සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 28

එක්ව ගමන් කළ සසර ගමන

වරක් කියවූවද සෑහීමකට පත් නොවූ හිත දෙවැනි වරට ද කියවීමට තරම් මේ ‘ ශාසනාවතරණය’ ඔහුගේ සිත ආකර්ෂණයට පත් කළේ ය. ‘ශාසනාවතරණය’ දෙවන වර කියවීමත් සමඟ එවකට වසර 26 ක් පමණ වූ මේ නව යොවුන් තරුණ ගුරුවරයාගේ ජීවිත පොතේ ගිහි දිවිය හා බැඳෙන අවසන් පරිච්ඡේදය දෛවය විසින් ලියා නිම කරමින්  පැවතියේ ය. ජීවිතය හොඳින් විමසා බැලිය හැකි ජවාධික තරුණ අවධියේ දී ම ගිහිගෙය හැරයාමට තරම් හිත ප්‍රබල පරිවර්තනයකට පත් වූයේ රේරුකානේ මහා නා හිමියන්ගේ පොත් පෙළෙහි වූ විශිෂ්ට ආකර්ෂණීය බව ය

කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ට මතක තවත් අපූරු සිද්ධියකි මෙය. නාවික ඉංජිනේරුවරයකු වූ ඔහු ලෝකයේ බොහෝ රටවල සංචාරය කරමින් විශාල වශයෙන් මුදල් හම්බ කළ මෙන්ම නාස්ති කළ අයෙකි. හෙතෙම කමින් බොමින්, නටමින්, රඟමින් නිරපරාදේ ධනය වැය කළේ නිශ්ඵල දේ සඳහා ය.
ඒ අතර වාරයේ භාග්‍යයකට මෙන් අතහැරීමට නො හැකි කලණ මිතුරෝ කීපදෙනෙක් මේ ඉංජිනේරුවරයාට අහම්බෙන් මෙන් හමු වූහ. මේ කලණ මිතුරු කැල ඉංජිනේරු මහතාගේ ජීවිතය යහමඟට හරවාලීම උදෙසා ප්‍රඥාවන්තව කටයුතු කළහ.
දුකේදී තව තවත් ළං වෙමින් ඔහු අතැර නොගියෝ ය. එනිසා සැබෑම කලණ මිතුරෝ වූහ. ඒ වෙනත් කවුරුවත් නොවේ, රේරුකානේ මහා නා හිමියන් ලියූ විශිෂ්ට ගුණයෙන් අනූන වූ එකිනෙකට නොදෙවැනි වූ අසහාය සදහම් පොත් පෙළ ය. ජීවිතය කුමක් දැයි නො හඳුනමින් හිස් දිවියක් ගත කළ මේ මනුෂ්‍යයාට දිවියේ යථාවාදී ස්වරූපය තත්වාකාරයෙන් පහදාදීමට මෙම සදහම් පොත් පෙළ සමත්වීම නිසා අද ඔහු ආදර්ශවත් යහත් ජීවිතයක් ගත කරයි.
ඒ ඉන්ජිනේරු මහත්මයාට අත් විඳීමට ලැබුණු තවත් අපූරු අත්දැකීමක් ද මේ සමඟ මෙනෙහි වෙයි. ඒ එතුමා සිටි ප්‍රදේශයේ ජීවත් වූ රළු ගති ඇති අයකු පිළිබඳ පුවතකි.

