ ඝන වනන්තරේ තට්‌ටතනියම හරියට දානයක්‌වත්, පානයක්‌වත් නැති ඔබවහන්සේ මොනවට දුක්‌ විඳිනවද. මම ඒක බාගෙන ඉඳලා බැරිම තැන ආවේ. ඒ නිසා මෙන්න මේ පොත අරගෙන ගමේ ගිහිල්ලා සිවුරු ඇරලා පොතේ තියෙන දේ කරනවා. රටම තමා ළඟට ඒවි. සල්ලිකාරයෙක්‌ වේවි' ආගන්තුක පුද්ගලයා ගෙනා පොත දිග හළේය. නාහිමියෝ පොත අතට ගන්නවාත් සමගම ඔහු හුළු අත්තත් අරගෙන පසෙකට විය. හාමුදුරුවෝ අතට ගත් පොත පුස්‌කොළ පොතකි. නූල්වලින් බැඳ තිබිණි.එය ලිහා කළුවරේම කියවන්නට විය. පොතේ ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්ය. නිධන් තිබෙන ස්‌ථානය. ඒවා ගන්නා අයුරුය. හාමුදුරුවන් පොත වසා යළිත් නූල්වලින් බැන්ඳේය. පොත ඔහුට දිගු කළේය. 
''මොකද? පොත ආපසු දෙන්නේ. නරකද තිබෙන දේවල්''. ඔහු සිනාසෙමින් ඇසීය. ''මට නම් ඒ පොතේ තියෙන දේවල් වලින් කිසිම ප්‍රයෝජනයක්‌ නැහැ. මට ඔය දේවල් කරලා සල්ලි හොයාගන්න වුවමනා නැහැ. මට තියෙන්නේ වෙනත් අරමුණක්‌'' හාමුදුරුවෝ එසේ පැවැසීය. ''එහෙනම් පොතක්‌ දියං'' ඔහු පොත අතින් ඇද සියතට ගත්තේය. ඒ සමගම ඔහු අතුරුදන් විය.
මා බදුරලියේ හාමුදුරුවන්ගෙන් ඔහු කව්දැයි ඇසීමි. ''ඔහු වනාන්තරයේ සිටින අමනුෂ්‍යයෙක්‌. භාවනා කරනවට විරුද්ධයි. ඔහුට ඕන වුණේ මට යන්ත්‍ර මන්ත්‍ර පොතක්‌ දීලා මාව යකදුරෙක්‌ කරන්න. ඊට පස්‌සෙ එයත් ඇවිත් උදව් කරාවි. මට සල්ලිත් හම්බවේවි. එහෙම වුණොත් මගේ ආධ්‍යාත්මික ගමන ඉවරයි. මම ලෝකාන්තරීය අපායේ උපදිවි. ඒවා මිත්‍යාදෘෂ්ටික වැඩ. ඒ අයට හිමි ඒ අපාය' හාමුදුරුවන් පැවැසූහ.
''මට ප්‍රශ්නයක්‌ තියෙනවා හාමුදුරුවනේ'' මම කියූවෙමි. ''කොහොමද රාත්‍රී කළුවරේ හාමුදුරුවෝ ඒ පොත කියෙව්වේ''.
''මහත්තයෝ මගේ මුහුණ වළහා කෑවට පස්‌සේ රෑට නොවෙයි දවාලටත් අකුරු නොපෙනී යනවා. දිගින් දිගටම වනයේ ගස්‌වල කොළ, මල්, පොතු, මුල්, අල කකා වනයේ පිරිසිදු ජලය පානය කිරීමත්, ස්‌නානය කිරීමත් නිසා භාවනා කර සිත දියුණු කර ගත්තම ඕනෑම දෙයක්‌ කළුවරේ කියවගන්න දකින්න අවශ්‍ය එළිය ඇස්‌ දෙකින්ම ලැබෙනවා'' බදුරලියේ ගරුතර යෝගාවචර හිමියෝ මාව දැනුවත් කළහ.
''මගේ තුන් හිතකවත් මුදල් වලට වස්‌තුවට දේපළවලට ආසාවක්‌ නැහැ. ඒ වගේම පැවිදි වුණාට පස්‌සේ කවදාවත් ගිහියෙක්‌ වෙන්න මම සිහිනෙන්වත් හිතුවේ නැහැ. මට වුවමනා නම් රහත් වෙන්න තිබුණා. මේව ඉතින් කියන්න හොඳත් නැහැ. මම පතන්නේ බුදුබවමයි මහත්තයෝ'' ගරුතර මා හිමියන් දෙනෙත් පියාගෙනම වදාරා සිටියහ.
අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා


free counters

දහම් රස වින්දෝ