සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ

සිල්වතුන් වඳිමු , * අතිගරු පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ * මේ කඨින පින්කම් කාලයයි.පසුගිය වස් පවාරණ විනය කර්මය සිදු කිරීම පිණිස අප නා උයන අරණ්‍ය සේනාසනයට වැඩියෙමු.ඊට පසුදිනම එහි කඨින මහා පූජෝත්සවයද පැවැත් වුනි.එම පින්කම් අවස්ථාවේදී අප නාහිමි ඉතා සතුටු සිතින් සිංහ නාදයක් කළේය.උන් වහන්සේගේම වචන වලින් කියනවානම් " මම මේ සමාදන් වෙලා පවාරණය කලේ මගේ 55 වෙනි වස් කාලය.මේ කාලය තුලදී එකම වස් කාලයක් වත් කැඩුනේ නෑ.දෙපාරක් පසු වස් සමාදන් වෙන්න වුනා නොවැලැක්විය හැකි හේතු නිසා " නා හිමියෝ මෙසේ පවසන විට රැස්ව හුන් පිරිස මහා හඬින් සාධු කාර දුන්හ.අප නා හිමි අවු.55 ක කාලයක් පුරාවට වස්සාන ශික්ෂා පදය ආරක්ෂා කල බවයි පැවසෙන්නේ.එපමණක්ද නොව ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය , ඉන්ද්‍රීය සංවර සීලය යන සිව් පිරිසිදු සිල් රැක ගැනීමෙන්ද සමාධිය වැඩීමෙන්ද ප්‍රඥාව වැඩීමෙන්ද පිරිපුන් මහා තෙරුන් වහන්සේ නමක් හැටියට හැඳින්වීම ද අතිශෝක්තියක් නොවේ.මා දන්නා තරමින් ත්‍රිපිටකය කට පාඩම් කොට එය දරා සිටිනා වූ වෙනත් ස්වාමීන් වහන්සේ නමක් ලංකාදීපය තුල දැනට විද්‍යාමාන නොවේ.උන් වහන්සේගෙන් කිනම් දහම් කරුණක් ඇසුවද දෙවරක් නොසිතා එකෙනෙහිම පිළිතුරු දීම මා සිත් ගත් කරුණකි.හේතුව නම් සසරෙහිද නා හිමියෝ ත්‍රිපිටක ධර්මය ප්‍රගුණ කල කෙනෙකි.එනමුදු කිසිම විභාගයක් ලියා නැත.ස්වාමින් වහන්සේගේ ව්‍යාකරණ දැනීමද ඉතා ඉහල මට්ටමක පවතී.උන් වහන්සේගේ ප්‍රාර්ථනාවද ලොව්තුරා බුදු වීමයි.බුදු රජාණන් වහන්සේ සුදුසු ගුරුවරයෙක් තෝරා ගන්නැයි දේශනා කලේද මෙවැනි උත්තමයන් ලොව පහල වන බව දන්නා නිසාය.ලංකාදීපය තුල බොහෝ දෙනෙක් උන්වහන්සේව නොදනිති.හේතුව නම් නිහඬ ජීවිතයක් ගත කිරීමයි.කළින් කලට ධර්ම ප්‍රචාරයද කරනු ලබයි.නමුදු ගරු ස්වාමින් වහන්සේගෙන් දෙවියන් සහිත ලෝකයාට නම් ඇත්තේ මහඟු සේවයකි.දම් පිපාසය ඇත්තවුන් සොයාගෙන අවුත් එම සේවය ලබා ගනිති.ප්‍රසිද්ධ වීමට උත්සාහයක් ද උන් වහන්සේට නැත.නමුත් මෙවැනි සිල්වතුන් වහන්සේලාගේ ගුණ කියයුතුය.එයින් කාරනා දෙකක් සිද්ධ වේ.එකක් නම් මාගේ කුසල් සිත වැඩි දියුණු වෙයි.අන් අයගේද කුසල් සිත වැඩි දියුණු වෙයි.උන්වහන්සේ ගැන කියනවා නම් දවස් ගණනක් වුවද නොසෑහේ.මේ සටහන තැබීමෙන් මා තුල ජනිත වූ කුසලානිසංස බලයෙනුත් අප සියළු දෙනා අනන්ත සසර පටන් ජනිත කරගන්නා ලද කුසලානිසංස බලයෙනුත් ගරු නා හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා, අප වැනි අසරණ සත්වයින්ට අමාපැන් පොවමින් නිවන් පුර රුවන් දොරටු වීවෘත කරදීමට හැකිවන ලොව්තුරා බුද්ධ රාජ්ජයම අවභෝධ කර ගැනීමට සියළු කුසල් හේතු වාසනා වේවායි මෛත්‍රී සිතින් ආශිංසනය කරමු. 
සැමදෙනාටම තෙරුවන් සරණයි !
Visuddhi Thero


free counters

දහම් රස වින්දෝ