හිරේ විලංගුවේ වැටී අච්චු විඳි මේ තැනැත්තා රළු ගති ඇත්තෙකි. ඔහුගේ ස්වරූපය ද කෙනකුගේ හිතට භය උපදවන සුළුය. දිනක් ඉංජිනේරු මහතා පොතක් කියවමින් සිටියේ ය. ‘සූවිසි මහා ගුණය’ නමැති එම පොත රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් ලියූවකි. ඔය අතර එතනට පැමිණියේ අර රළු ගුණ ඇති මනුෂ්‍යයා ය. පැමිණි ඔහු තම හඬට යම් තරමකට බරක් ද එකතු කර මෙසේ පැවසී ය. ‘මහත්තයෝ මොකක්ද ඔය කියවන පොත’ බර හඬයි සැර පෙනුමයි එකට පදම් වී ඉංජිනේරු මහතාගේ සිත මදක් සසල කළේ ය. ඔහුට මෙය අදාළ නොවුණත් පිළිතුරක් නොදී මඟහැරිය නො හැකි ය. ‘මේක බුද්ධගමේ පොතක්’ ඉංජිනේරුවරයා පැවසීය.
‘මහත්තයෝ මටත් දෙන්නකො පොත බලන්න. චණ්ඩියා, එසේ ඉල්ලිම කරන විට ඉන්ජිනේරු මහත්තයාගේ හිතට ඇතිවූයේ පුදුමයත්, බයත් සම්මිශ්‍රණය වූ හැඟීමකි. කොහොමවත් මොහුට නම් පොත නොදී බැරිය. වචනය පිට වූ සැනෙන් පොත ඒ මනුෂ්‍යයාගේ අත මතට වැටුණේ ඒ නිසා ය.
ඔහු පොතත් රැගෙන සෙමෙන් මාරු විය. මිනිත්තු හෝරා දවස් බවට පත්වෙමින් කාලය ගත විය. පොත ගෙනිච්ච චණ්ඩියත් නැත. පොතත් නැත. එහෙත් දින හය හතකින් අතුරුදහන් වූ චන්ඩි පාහේ මනුෂ්‍යයා නැවත මතුවුණේ පොතත් සමඟය.
‘මහත්තයෝ මේ පොත මම හයවාරයක් කියෙව්වා.’ ඇත්තෙන්ම මහත්තයෝ මේ වගේ දේවල් අපි දැනගෙන හිටිය නං වැරැදි වැඩ කරන්නේ නැහැ. මෙතරම් විනාශ සිද්ධ වෙන්නෙත් නැහැ.
‘එක එක අමනුස්ස වැඩ කරන්නෙත් නැහැ.’ චණ්ඩියාගේ මුවින් ප්‍රකාශ වූ ඒ වදන් පෙළ පරිදිම ක්‍රියාව ද විශාල පරිවර්තනයකට පත්විය. මොහු සුමගට හැරවීමේ හැරවුම් ලක්‍ෂය වූයේ රේරුකානේ මහා නා හිමියන්ගේ ‘සූවිසි මහා ගුණය’ යි. දැන් ඔහුගේ චන්ඩි පාට් නොමැත. කතාවත් සන්සුන්ය. ඉන්ජිනේරු මහත්තයටත් මෙම ක්‍ෂණික පෙරළිය මහත් පුදුමයකි.
අංගුලිමාල නැවතත් අහිංසක වූවාසේ මෙම රළු මිනිසාත් මුදු මිනිසෙක් බවට පත් විය. අවැඩ අත්හැර ගුණ ගරුක මිනිසෙක් බිහි විය. බලන්න මෙවන් විශාල පරිවර්තනයක් කළ රේරුකානේ මහා නා හිමියන්ගේ පොත් පෙළේ ඇති බලය. මේ අප දන්නා අද්දැකීම් කීපයක් පමණි. දහස් ගණනින් මිනිසුන් මෙවැනි යහපත් අද්දැකීම් වලට මුහුණ දුන්නාට සැක නැත. මේ පොත් පෙළ නිසා බොහෝ මිනිසුන්ගේ අන්ධ විශ්වාසයන් දුරු විය. නිසි ශ්‍රද්ධාව නො හඳුනනා බොහෝ මිනිසුන්ට සැබෑ වූ ශ්‍රද්ධාව මේ යැයි පස්කර දෙනු ලැබීය.ඒ රේරුකානේ මහා නා හිමියන්ගේ පොතක බලය විසිනි. එවැනි මිනිසුන්ගේ ලියුම් වලින් විහාරස්ථානයට අඩුවක් නොවීය. ශ්‍රද්ධාව වර්ධනය කර ගනිමින් ගිහි ජීවිතයෙන් මිදී භික්‍ෂූත්වය ගෞරවයෙන් වැළඳ ගත් ද අයද මේ අතර සිටිති.
එයින් විශේෂ භික්‍ෂූන් වහන්සේ නමක් වූයේ අපවත් වී වදාළ පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේයි. උන්වහන්සේට ගිහි ජීවිතය අත්හැර භික්‍ෂු ජීවිතයට අවතිර්ණවීමට හේතු පාදක වූයේ රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ ධර්ම පුස්තක පෙළ බව ප්‍රසිද්ධ කරුණකි.
මෙසේ තවත් එක් ගුරු මහත්මයෙක් චන්දවිමල මහා නා හිමියන් වෙත අතිශයින්ම පැහැදෙන්නේ උන්වහන්සේගේ පොතේ බල මහිමයට පින් සිදු වන්නටය. එම ගුරු මහතා පසුකාලීනව චන්දවිමල මහා නා හිමියන්ගේ ජීවිතයට අතිශය සමීප වන නිසා මෙතන දී කතා කළ යුතු විශේෂිත පුද්ගල චරිතයක් බවට පත් වෙයි.
මෙම ගුරු මහතාගේ ගම බිබිල ප්‍රදේශයේ ය. එතුමා මුලින්ම කියැවූයේ රේරුකානේ මහා නා හිමියන්ගේ ‘අභිධර්ම මාර්ගය’ නමැති පොතය. එය කියවීමෙන් ධර්ම රසයත් සමඟ මහත් අස්වැසිල්ලක් හිතට දැනිණ. එතුමාගේ ජීවිතාපේක්‍ෂාවේ උතුම් ඵලයක් ලබාදීමට තරම් වාසනාව උදා කළේ ශාසනාවතරණය’ නමැති පොත ය.
වරක් කියවූවද සෑහීමකට පත් නොවූ හිත දෙවැනි වරට ද කියවීමට තරම් මේ ‘ශාසනාවතරණය’ ඔහුගේ සිත ආකර්ෂණයට පත් කළේ ය. ‘ශාසනාවතරණය’ දෙවන වර කියවීමත් සමඟ එවකට වසර 26 ක් පමණ වූ මේ නව යොවුන් තරුණ ගුරුවරයාගේ ජීවිත පොතේ ගිහි දිවිය හා බැඳෙන අවසන් පරිච්ඡේදය දෛවය විසින් ලියා නිම කරමින් පැවතියේ ය. ජීවිතය හොඳින් විමසා බැලිය හැකි ජවාධික තරුණ අවධියේ දී ම ගිහිගෙය හැරයාමට තරම් හිත ප්‍රබල පරිවර්තනයකට පත් වූයේ රේරුකානේ මහා නා හිමියන්ගේ පොත් පෙළෙහි වූ විශිෂ්ට ආකර්ෂණීය බව ය.
මා හිමිපාණන් වහන්සේගේ පොත් පරිශීලනය කිරීමෙන් ලද ධර්මාවබෝධය නිසා නික්ම යෑම බැඳ තබන්නට ගිහි ගෙදර වරපට කිසිසේත්ම සවිමත් නොවී ය. එහෙත් මේ තරුණ ගුරුවරයාට ගිහිගෙය හැරයාමට නොහැකි ප්‍රධාන සාධකය වූයේ තම ආදරණීය අම්මාය. අම්මාගෙන් වෙන්වීම වේදනාකාරී වුවද අත් හැරීමට සිත හදා ගත යුතු ය.
සාමාජිකයන් හයදෙනකු සහිත පවුලේ එකම පිරිමි දරුවා මෙසේ ශාසනයට ඇතුල්වීම අම්මා කෙසේ නම් උහුලන්නේද? කෙලෙස හෝ හැඬුම් වැළපුම් මැද මේ තරුණ ගුරුවරයා 1977 වසරේ ජූනි 23 වන දින දුක් සහිත ගිහි දිවියෙන් මිදී උත්තම සංඝ සමාජයේ බුද්ධ පුත්‍රයකු වීමේ වාසනාව උදාකර ගැනීමට සමත් විය.
මේ තරුණයා සසුන් ගත වූයේ කිරිඔරුවේ ධම්මානන්ද යන නමිනි. මහණවීමෙන් පසුව ධම්මානන්ද හිමියන් තවත් වසර තුනක් පමණ පුරුදු ගුරු වෘත්තියේම නියැළිණි. විහාරයේ ලොකු හාමුදුරුවෝ ද තම ගෝලයාගේ සියලු කාර්යයන්ට සහාය ලබා දුන්හ. ගෝලයා ද ගුරු භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ඇවැතිය යුතු පැවැතිය යුතු නිවැරදි ආකාරයටම තම යුතුකම් වගකීම් ඉටු කරනු ලැබුවේ කිසිදා දෑසින් දැක නොතිබුණු රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් ලියූ පොත් හි සඳහන්ව තිබූ ආදර්ශයන්ට හාත්පසින්ම අනුකූල වන ආකාරයටය.
ධම්මානන්ද හිමියන්ට ධර්මය කියා දුන්නේ භික්‍ෂු ජීවිතයට අවශ්‍ය ඇවැතුම් පැවැතුම් මෙන්ම නිසිමඟ පැහැදිලි කරදුන්නේ රේරුකානේ මහා නා හිමිපාණන්ගේ පොත් පෙළ ය. තමා මහණ කළ නායක හාමුදුරුවන්ට වඳින්න යන සෑම අවස්ථාවකම, ධම්මානන්ද හිමියන් කරන්නේ ප්‍රථමයෙන් තමාට ධර්මය කියා දුන් රේරුකානේ මහා නා හිමියන් සිහිපත් කර වැඳීමය. ඔය අතර වාරයේ ධම්මානන්ද හිමියන් සිතුවේ තමාට ධර්මය පිළිබඳ නිසි නිවැරැදි අවබෝධය ලබා දුන් චන්දවිමල මහා නා හිමියන්ට ටික දිනක් හෝ ඇප උපස්ථාන කරමින් කෘතගුණ සැලකිය යුතු බවය.
අවසානයේ ධම්මානන්ද හිමියෝ තීරණයකට එළඹුණහ. හැකි සෑම අවස්ථාවකම අම්මාට සැලකිය යුතු ය. තමා අම්මා සමඟ නො සිටියාට ආදරණීය මව වෙනුවෙන් සහෝදරවරියෝ සිටින්නේ ය. ලොකු හාමුදුරුවන් බලා ගැනීමට තවත් ගෝලයෝ සිටිති. එසේ නම් දැන් මා ගියාට පව් නැත. ඉතින් මා යා යුතු ය. ධම්මානන්ද හිමි එසේ සිතුවේ ය.
පොකුණුවිට බලා එන ගමන ඉතා සංවේගජනකය. ධම්මානන්ද වැනි අතිජාත දරුවකු අම්මාගෙන් වෙන්වීම දුකකි. ධම්මානන්ද වැනි ඉතා යහපත් ගෝලයකු නා හිමියන්ගෙන් ඈත්වීම ද දුකකි. එහෙත් සසර දුකින් මිදී දුක නිවාරණය කරගන්නට අවැසි නිසි මඟ තෝරා ගැනෙන්නේ නම් එය සතුටකි. සියල්ලන්ගේ හඬා වැළපීම් හමුවේ ධම්මා නන්ද හිමි ගමන පිටත් විය. නායක හාමුදුරුවන්ගේ දෑසද කඳුළුලෙන් තෙත් වී තිබිණ. ධම්මානන්ද හිමියන්ගේ මෙම ගමන ඉතා හදිසියේ ගත් තීරණයකි.
කිසිදා දැක නොමැති රේරුකානේ මහා නා හිමියන් මෙන්ම උන්වහන්සේ වැඩ සිටි ස්ථානය ගැන කිසිදු අවබෝධයකින් තොරව පිළිපන් මේ අස්ථිර ගමන කාටත් ප්‍රහේළිකාවක් වූහ. කෙනකුට නිශ්ඵල ගමනක් සේ දැනුණ ද පෙනුණද ඇත්තෙන්ම මෙය සසර චාරිකාව එක්ව ගමන් කළ වූවන්ගේ එක් හමුවීමක ආරම්භය විය. එය සිදුවුණේ 1980 අගෝස්තු 27 වැනි දිනය. මහා නාහිමියන්ගේ වයස අවු. 83 කි. බිබිලේ සිට පොකුණුවිට දක්වා අසාගෙන සොයාගෙන වෙහෙසින් ආ ගමන විනයාලංකාරාරාමයෙන් නැවතෙන විට එදා රාත්‍රී අට පසුවෙමින් පැවතිණි.
විහාරස්ථානයට පැමිණියේ ද අවේලාවේ දී ය. මෙහිදී ධම්මානන්ද හිමියන්ට කලය්‍යාණ ධම්ම හිමියන් මුණ ගැසුණේ ය. පැමිණි අවශ්‍යතාවය කල්‍යාණ ධම්ම හිමියන්ට පැවසීමෙන් පසුව මහා නා හිමියන් හමුවීමට අවස්ථාව උදාකර දෙන ලදී. නායක හාමුදුරුවන්ගේ කන් ඇසීම දුර්වල නිසා උපදෙස් ලැබුණේ හඬ නගා කතා කරන ලෙසය. ඒ අනුව හමුවීම සිදුවිය.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 29

මහා නා හිමි රැස් කළ මහා ධනස්කන්දය

නිරවුල් මනසක සෙමෙන් ගොඩනැගෙන ආධ්‍යාත්මක ශක්තිය තිරසාරය. ඉන් තම දිවිමඟද ආලෝකවත් කරගනිමින් එම ආලෝකයෙන් නෙක දිසා එළිය කිරීමට මහා නා හිමියෝ සමත් වූ ධර්ම ඥානය ඉතා නිරවුල් ලෙස තම දැනුම් ගබඩාවේ තැන්පත්ව තිබූ බැවිනි. රේරුකානේ මහා නා හිමියන් තවත් වරක පැවැසුවේ. “ධම්මානන්ද මා රැස් කළ විශාල ධනය පිරිසුදු පැවිදි ජීවිතය” බවය
වේලාව එදින රාත්‍රී අට පසුවී විනාඩි 20 ට ආසන්නය. දුක්ඛදායක සංසාර චක්‍රයේ භ්‍රමණය නවතාලීම වෙනුවෙන් අධ්‍යාත්මික සවිය ප්‍රදානය කළා වූ ද ගිහිගෙදර කඩතුරා ඉරා දමා උත්තුංග අරිහත් ධජය හැඳ පැළඳවීමේ අවශ්‍යතාවය කියා දුන්නාවූ ද, මේ මහා සැබෑ පරිවර්තනය වෙනුවෙන් ප්‍රධානතම සාධකය වූවා වූද එහෙත් මෙතෙක් දිවි මගේ කිසිදු තැනකදී කිසිදු දිනකදී හමු නොවුණා වූ ද, අදෘශ්‍යමාන ගුරු උත්තමයා වූ ද, තම ආත්මයේ මහා වපසරියක් ආලෝකවත් කළ දිනිසුරු වැනි වූ ද, රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් මේ ආවාස කුටියේ කොණක කුඩා ඇඳක් මත සැතපී සිටී. උන් වහන්සේ දැක ගැනීමට ලැබීම ධම්මානන්ද තරුණ භික්‍ෂූන් වහන්සේගේ හිත වෙලූ අපේක්‍ෂාවෙන් සියල්ල මල්ඵල ගැන්වීමෙන් ඒ මොහොතේ ඇතිවූ ප්‍රමෝදය වචනවලට පෙරලීමට නොහැකි තරම් විය.
මහා නාහිමියන්ට වැඳ නමස්කාර කළ විට උන්වහන්සේ ඇසුවේ “ ඔය නම කොහේ සිටද මේ රෑ වැඩියේ “ කියාය. “නායක හාමුදුරුවනේ මං ආවෙ බොහොම ඈතක ඉඳල, නායක හාමුදුරුවන් බැහැ දකින්නයි. මා නායක හාමුදුරුවන්ගේ පොත් කියවලා මහන වුණ කෙනෙක් “ ධම්මානන්ද හිමියන් ඒ වදන් පෙළ එක දිගට පැවසුවේ උන්වහන්සේ පිළිබඳ සැක සංකා ඇතිවේ නම් එය දුරු කිරීමේ අභිප්‍රායෙනි.
මේ වදන් පෙළ අසා සිටි මහා නා හිමියෝ “දැන් නම් අපට බොහොම අමාරුයි” කියමින් ඇඳ ළග තිබූ සැරයටියේ වාරුවෙන් නැඟිටින්නට උත්සාහ කළහ.
හැරමිටියේ වාරුවෙන් සහ ධම්මානන්ද හිමියන්ගේ උදව්වෙන් ඉස්තෝප්පුවට වැඩ මහා නා හිමියෝ. එහි පුටුවක වාඩි වී ලෑල්ලක සවිකර තිබූ සීනුවක් නාද කළහ. නාදය ඇසී භික්‍ෂූන් වහන්සේ නමක් වැඩියහ.
“මේ නම බොහොම ඈත ඉඳල ආපු කෙනෙක් ගිලන්පස ටිකක් හදල දෙන්න” වයෝවෘද්ධව දුබලව සිටියත්, උන්වහන්සේ ප්‍රථමයෙන්ම පෙළඹුණේ කාරුණිකව ආගන්තුක සත්කාරයෙන් සැලකීමටය. ධම්මානන්ද හිමියන්ට එදා අමුත්තන්ගේ කාමරයේ නැවතී රාත්‍රිය පහන් කිරීමට වූයේ නිදි වර්ජිතවය. නින්ද පළවාහැරී මදුරු ප්‍රහාරය එතරම් දැඩි වුවද මහා නා හිමියන් දැක පිළිසඳර කතාවේ යෙදී ජීවිතයේ විශාල බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට ලැබීමේ ඒ චිත්ත සන්තෘෂ්ඨිය, මදුරු ප්‍රහාරයට හෝ ළං නොවූ නින්දට පැරදවීමට නොහැකි විය.
දවස නිමා වී එළඹුණු උදයේදී නැවත නායක හාමුදුරුවන් හමුවී මහා නා හිමියන්ට අවශ්‍ය සුළු සුළු වතාවත් කීපයක් කිරීමට ධම්මානන්ද හිමියෝ පෙළඹුණහ. ඉන්පසු ලද විරාමරයකින් ප්‍රයෝජන ගනිමින් ධම්මානන්ද හිමියෝ තම අපේක්‍ෂාව මෙන්ම අවශ්‍ය තොරතුරු නොවහළා පැවසූහ.
උන්වහන්සේ ගුරු හාමුදුරුවන්ගේ මෙන්ම සේවය කළ විදුහලේ විදුහල්පතිතුමාගේ චරිත සහතිිකද පෙන්වූයේ තම අනන්‍යතාවය සනාථ කිරීම සඳහාය.
“ඔය නම ඇවිත් තියෙන්නේ පුදුම ගමනක්. මේ ගමන එන්න කලින් මගෙන් ඇහුවා නම් මං කැමති වන්නේ නැහැ’ අනුන්ගේ ගෝලයේ අප ළඟ තියාගත්තාම ඒ හාමුදුරුවරුන් අපට දොස් කියාවි” එසේ නොවන බව ධම්මානන්ද හිමියන් පැවසුවද නායක හාමුදුරුවන්ට අවශ්‍ය වුනේ මෙය ගැටලුවකින් තොරව විසඳා ගැනීමටය. ඒ නිසා ටැම්ගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේට ලියුමක් ලියා සියල්ල දැනුම් දීමට මහා නා හිමියෝ පියවර ගත්හ. එයට ප්‍රතිවිරෝධයක් පැණ නැගුනේ නැත. දැන් ප්‍රශ්නය ගැටලු වලින් තොරව විසඳී හමාරය. මෙසේ සති දෙකක් පමණ ගත විය. ධම්මානන්ද හිමියෝ මහා නා හිමියන් වෙත තව තවත් සමීප වූහ.
දැන් ධම්මානන්ද හිමියන්ගේ ඊළඟ අපේක්‍ෂාව මහා නා හිමියන් වෙත ප්‍රකාශ කිරීමට කාලය හොඳයි.
‘නායක හාමුදුරුවනේ මුල ඉඳලම මා , මගෙ ගුරුවරයා වශයෙන් සැලකුවේ ඔබ වහන්සේවයි. මා පැවිදි වූයේ නායක හාමුදුරුවන්ගේ පොත් කියවීමට ලැබුණු නිසයි. මා පැවිදිකළ නායක හාමුදුරුවන්ටත් මේ බව ප්‍රකාශ කළා. ගිහි කාලයේදීත්, පැවිදි දිවියේදීත් රාත්‍රියට බුදුන් වැඳ අවසානයේ නායක හාමුදුරුවන් සිහි කරල මා වඳීනවා. ඒ නිසා මා නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක් වීමට කැමතියි. ශ්වේජින් නිකායේ කෙනෙකු වීමට කැමැතියි “ධම්මානන්ද හිමියන් තම ඉල්ලීම එසේ ඉදිරිපත් කළ විට මහා නා හිමි පැවසුවේ” හොඳයි අප තව ටිකක් කල්පනා කර බලමුකෝ “ කියාය.සංවාදය එසේ නිමා විය. 1980 ඔක්තෝබර් මස 5 වැනි දාටත් හිරු උදාවිය.
එදින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයට එක් රැස් කළ ශ්‍රී‍්‍ර ලංකා ශ්වේජින් නිකායේ මහා සංඝ සභාව විසින් කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ශ්වේජින් නිකායට ඇතුළත් කර ගනිමින් එහි සීමා මාලකයේදී රේරුකානේ චන්දවිමල මහා නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් විදියට උපසම්පදාව ලබා දී උන්වහන්සේගේ ඒකායන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීමට ඉඩ හසර විවර කර දෙන ලද්දේ ය.
දිගු ගමනකට අවතීර්ණ වූ නදිය සොඳුරු ඉසව් හරහා ද සරු බිම් හරහා ද ගලනු නියතය. අට කතරද මුඩු බිම් ද නිසරු බිම් ද සරු කරමින් ගලනු ඇත. බාධක ගල්පර හමුවේද අඳුරු පටු බිම් හමුවේද නොසැලී නොසිඳී ජයබිම කරා ඉදිරියටම ඇදෙනු නියතය.
රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් වැඩිය. සුදු වැලි අතුල සංසාරයේ ඉම සොයා ඇදෙන සක්මන් මළුව දිගේ වඩින්නට මහා නා හිමියන් ඇසුරේ ගුරු හරුකම් ලබාගත් උන්වහන්සේගේ හැඟීම් දැනීම් හඳුනන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට මෙන්ම එම ඇසුර පැතූ සැමට ලෙහෙසියකි. මහා නාහිමියන්ගේ ඒ උත්තුංග ප්‍රතිරූපය මැවු ආලෝකයේ එළිය දිගේ තම ගමන්මඟ නිවැරදි දිශාවට හැසිරවීමට පහසුවනු නියතය.
ඒ නිසාම චන්දවිමල මහා නා හිමියන්ගේ ඇසුර පැතූ සැබෑ ශිෂ්‍ය රත්නයකට මෙවන් ගුරුඋත්තමයකුගේ ඇසුර ලැබුණේ නම් එය මහා වාසනා බල මහිමයක් මය.
ඒ වාසනා බල මහිමය අදටත් නොනිමී පැවතීම භාග්‍යයක්මය. ඒ රේරුකානේ චන්දවිමල මහා නා හිමි ලියූ පොත් පෙළ අදටද පරිහරණයේ පවතින නිසාය.
චන්දවිමල මහා නා හිමියන්ගේ වයෝවෘද්ධ යුගයේ මහා නා හිමි ඇසුරේ හිඳිමින් ඇප උපස්ථාන කරමින්, අකම්පිතව නොසැළී ගෙවු කාලය ඇත්තෙන්ම ධම්මානන්ද හිමියන්ගේ ජීවිත පොතට ස්වර්ණමය පිටු එක්කර තිබේ.
ඒ අද්දැකීම් ඉතා හොඳින් පැවසීමට ධම්මානන්ද හිමියන්ට වඩා තවත් සුදුස්සෙකු නොමැති තරම් යයි කීවොත් කෙනකු මා සමග උරණ නොවනු ඇත. මේ මොහොතේදී රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ උත්තුංග චරිතාපදානයේ තීරණාත්මක කඩ ඉම් ඔස්සේ යන ගමනේ පසුබිම් කථනය ඇසෙන්නේ ධම්මානන්ද හිමියන්ගේ හඬිනි.
රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් වසර සියයක් ආයු වැළඳු බව මීට ප්‍රථමයෙන්ද ප්‍රකාශ කළෙමු.
එයින් පශ්චිම යුගයේ දාහත් වසරක් මහා නා හිමියන්ට ඇප උපස්ථාන කරමින් උන්වහන්සේගේ සයනය සමීපයේ වැඩසිටිමින් ගෙවු ඒ කාලය කිසිසේත් අමතක කළ නොහැකිය. එය ඒ තරම් විශේෂිත කාලයකි. මහා නා හිමියන්ගේ ජීවිත පොතේ පශ්චිම යාමයේ විශේෂිත පරිච්ඡේදයක් නැවත ස්මරණය කිරීමට ධම්මානන්ද හිමියන්ට ඉඩ හසර විවර කර දෙමු.
‘රේරුකානේ මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ලියන ලද ධර්ම ග්‍රන්ථ කියවන විට අපට උන්වහන්සේ පිළිබඳව කල්පනා වුයේ උන්වහන්සේ විශිෂ්ට බුද්ධිමතකු බවත්,අනුන්ට ධර්මය ලියන්නේ උන්වහන්සේ ඒ ධර්මයේ පිහිටා සිට බවත්, සිත දියුණු කරගත් උතුමකු බවත් ය”
“උන්වහන්සේ සමීපයට පැමිණ වැඩි දිනක් යන්නට මත්තෙන් අපට උන්වහන්සේ පිළිබඳව ඇති වූ අදහස් ප්‍රත්‍යක්‍ෂ ලෙස දක්නට ලැබුණි. මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තියුණූ නුවණකින් යුක්ත වූ සේක.ඕනෑම සියුම් ගැඹුරු කාරණයක් පිළිබඳව විනිවිද යන නුවණක් උන්වහන්සේට තිබුණි. විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු පවා සමහර කරුණු ගැන මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සමඟ සාකච්ඡා කරන විට උන්වහන්සේගේ දැනීම පිළිබඳව මවිතයට පත් වූහ. උන්වහන්සේ පුදුම විදියේ ධාරණ ශක්තියකින් යුක්ත වූ සේක. යමක් එක්වරක් කියවූ පමණින් මතක සිටින ශක්තිය විශේෂිත ගුණයකි. අනූපස් වියේදී පවා ඒ ධාරණ ශක්තිය උන්වහන්සේ තුළින් විද්‍යාමාන විය.
මහා නා හිමිපාණන් වහන්සේ වරක් මා සමඟ පැවසුවේ “ධම්මානන්ද මා ගාථා කවදාවත් අමාරුවෙන් පාඩම් කරලා නැහැ. මට යමක් එක් වරක් කීවාම පාඩම් හිටිනවා. මට පාඩම් තියෙන ප්‍රමාණය නම් කොච්චරද කියල මමවත් දන්නේ නැහැ.”
ත්‍රිපිටක ධර්මය පිළිබඳව උන්වහන්සේට තිබුණෙ නිවැරැදි නිරවුල් පිරිසුදු උසස් දැනුමකි.
“ ධම්මානන්ද මට මේ ධර්මය ගැන හොඳ දැනුමක් ඇති කර ගන්න පුළුවන් වුණේ යම් ධර්ම කාරණයක් හොඳින් වැටහෙන තුරු කොච්චර කාලයක් ගත වුණත් කල්පනා කිරීම අපේ සිරිත නිසයි. සමහර ධර්ම කාරණා වැටහෙන්නට බොහෝ කල් ගත වී තිබෙනවා”
ධම්මානන්ද හිමියන් සමඟ පැවැසූ මෙම ප්‍රකාශ තුලින් හැඟී යන්නේ රේරුකානේ මහා නා හිමියන් සම්බුදු දහම මනා ප්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් සිත්හි ධාරණය කරගත් බවකි. සමහර ධර්ම කාරණා වැටහෙන්නට බොහෝ කාලයක් ගතවෙන්නේ නම්, එය මනාව අවබෝධ වන තුරු කාලයට ඉඩදී ඉවසා සිටින්නට තරම් උන්වහන්සේගේ සිත සන්සුන්ය. කලබලයකින් තොරය. එවන් නිරවුල් මනසක සෙමෙන් ගොඩනැගෙන ආධ්‍යාත්මක ශක්තිය තිරසාරය. ඉන් තම දිවිමඟද ආලෝකවත් කරගනිමින් එම ආලෝකයෙන් නෙක දිසා එළිය කිරීමට මහා නා හිමියෝ සමත් වූ ධර්ම ඥානය ඉතා නිරවුල් ලෙස තම දැනුම් ගබඩාවේ තැන්පත්ව තිබූ බැවිනි. රේරුකානේ මහා නා හිමියන් තවත් වරක පැවැසුවේ. “ධම්මානන්ද මා රැස් කළ විශාල ධනය පිරිසුදු පැවිදි ජීවිතය” බවය.
සැබෑ භික්‍ෂූන් වහන්සේ නමකට මීටත් වඩා වැඩි ධනයක් තිබේද? ඒ රැස් කර ගත් ධනය උන්වහන්සේගේ පිවිතුරු දිවි මග පොහොසත් කළෙහිය.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 30

මහා නා හිමියන්ගේ පොත් පෙළ විශ්වවිද්‍යාලයක් වගෙයි

චන්දවිමල මහා නා හිමියන් වහන්සේ ලියා පළ කළ ධර්ම පුස්තක පෙළ වෙනුවෙන් උන්වහන්සේ පෞද්ගලිකව කිසිදු ලාභාපේක්‍ෂාවක් බලාපොරොත්තු නොවුණේ භෞතික ධනය පිළිබඳව තැකීමක් නොකළ මහා නා හිමියන්ගේ ආධ්‍යාත්මය පොහොසත් වූ නිසාය. ධම්මානන්ද හිමියෝ චන්දවිමල ගුරු හිමියන් පිළිබඳ තම මතකය අවදි කිරීමේදි මෙසේද පවසති. ‘මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ධර්මය ගැන විශිෂ්ට දැනුමක් ඇති වීමට භාෂා ශාස්ත්‍රය පිළිබඳව තිබූ ගැඹුරු දැනීමත් හේතු වුණා. සිංහල, පාලි, බුරුම යන භාෂාවන් පිළිබඳ උන්වහන්සේ තුළ පැවතියේ පළල් දැනුමකි. සංස්කෘත භාෂාව පිළිබඳවත් උන්වහන්සේට තිබුණේ පුළුල් අවබෝධයකි. නා හිමියන් ඒ ගැන මා සමඟ (ධම්මානන්ද හිමි සමඟ) වරක් පැවසුවේ “අප නොයෙක් විෂයන් පිළිබඳ පොත් කියවා ඒවා ගැනත් දැනීමක් ඇති කරගෙන තියෙනවා. නක්ෂත්‍රය, වෙදකම ගැනත් මට දැනීමක් තියෙනවා. ‘ ඒ වුවත් මා ඒවා කරන්න යන්නේ නෑ ‘
‘අපේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තුළ තිබූ විශේෂ ගුණයකි, සියල්ලන්ටම එකසේ සැලකීම, දුප්පතාටත් පොහොසතාටත්, පාලකයාටත්, සැලකුවේ එකම ආකාරයට ය. ඒ ඒ පුද්ගලයාගේ තරාතිරමට ගැළපෙන පරිදි කතා කළා මිස කිසිම අවස්ථාවක විශේෂ සැළකිල්ලක් දැක්වූයේ නෑ. යමකුට යමක් කියන්න තියෙනවා නම් ඒ අවස්ථාවේදීම නිර්භීතව ඉදිරියේදීම කියනවා. අනුන්ගේ නැති ගුණ කියමින් වර්ණනා කරන්නේ නැහැ. අනුනගේ අගුණ සොයා ඒ අය වෙන් කිරීමක්ද කරන්නේ නෑ. උන්වහන්සේ යමකු තුළ තිබෙන එකම ගුණය වුණද එය අගය කොට සලකා ක්‍රියා කරනවා.”
රේරුකානේ මහා නා හිමියන් ලියූ දහම්පොත් පෙළ ඇගැයීමේ උත්සව සභාවකදි අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන් පැවසුවේ ‘රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත් ටික පමණක් හොඳින් කියෙව්වොත් ඒ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක් , ධර්මඥයෙක් වෙනවා ‘ යන්නය.
දිනක් ධම්මානන්ද හිමියන් සමඟ රේරුකානේ මහා නා හිමියෝ මහා පිරිවෙනක දානයකට වැඩියහ. එහිදී මහා නා හිමියන්ට වඩා වැඩිමහල් උගත් කීර්තිමත් මහ තෙරුන් වහන්සේ නමක්ද දානයට ආරාධනා ලැබ එතනට වැඩම වන ලදහ. එතනදී උන්වහන්සේ පැවසුවේ අප මහා නා හිමියන්ගේ පොත් පෙළ විශ්වවිද්‍යාලයක් වගේ බවය. ඕනෑම දහම් කරුණකට ඉතා නිවැරදි විසඳුම් මෙම පොත් වලින් ලබා ගත හැකි බව ය. එය ධම්මානන්ද හිමියන්ට මතක තවත් සිද්ධියකි.
වරක් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා අත්දැකපු සිදුවීමක් ධම්මානන්ද හිමියන්ට මෙනෙහි වෙයි.
මහාචාර්යවරයා යක්කඩුවේ නායක හාමුදුරුවන් බැහැදැකීමට ගොස් මෙසේ පැවසීය. ‘නායක හාමුදුරුවනේ බුද්ධාගම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට නම් අප කියවිය යුතු පොත් මොනවාද?” යන්නය.
එවිට නායක හාමුදුරුවන් පැවසුවේ “මහත්තයෝ පොත් නම් ඕනෑ තරම් තියෙනවා. ඒත් කියන්නත් බයයි. සමහර පොත් කියෙව්වහම මිත්‍යා දෘෂ්ටිය ඇතිවෙනවා. ඒ නිසා ඔබතුමා රේරුකානේ මහා නා හිමියන් ලියූ පොත් ටික කියවන්න. එතකොට බුදු දහම නිවැරදිව දැන ගන්න පුළුවන් කියාය. ඒ සමඟම මේ මහාචාර්යවරයා ගියේ මහාචාර්ය වල්පොල රාහුල හිමියන් හමුවීමට ය. උන්වහන්සේගෙන් විමසූ කල රාහුල හිමියන් දුන්නේද ඉහත උත්තරයට සමාන පිළිතුරකි.
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ අඩු පාඩුව පැවති විහාරාරාංගයන් බොහෝ ඉදි වුණේ රේරුකානේ මහා නා හිමියන් ලියූ පොත් කියවූ සදැහැති පාඨකයන් කළ පරිත්‍යාග වලින් බව ධම්මා නන්ද හිමියෝ පවසති.
රේරුකානේ මහා නා හිමියන් තම භික්‍ෂු ජීවිත කාලයේදීම පොත් 28 ක් පමණ ලියා පළකළා පමණක් නොව ඒවා නැවත නැවත මුද්‍රණය වෙමින් පවතියි. මහා නා හිමියන් එමගින් ලැබුණු ලාභය තම පෞද්ගලික සුඛ විහරණය සඳහා ලබා ගත්තේ නම් ඉතා ධනවත් හිමි නමක් වශයෙන් භික්‍ෂු දිවි මඟ භෞතික ධනයෙන් සුපොහොසත් කර ගැනීමට ඉතාමත් පහසුවෙන් පුළුවන්කම තිබුණි. එහෙත් මහා නා හිමියන් කිසිඳු විටක කිසිඳු මුදලක් තම පෞද්ගලක සුඛ විහරණය උදෙසා පරිහරණය කළේ නැත. මහා නා හිමියන්ට කෘත ගුණ සැලකූ බොහෝ පරිත්‍යාගශීලින් එම නිසා පෙළඹුණේ. විනයාලංකාරාමයේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ පමණක් කිරීමට එම පරිත්‍යාගයෙන් සිදු කිරීමය.
අවසන් මොහොත දක්වාම මහා නා හිමියන් වැඩ සිටියේ ආවාසයේ කොණක තිබූ පුංචි ඇඳක් මතය.පොත් ලීවේ හොඳින් ස්වභාවික වාතාශ්‍රය ලැබෙන එළිමහන් තැනක පුංචි ලෑලි කෑල්ලක් පුටුපත්ත උඩ තබාගෙනය. වැළඳුවේ කුරුල්ලෙක් කන තරමට ඉතා අල්ප ප්‍රමාණයකි. රුචිකත්වයක් දැක්වූයේ ඉතා සරල ආහාර වේලකටය. කුදු මහත් කාටත් එකසේ සැලකුවද දුප්පත් දායකයකුගේ දානය වඩාත් අගය කළ අතර ඒ වෙනුවෙන් සැතපුම් ගණනාවක් වුව දෙපයින්ම වැඩි සේක.
නම කියූ ඇසූ පමණින් මුළු රටම හඳුනන මහාචාර්ය පදවි පවා දෙපාළඟට ගෙනවිත් පූජා කළ නිකායේ මහානායක පදවියෙන්ද පවා පිදුම් ලැබූ, භික්‍ෂු සමාජයේ මහා සංඝ පීතෘවරයකු වශයෙන් ගරු බහුමානයට පාත්‍ර වූ ඉතා කීර්තිමත් නාමයක් රැන්දූ අප මහා නා හිමියන් වහන්සේ වයෝවෘද්ධ කාලයේදී උන්වහන්සේගේ කන් ඇසීම බොහෝ සේ දුර්වල වීය.
රේරුකානේ මහා නා හිමියන් කිසි දවසක කිසිම අවස්ථාවක මොනයම් කරුණක සඳහාවත් කිසිවකුගෙන් තමාගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් කිසිවක් ඉල්ලා නැත. උන්වහන්සේ ලැබෙන හැම විටම දන් දුන්හ. ධම්මානන්ද හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසති. ‘අනුන්ගෙ යමක් ඉල්ලීම අතිශයින්ම පිළිකුල් කළ අප මහා නා හිමිපාණන් වහන්සේ දීමට අතිශයින්ම පි‍්‍රය වූ සේක “ “මම පැවිදි කළ මගේ ගුරුවරයාගෙන් වත් මා මොකුත් ඉල්ලාගෙන නැති බව” මහා නා හිමියෝ පැවසූ සේක.
මහා නා හිමියන් වහන්සේගෙන් කන් ඇසීම දුර්වල වූ විට උන්වහන්සේට ඒ සඳහා අවශ්‍ය උපකරණයක් ගැනීමට රුපියල් 2000 /- ක පමණ මුදලක් අවශ්‍ය විය. එහෙත් එවැනි අත්‍යවශ්‍යතාවයක් වෙනුවෙන් ඉතිරි කරගත් මුදලක් මහා නා හිමියන් සන්තකයේ නොවූ බව ධම්මානන්ද හිමියන් සමඟ කළ කතා බහෙන් තේරුම් ගැනීමට පුළුවන.
“ධම්මානන්ද දැන් අපේ කන් ඇසීම හුඟක් අඩුයි. කන් ඇසීම වැඩි කරන උපකරණයක් ගත්තොත් හොඳයි නේද? “ යි දවසක් මහා නා හිමියන් අපට පැවසීය. එදිනට පසුවදා උන්වහන්සේ ගේ සුව දුක් බැලීමට හිටපු අග්‍ර විනිශ්චයකාරවරයෙක් වූ පාරින්ද රණසිංහ මහතා පැමිණියේ ය. මහා නා හිමියන්ගේ සුව දුක් විචාරමින් සිට ආපසු යන්නට සූදානම් වූ එතුමා නායක හාමුදුරුවන්ට අවශ්‍ය දෙයක් අරගෙන දෙන්න කියා රු. 2000 /- ක් අප අත තැබීය. ඒ මුදලින් කන් ඇසීමට අවශ්‍ය උපකරණය ගැනීමට හැකි විය.
මහා නා හිමියන්ගේ ලැබීම් වාසනා ගුණය පිළිබඳව සාක්‍ෂියක් වශයෙන් අපි වෙනත් තැනකදී මේ පිළිබඳව සඳහන් කළෙමු.
නමුත් නැවත එය මෙතැනට ආදේශ කළේ උන්වහන්සේ තමාගේ සෞඛ්‍ය වෙනුවෙන් වත් කිසිදු මුදලක් ඉතිරි කරගෙන නොතිබුණු බව පෙන්වීම සඳහාය. එයින් හැඟී යන්නේ උන්වහන්සේ භෞතික වශයෙන් කිසිදු ධනයක් ඉතිරි කර නොගත් දිළින්දකු බවය.
දුප්පතා සහ පොහොසතා අතර වෙනස පිළිබඳ දාර්ශනික අදහස ද මීට ප්‍රථමයෙන් ඔබ හමුවට ඉදිරිපත් කළෙමු. එක් දිනක උන්වහන්සේ එම ප්‍රකාශය කළේද ධම්මානන්ද හිමියන් සමඟය. එය පුනරුත්පදයක් ලෙසින් නැවතත් මෙනෙහි කිරීම මෙම අවස්ථාවට වඩාත් උචිත යැයි සිතෙයි. එය නැවත නැවත මෙනෙහි කිරීම අපගේ ජීවිත වලටද ඉතා වැඩදායක යැයි සිතෙයි. එය එසේ වන්නේ එදාටත් වඩා අප මේ තරගකාරි ධාවන පථයේ අසීමිත වේගයකින් දුවමින් අවසන ඉතිරි කර ගන්නේ දුක වේදනාව පමණක් බැවිනි.
ධම්මානන්ද හිමියන් ලියූ සටහනක ඇති ආකාරයටම නැවත එම ප්‍රකාශ කිරීමට අවසර පතමු.
“ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි. ලොකුම දුප්පතාත් මමයි” යනුවෙන් තවත් දිනක උන්වහන්සේ අමුතු විදියේ ප්‍රකාශයක් කළ සේක. “දුප්පත්කම කියන්නේ සෑහීමකට පත් නොවීමය. තවත් ආකාරයකින් කියනවා නම් සෙවීම ඇති නොවීමය. ලද දෙයින් සතුටු වී සෙවීම ඇති වී සිටින නිසා ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි කියා මං සිතනවා. අපි හිඟන්නෙක් ගැන සිතලා බලමු. ඒ හිඟන්නාට තියෙන පොල්කටුව හැරමිටිය වුණත්, මගේ හැරමිටිය, මගේ පොල් කටුව, කියා ඔහු විසින් සිතින් අල්ලා ගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ හිඟන්නා යමක් ඇති කෙනෙක් නේද? මට අයිතිව තිබෙන මේ කිසිවක් මම හිතෙන් අල්ලාගෙන නැති නිසා කිසිවක් නැති කෙනෙක් හා සමානය. ඒ නිසා ලෝකයේ සිටින දුප්පතාත් මමයි කියා මා සිතනවා “ යැයි උන්වහන්සේ තමන් වහන්සේ ගැන කළ ඒ ප්‍රකාශය තේරුම් කර දුන් සේක. ධර්මානුකූල මේ උදාර චින්තාව කොතරම් අගනේද? මෙයින් උන්වහන්සේගේ මානසික දියුණුව මනාකොට පිළිබිඹු නොවන්නේ දැයි ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කර සිටිති.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 31

නොදන්නා බව දැනගත් චන්දවිමල මහා නා හිමියෝ

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ට අග්‍ර උපස්ථායකයකු ලැබෙන්නේ උන්වහන්සේගේ වයස අවුරුදු 83 ක් පමණ වන විටදීය. ධම්මානන්ද හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසති.
“ඒ උතුමන් වහන්සේගේ පශ්චිම කාලයේ අප වැනි උපස්ථායකයකු ලැබීමත් පුදුමයක් නොවේද? ගිහි පැවිදි දෙපක්‍ෂයේම බොහෝ අය වයෝවෘද්ධව තමන්ගේ වැඩ තමන්ට කර ගැනීමට නොහැකි තත්ත්වයට පත් වූ විට උපස්ථානයට කෙනකු නොමැතිව අපවිත්‍රව දුගඳ හමමින් සිටිනු කොතෙකුත් අප දැක ඇත. හේනේගොඩ කල්‍යාණ ධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් අපට ද තරමක් වැඩ අධික විය. එබැවින් සමහර අවස්ථාවලදී මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු ද අපහසු විය. මීට වසර තුනකට පෙර මෙහි වැඩම කළ කුකුල්පනේ සුදස්සී හිමියන් අප ඇති නැති සැම විටම මහා නා හිමියන්ට මෙත් සිතින් උපස්ථාන කිරීමට ඉදිරිපත් වීම නිසා ඒ අඩු පාඩුවත් මඟ හැරී ගියේ ය. ඒ අතරතුර උන්වහන්සේට උපස්ථාන කළ ගිහි පින්වතුන් කීප දෙනෙකුගේ ම සහාය ලැබීමද භාග්‍යයකි. වුවමනා දේ ලැබීමේ වාසනා ගුණය අවසාන මොහොත දක්වාම පැවතුණා යැයි ප්‍රකාශ කළේ මේ කරුණු සැලකිල්ලට ගනිමිනි.
අනුන්ට කරදර නොකර තමන් වහන්සේගේ වැඩ තමන් වහන්සේ විසින්ම කර ගැනීමට නිතර උත්සාහ කිරීම ඒ මහෝත්තමයාණන් වහන්සේ තුළ දක්නට ලැබුණු විශේෂ ගුණයකි. ඇප උපස්ථාන කරන අයට මෙය මහත් පහසුවක් විය. මෙහාට ආව දෙවැනි දවසේ ඉඳල නායක හාමුදුරුවන්ට උපස්ථාන කරන්න පටන් ගත්තා. කාගෙන්වත් විමසීමක් නොකර මට කරන්න පුළුවන් වැඩ කොටස කළා. අතුපතු ගෑම, නායක හාමුදුරුවන් පිරිසුදු කිරීම ආදී කටයුතු වල මං යෙදුණා. ඒ වෙනකොට තවත් පුංචි හාමුදුරු නමක් මෙහි සිටියා. එයා ඉගෙන ගන්න පිරිවෙන් යනවා. මං ඒ පොඩි හාමුදුරුවන්ට කීවා ඔයා කරන කටයුතු ටික ඔයා කරන්න. මෙන්න මේ කටයුතු ටික මං කරන්නං කියල. මෙතනදී මං හුඟක් ප්‍රවේශම් වුණා. මේ වන විට උපසම්පදාවෙන් එක් වර්ෂයක් සම්පූර්ණ වෙනවා. නායක හාමුදුරුවන් හරිම ප්‍රතිපත්ති ගරුකයි. අනුපසම්පන්නයකු විසින් කළ යුතු දේවල් මං කරනවාට උන්වහන්සේ කොහෙත්ම කැමති වුණේ නැහැ.
“පිළිගැන්වීම් වාගේ දේවල් අනුපසම්පන්නයකු විසින් ම කළ යුතු වෙනවනේ. උපසම්පදාශීලය කියන පොත මං හොඳට කියවා තිබූ නිසා හුඟක් ප්‍රවේශම් වුණා. උන්වහන්සේගේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන සේ ක්‍රියා කරන්නට.” “දවසක් නායක හාමුදුරුවන් මට කීවා ඔයා මේ වැඩ කරනවාට මගේ නම් කැමැත්තක් නැහැ කියල. මං ඒ කියපු දේ තේරුම් ගත්තා. උන්වහන්සේ මට තියෙන සැලකිල්ල සහ ගෞරවය නිසා පඩික්කම් සේදීම වගේ දේවල් මං කරන එක ගැන උන්වහන්සේ කැමති වුණේ නැහැ.” ධම්මානන්ද හිමියන් පවසන මේ ප්‍රකාශ තුළින් හැඟෙන්නේ මහා නා හිමිපාණන් වහන්සේට උපස්ථානයන් අවශ්‍ය වුවද ඒ සියල්ල සිදු කළ යුත්තේ භික්‍ෂු විනයට අනුකූලව ප්‍රතිපත්තීන් නොකඩවන ආකාරයට බවය. ඉතා අපහසු අවස්ථාවක වුවද තම පෞද්ගලික පහසුව වෙනුවෙන්වත් විනය නීතියක් ඛණ්ඩනය වෙනවා දකින්නට උන්වහන්සේ කැමති වූයේ නැත. භික්‍ෂු ජීවිතයේ පැවැත්ම විනය මතම පදනම් විය යුතු යැයි ඇදහූ රේරුකානේ මහා නාහිමියෝ උදාර භික්‍ෂු චරිතයක්මය. මහා නාහිමිපාණන් වහන්සේට හැකි සෑම අවස්ථාවකම තමන්ගේ කටයුතු තමන් විසින්ම කර ගැනීමට උත්සාහ දැරීය. මහා නා හිමියන්ගේ ඇස් දෙකම සම්පූර්ණයෙන්ම නොපෙනෙන අවධියේත් උන්වහන්සේ ප්‍රයත්න දැරුවේ කිසිවකුටත් කරදරයක් නොවී ජීවත්වීමටය. ධම්මානන්ද හිමියන් විනයාලංකාරාරාමයට පැමිණෙන කාලයේ මහා නා හිමියන් ස්නානය කළේ උණුවතුර ය. උණු පැන් සකසා දීම ධම්මානන්ද හිමියන් අතින් සිදු විය.
සමහර අවස්ථාවල මහා නාහිමියන්ට වැසිකිලියට ගමන් කිරීමද අපහසු විය. නමුත් කිසිවකුට කරදර නොකර වතුර බාල්දියද රැගෙන උන්වහන්සේ වැඩියේ තනිවය. නායක හාමුදුරුවන් එසේ වැඩිය අවස්ථාවල ධම්මානන්ද හිමියන්ට කොතරම් වැඩ කටයුතු තිබුණ ද ඉතා විමසිල්ලෙන් පසුවීමට උන්වහන්සේ නිතරම පෙළඹුනහ. එවැනි අවස්ථාවක වූ සිදුවීමක් ගැන ධම්මානන්ද හිමියන් පැවසුවේ මෙසේ ය. “දවසක් හොඳ වැඩක් වුණා. නායක හාමුදුරුවන් වැසිකිලියට වඩිනවා දැකල මං ඇහුවා මාත් එන්නද කියල.” නායක හාමුදුරුවන් කීවා කමක් නෑ ඔයා එන්න අවශ්‍ය නෑ කියලා”
“ටික වේලාවක් යනකොට මහානායක හිමියන් වැසිකිළිය ඇතුලේ ඉඳල “ධම්මානන්ද, ධම්මානන්ද කියල හයියෙන් කතා කළා. මාත් ඉක්මනට ගියා” “වැසිකිලියේ දී පහසුව සඳහා අල්ලා ගන්න තිබුණු ලණුව කැඩිලා. නායක හාමුදුරුවන්ගේ කකුල් දෙක වැසිකිලි වලට වැටිලා ඇඹරිලා තිබුණා.” “එවේලේ මා කිවුවා, නායක හාමුදුරුවෝ මං නාවට කමක් නෑ කිව්වට දැන් කමක් තියෙනව නේද කියල. මෙහෙම කිව්වහම නායක හාමුදුරුවන්ටත් හොඳටම හිනා ගියා.”
“මං මෙහාට ඇවිදින් මාස නවයක් විතර කාලයක් රාත්‍රිය ගත කළේ මේ කුටියේ නොවෙයි. එහා ආවාස ගෘහයේදීය. මහා නාහිමියන් උදේ දානේ වළඳලා ටික වේලාවක් ඉඳලා පත්තර බලනවා. උදේ 8.30 විතර වෙනකොට දවල් නිදන ඇඳට ගිහින් වාඩිවෙලා භාවනාවක යෙදෙනවා. කීප වරක් එහාට මෙහාට සක්මන් කරලා ඇවිත් ටිකක් ලියනවා. ඉන් පසුව මා ඇවිත් අහනවා ගිලන්පසට අවශ්‍යය දෙයක් ගැන. 9.30 පමණ වන විටයි ගිලන්පස ටිකක් වළඳන්නේ. මං ආව දවස්වල උන්වහන්සේ පිටස්තර දානමානාදියටත් වැඩම කරනවා. එසේ නොමැති බොහෝ අවස්ථාවල විහාරයේ දාන ශාලාවට වැඩම කරලා වළඳලා එනවා. උන්වහන්සේ වළඳන්නේ ඉතාම ස්වල්පයයි. සමහරවිට මට පුදුමත් හිතෙනවා, මෙතරම් ටිකක් වළඳලා කොහොමද ජීවිතය පවත්වාගෙන යන්නේ කියලා. දොළහට කලින් දානෙ වළඳලා ඇවිත් තේ එකක් නොවරදවාම වළඳනවා. මාත් එය හදලා කාට හරි කියලා පිළිගන්වනවා. ඒ දවස්වල වැඩිපුරම කාලය ගත කළේ භාවනායෝගීවයි. රේරුකානේ මහා නා හිමියන් ලියූ පොත් පෙළ සම්භාවනාවට අතිශය බඳුන්වූයේ සදා සත්‍ය කටු කොහොල් හැර සරලව විවරණය කළ නිසාම ය. කිසිදා එහි අන්තර්ගතය පරණ නොවන අවලංගු නොවන සදාතනික අගයකින් හෙබි පොත් පෙළක්මය. එය එදා මෙන්ම අදත් නැවත නැවතත් මුද්‍රණය වෙමින් ගම්නියම්ගම් පුරා ගමන් කරමින් සදහම් සුවඳ විහිදුවාලීමේ රහස එය වෙයි.
මෙවන් අසහාය පුස්තක පෙළක් උත්පාදනය වීමේ මූල බීජය ජනිත වන්නේ කොතනින්, කෙලෙස දැයිද අපි පැවසුවෙමු. මෙවන් සුවිශිෂ්ට පොත් පෙළක් උන්වහන්සේ ලියන්නට පෙළඹුනේ ඒ ඒ අවස්ථාවන්හි ඇතිවුණු විවිධ මතිමතාන්තර විෂමතා ගැටලු, අවශ්‍යතාවයන්, නිසි පැහැදිලි කර ගැනීම් ආදී දෑ සඳහා නිවැරදිව පිළිතුරු සැපයීමට අවශ්‍ය වූ පසුබිමක සිට බව උන්වහන්සේගේ චරිතාපදානය කියැවීමේ දී අපට තේරුම් ගැනීම අපහසු නොවේ. එහෙත් චන්දවිමල මා හිමිපාණන් වහන්සේ ඒ විශිෂ්ට මෙන්ම පොදුජන විඤ්ඤාණය හා සුසංයෝග වූ මෙම අසහාය පුස්තක පෙළ ලිවීමට බලපෑ මානසික හේතුව පැහැදිලි කරන්නේ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් සමඟ ඇති වූ සංවාදයකදී ය.
චන්දවිමල මහා නා හිමි චාරිතාපදානය ලියාගෙන යාමේදී එම ප්‍රකාශය සටහන් කළ බව මතකය. එහෙත් එම ප්‍රකාශය පිළිබඳව පුළුල්ව විමසීම මේ මොහොතේ දී ද වඩාත් උචිත යැයි ඔබට ද එවන් සරල ප්‍රකාශයන්හි අන්තර්ගතයේ ඇති ගැඹුර නැවත නැවත විමසා බලා එය තේරුම් ගැනීම පහසු කරවීමේ අදහසින් නැවතත් එම ප්‍රකාශය ඉදිරිපත්කිරීමට අවසර පතමි. හොඳයි අපි රේරුකානේ මහා නා හිමියන්, ධම්මානන්ද හිමියන් සමඟ පවසන එම ප්‍රකාශයට සිත් යොමු කරමු.
“ධම්මානන්ද මම ඉගෙනීම කළේ පොත් ලිවීමේ අදහසින්වත් අනුන්ට බණ කීමේ අදහසින්වත් උගතෙක් වශයෙන් ප්‍රසිද්ධවීමේ අදහසින් වත් නොවේ. අපේ සම්මෝහය දුරු කර ගැනීමටයි.” එම විශේෂිත වූ ප්‍රකාශය ගැන ධම්මානන්ද හිමියන්ගේ අදහස මෙසේ ය.
“ඒ උතුමන් වහන්සේ ඉගෙනීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය දුර්ලභ ගණයේ අදහසක් බව කාටත් පැහැදිලිය. එය අපට ගතහැකි මහඟු ආදර්ශයකි. ඒ පරමාර්ථයෙන් ඉගෙනුම කරන කෙනෙකුට ඉතා උසස් නිරවුල් දැනුමක් ඇතිවීම අනිවාර්ය සිද්ධියකි” දැනුමේ ඥානයේ වපසරිය කුඩා වුවද කුඩා දැනුමක් මහා වපසරියක් පුරා විහිදුවන්නේ එයට පුහු ආටෝප පලිප්පු දමමිනි. අල්ප දැනුමක් ඇති බොහෝ ඇත්තන් පෙන්නන්නට උත්සාහ කරන්නේ තමා මහා දැනුම් සම්භාරයකින් පොහොසත් බවය. තමා මහා උගතකු බවය. මේ පසුබිම මත උත්සාහ කරති. දැනුම හුවමාරු කර ගැනීම ආධ්‍යාත්මයෙන් පාඨකයා පොහොසත් කිරීම නොව තම ආර්ථික වාසිය ජනපි‍්‍රයත්වය උදෙසාද ව්‍යාපාරයක් වශයෙන්ද ඇතමෙක් පොත් ලියති.
එහෙත් බලන්න, ග්‍රන්ථකරණයෙන් මෙතරම් විශිෂ්ටත්වයට පත් වූ බහුශ්‍රැත බවින් පිරිපුන් ඉතා නිවැරදි ආකාරයෙන් සම්බුදු දහම නිරවුල්ව පාඨකයා හමුවට රැගෙන ආ රේරුකානේ හිමියන්ගේ පොත් පෙළ ලියැවීමට පෙළඹීම ඇති කළ මානසිකත්වය උන්වහන්සේ විග්‍රහ කරනා නිහතමානී ආකාරය දෙස. රේරුකානේ හිමියන් ප්‍රථමයෙන්ම කළේ ධර්මය මනාසේ ඉගෙන ගැනීමය. ඉගෙන ගත්දෙය තම ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමය.
උන්වහන්සේ ධර්මය හොඳින් අධ්‍යයනය කළේ ජනපි‍්‍රය මාතෘකා ඔස්සේ අනවශ්‍ය ඉලක්ක ජය ගැනීමට ද නොවන බව පෙනේ. අනුන්ට බණ කීමේ අදහසින්වත් උගතකුවීමේ අදහසින්වත් නොවන බව උන්වහන්සේ පවසන්නේ ඒ නිසාය. සම්මෝහය යනු නොදැනුවත්කමයි. නොදන්න බව තේරුම් ගත්විට අපට ඉතා හොඳින් දැනුම සොයායා හැකිය. නොදැනුවත්කම ඇතිවිට නිවැරදිදේ නිරවුල්ව ඇතුල්වීමට මනස හොඳින් සූදානම්ව තිබෙයි.
රේරුකානේ හිමියන් දැනුම සොයා ගියේ නොදන්නා දේ ඉතා පැහැදිලිව දැනගැනීමේ ඒකායන අරමුණින්මය. එතනදී වෙනත් කිසිදු කරුණක් මූලික නොවූ නිසා වෙනත් ඉසව් වෙත නොදුවන මනසින් ඉතා නිරවුල්ව දැනුමෙන් මනස පරිපූර්ණ කර ගැනීමට හැකිවිය. උගතකු වීම හෝ අනුන්ට බණ කීම වැනි අරමුණු පෙරදැරි කරගත්තේ නම් හැම විටම කෙනකු සූදානම් වන්නේ ඒ ඉලක්කය සපුරා ගැනීමටය. නමුත් මේ කිසිවක් නොමැතිව පරිපූර්ණ මිනිසකුවීමේ අභිප්‍රායෙන් දැනුම සොයා යන්නකු ඒ ඉලක්කය ජය ගන්නා විට දැනුමෙන් ඥානයෙන් ආධ්‍යාත්මයෙන් පිරිපුන් බහුශ්‍රැතයකු අපට මුණ ගැසෙනු නියතය.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 32

“පොතක් වශයෙන් ලිව්වොත් පිටු පන්දාහක් විතර වෙයි”

රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් සුවිශේ්ෂී චරිතයක් බවට පෙන්වන්නේ උන්වහන්සේ ඉගෙනීම කළේ සද්ධර්මය මනා සේ අවබෝධ කරගනිමින් ආධ්‍යාත්මය සුපොහොසත් කර ගැනීමේ උදාර පරමාර්ථය පෙරදැරි කර ගත් නිසා ය.
මෙවන් විශේෂිත ප්‍රකාශ තුළින් හැගී යන්නේ එම ඉලක්කයන් ජය ගත් මහා චරිත තුළ ඇති විශිෂ්ට ගුණයන් ය. මේ ජීවිත ගමන ජය ගැනීමට නම් අප කාට කාටත් ඉගෙනීමට බොහෝ දේ ඇතැයි සිතේ.
අපගේ සම්මෝහය නොහොත් නො දැනුවත්කම ජය ගැනීම සඳහා ඉගෙන ගන්නේ නම් එය අධ්‍යාපනය වේවා, ජීවිතය වේවා සියලු ගැටලු සහගත කඩ ඉම් පසුකර ජයග්‍රහණය වෙත යාම ඉතාමත්ම පහසු කාර්යයක් වනු නිසැක ය. නිශ්ඵල නොවන ඵලදායි සාර්ථක ජීවිතයක් ගත කිරීමට එය මහත් පහසුවක් වනු නියත ය. ඉගෙනීම ඉතා සංකීර්ණ විෂය පථයකට අයත් ය. එහෙත් මහා නා හිමියන් මෙම විෂය පථය වචන දෙක තුනකට කැටි කොට ඉතා සරලව ඉදිරිපත් කර තිබේ.
එසේ නම් ඉගෙනීමෙන් අප බලා පොරොත්තු විය යුත්තේ කුමක් ද?
අප ඉගෙන ගත යුතු වන්නේ තම නො දැනුවත්කම දුරු කරගැනීම උදෙසා ය.
ජීවිතයේ අප අත්විඳින ඉතා සංකීර්ණ තත්ත්වයන් සමනය කිරීමට මේ අනුව ඉතා සරල උත්තර සොයා ගත හැකි ය. අනවශ්‍ය ඉලක්ක හඹා නොයමින් ආධ්‍යාත්මය - පොහොසත් මිනිසකුට බාහිර ව ලැබෙන සම්මාන, කීර්තිය අවශ්‍ය නොවේ. ඒවා අනායාසයෙන් ඔහු වෙත එළඹෙනු ඇත. එය සනාථ කිරීමට උදාහරණ සැපයෙන්නේ නම්, රේරුකානේ චන්දවිමල මහ නා හිමිපාණන්ගේ චරිතය එයටම ප්‍රබල සාක්‍ෂියක් වශයෙන් ඉදිරිපත් කළ හැකි ය. රේරුකානේ මහා නා හිමියන් ගේ ඇවැතුම් පැවැතුම් පිළිබඳ විමසිලිමත් වන විට ධම්මානන්ද හිමියන් පවසන මෙවන් ප්‍රකාශ ද විශේෂිත යැයි සිතෙ යි.
“බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ නමකගේ ගුණ හොඳින් දේශනා කර තියෙනවා. ඒ ගුණ නායක හාමුදුරුවන් තුළ පිරී ඉතිරී තියෙන බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් මා දන්නවා.”
වසර සියයක් තරම් ආයු කාලයක හැඩ ගස්වා ගත් දීර්ඝ භික්‍ෂු ජීවිතයේ දී කිසිදු පළුද්දක් නොවූ මහා නායක හිමියන් තුළ පෝෂණය වූ භික්‍ෂු ගුණ පිළිබඳව පැවසීමේ දී ‘පිරී ඉතිරී’ යන යෙදුම් තුළින් හැඟී යන්නේ භික්‍ෂූන් වහන්සේ කෙනකු තුළ වූ ගුණ කදම්භය අංශු මාත්‍රයකුදු නො අඩුව උපරිම ආකාරයෙන් මහා නා හිමියන් තුළ විද්‍යාමාන වූ බවකි.
තව දුරටත් ධම්මානන්ද හිමියන්ගේ ප්‍රකාශයකට සිත් යොමු කරමු.
“නායක හාමුදුරුවන්ගේ පත පොත කියවීම නිසා ඒ පිළිබඳ තරමක දැනුමක් මට ලැබී තිබුණා. ඒ අනුව නායක හාමුදුරුවන් පිළිබඳ විශේෂ පරීක්‍ෂණයකුත් මං කළා. ‘අභිධර්මයේ මූලික කරුණු’ ‘අභිධර්ම මාර්ගය’ වැනි පොතක් කියවන විට මට වැටහුණා, නායක හාමුදුරුවන් හොඳ බුද්ධිමතෙකු කියල. එකින් එක පොත් කියවා ගෙන යෑමේ දී මට පැහැදිලිව වැටහුණා උන් වහන්සේ අනුන්ට බණ ලියනවා, කියනවා විතරක් නොවෙයි තමන් ළඟත් ධර්මය තියාගෙන ඉන්න කෙනෙක් කියල. ‘විදර්ශනා භාවනාව‘, ‘වත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව‘ වගේ පොත් කියවන විට මට වැටහුණා, නායක හාමුදුරුවන්ගේ ධර්ම ඤාණය මෙන්ම භාවනාව ද දියුණු වී ඇති බව. කලින් උන් වහන්සේගේ පොත පත කියවීමෙන් මා ලබා ගෙන සිටිය නිගමන නිවැරදි බව වඩා හොඳින් මට පැහැදිලි වුණා.”
චන්දවිමල මහා නා හිමියන් තම ධර්ම පුස්තක මගින් ඉදිරිපත් කළේ පිවිතුරු බුද්ධ ධර්මයම ය. ධර්මය තම රුචිකත්වයට අවශ්‍ය විදියට වෙනස්කම් මෙන්ම එකතු කිරීම් සමඟ විකෘති කිරීමට කිසි විටෙකත් උන් වහන්සේ නොපෙළඹුණ හ.
සංකීර්ණ වුවද පරම සත්‍ය මත පදනම් වූ ඒ උතුම් බුද්ධ දේ්ශනාවන් නිරවුල්ව සරලව පාඨකයා වෙතට රැගෙන ඒමට මහා නාහිමියෝ නිබඳවම උත්සාහ කළහ. එය සිතූ පැතූ ලෙස සාර්ථක වූ නිසාම විශාල සැදැහැති බෞද්ධ පාඨකයන් මෙම පොත් පෙළ පරිශීලනය කිරීමට පෙලඹුණ බව නොරහසකි.
උන්වහන්සේ ඒ ධර්ම කරුණු ලියුවා පමණක් නොව ඒවා ඒ ලෙසින්ම පිළිපැදීම නිසාම මහා නා හිමියන් ලියූ දෙයක කිසිදු අඩු ලුහුඬුකමක් නොවුණු බව පෙනෙයි. තමා ඉතා නිවැරදිව නිරවුල්ව තේරුම් ගත් ධර්මය ප්‍රත්‍යක්‍ෂ කර ගත් නිසාම උන්වහන්සේගේ ආධ්‍යාත්මය සුපොහොසත් වූ බව නිවැරදි ය. ප්‍රඥාව වැඩි දියුණු වන විට එහි ආලෝකය සිත ප්‍රසන්න කරවයි. ඒ බව ධම්මානන්ද හිමියන් ගේ ප්‍රකාශයෙන් සනාථ වෙයි.
වසර පහළොවක් පමණ කාලයක් යනු අපගේ ජීවිත කාලය හා සැසඳීමේ දී සුළු පටු කාලයක් නොවේ. එවන් කාලයක් මහා නාහිමියන් සමීපයේ උන් වහන්සේට ඇප උපස්්ථාන කළ ධම්මානන්ද හිමියන් පවසන්නේ “මහා නා හිමියන් ට ඇප උපස්ථාන කිරීමේ දී කවරදාකවත් ඒ පිළිබඳව එපා වීමක් හෝ අපි‍්‍රය වීමක් හෝ තම සිතට ඇති වුණේම නැහැ” යනුවෙනු යි.
මේ වකවානුව වන විට වසර 8ක පමණ කාලයක සිට මහා නාහිමියන්ගේ දෑසම නොපෙනී තිබුණ ද උන්වහන්සේ වැඩි පුරම කාලය යොදවන්නේ භාවනාව සඳහා ම ය. ධම්මානන්ද හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසති. “අපට විනාඩියක් උන් වහන්සේ ට පැයක් වගේ දැනෙනවා ඇති. නමුත් එදා වගේ ම අදත් ප්‍රතිපත්තිවල නම් වෙනසක් නැහැ. කථා බහේ වෙනසක් නැහැ. මේ තත්ත්වය නම් මහා පුදුමයි.”
“මේ පංචස්කන්ධයෙන් මේ සංසාර දුකින් මේ ජීවිතයේ දීම මිදෙන්න ඕනෑ කියන අදහසින් උන්වහන්සේ මේ මොහොතේත් ක්‍රියාත්මක වෙනවා. සමහර විට මහා රාත්‍රියේ පවා උන් වහන්සේ ට අවබෝධ වෙච්ච ධර්මය ගැන කතා කරලා මට කියනවා. සාමාන්‍යයෙන් උන් වහන්සේට නින්ද යෑම අඩු යි. නමුත් නායක හාමුදුරුවෝ කියනවා මට නින්ද නො ගියාට මං මේ ඉන්නේ කාම විතර්කවලින් නො වෙයි. මේ ඉන්නේ ධර්ම සංඥාවකින් කියලා. දවසක් රාත්‍රියේ මට කතා කරලා නායක හාමුදුරුවෝ කීවා”
“ධම්මානන්ද අද රාත්‍රියේ දුක්ඛ සත්‍ය පිළිබඳව වැටහුණු කාරණා පොතක් වශයෙන් ලීවොත් පිටු පන්දහසක් විතර වෙයි. එහෙම ලියුවොත් මං කලින් ලියා තිබෙන චතුරාර්ය සත්‍ය කියන පොත මොකක් ද කියල ඔය ඇත්තන්ට හිතෙන්න පුළුවන්” කියල.
“දෑස් නොපෙනෙන වයෝවෘද්ධ තත්ත්වයක සිට හෝ මේ ධර්මය ගැඹුරින් සිහිපත් කිරීමයි උන්වහන්සේ හිතන්නේ. වයසට යාමත් සමග මතකය නම් අඩු වන බවක් පේනවා. නමුත් ගුණ ධර්මවල ප්‍රතිපත්තිවල නම් කිසිම වෙනසක් මේ දක්වාම දකින්නට නැහැ.” උන්වහන්සේ නිතර ත්‍රි ලක්‍ෂණ මෙනෙහි කරමිනුයි දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ.”
කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් සමග සංවාදයේ යෙදෙන ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමියෝ ධම්මානන්ද හිමියන් ගෙන් මෙසේ අසති.
“මහා නායක හාමුදුරුවන් ගේ පොත පත කියවීමෙනුත් වසර පහළොවක් වැනි දිගු කලක් අග්‍ර උපස්ථායකයා වශයෙනුත්, දිවා රෑ දෙකේම ළඟම සිටීමෙනුත් ඔය ඇත්තන්ට කියන්න පුළුවන් ද රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන් ආධ්‍යාත්මික වශයෙන් යම් විශේෂ තත්ත්වයකට පත්වෙලා සිටින උතුමෙකු කියල”
ධම්මානන්ද හිමියන් එයට පිළිතුරු සපයන්නේ මෙසේ ය.
“එහෙම සම්පූර්ණයෙන් කියන්න බැරි උනත් නායක හාමුදුරුවන් සාමාන්‍ය පුද්ගලයකු නො වන බව නම් මට විශ්වාස යි.”
“උන්වහන්සේ ඉතාම දුර්වල වෙලා ලෙඩ වෙලා ඉන්න අවස්ථා වලදී උන්වහන්සේ ගේ සිත විමසා බැලීමට මාත් සෑම උත්සාහයක්ම ගත්තා. ගන්නවා.
ඇහැ ඔපරේෂන් කරලා ඉන් පසුව ආහාර ගන්නත් බැරිව නායක හාමුදුරුවෝ බරපතළ අපහසුතාවයකට පත් වුණා. මට මතකයි ඒ හේතුවෙන් වෙන වෙන රෝගත් හැදුනා. හුඟක් අමාරු වුණා. මං ඒ වගේ අවස්ථාවලදී නායක හාමුදුරුවන්ගෙන් විමසුවා කොහොම ද නායක හාමුදුරුවනේ කියලා.
උන්වහන්සේ ප්‍රකාශ කළේ “ධම්මානන්ද මම එබඳු බොහෝ අවස්ථාවලදී කරන්නේ සිත නිවනට යොමුකර ගැනීමයි.” ධම්මානන්ද හිමියෝ තව දුරටත් මෙසේ ප්‍රකාශ කර සිටිති.
“තවත් විශේෂ කරුණක් තමයි නායක හාමුදුරුවන්ගේ තිබෙන ප්‍රාර්ථනාව. බොහෝ දෙනෙකු හිතන්නේ නායක හාමුදුරුවෝ ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙක් කියල යි.
නමුත් නායක හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව, අරමුණ වී තිබෙන්නේ කොහොම නමුත් මේ ජීවිතයේ ම මේ පංචස්කන්ධය අවසන් කර දැමීම යි. උන් වහන්සේ උත්සාහ ගන්නේ ඒ සඳහාම යි. “ඒ සඳහා තමයි මාගේ මේ උත්සාහය” කියලා මහා නා හිමියන් නිතර ප්‍රකාශ කරනවා..

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 33

නො ලියවුණු පොතේ පිටු පන් දහසකි


චන්දවිමල මහා නා හිමියන්ගේ පශ්චිම යුගය සුවිශේෂී වූ සන්සිද්ධීන් දාමය නිසා විශේෂත්වයට පත් විය. උන්වහන්සේගේ දිවි මඟ දෙස ආපසු හැරී බැලුවහොත් එය සියක් වසක ඉතා සාර්ථක ජීවන ගමන් මඟක් එළි පෙහෙළි කළ ආලෝක ප්‍රභවයක් සේය.
සියලු පින් දහම් කරමින් කුසල් වඩමින් යථාර්ථය දකිනා සැබෑ බෞද්ධයන් අපේක්‍ෂා කරන්නේ මේ සංසාර චක්‍රයේ බ්‍රමණය නවතා අවසානයේ නිර්වාණාවබෝධය ලබා ගැනීමේ පරම පවිත්‍ර චේතනාව සාර්ථක වනවා දැකීමය. බණට දහමට වඩින භික්‍ෂූන් වහන්සේ ධර්ම දේශනාව අවසානයේ මෙන්ම පිනක් දහමක් සඳහා වෙහෙර විහාරයකට යනෙන සද්ධාවන්තයෝ අවසානයේ මෙසේ ප්‍රාර්ථනා කරති. ‘චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා.’ එසේනම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත යුතු වෙයි. එය ධර්ම දේශනය අවසානයේ හෝ මලක් පහනක් පුදා කෙරෙන ප්‍රාර්ථනය තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව අපි හොඳින් දනිමු. අතොරක් නොමැති සසර කතරේ දුකම කරපින්නාගෙන අතිශය දුෂ්කර මගෙක අපි සැමට ගමන් කරන්නට සිදුව ඇත්තේ ඒ නිසා ය.
රේරුකානේ මාහිමිපාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පොත ලියුවේ නිසි අවබෝධයකිනි.
එය ඒ විෂය පිළිබඳව ලියැවුණු උසස් කෘතියක් බව ප්‍රමාණික වියතුන්ගේ ද අදහසයි.
උන්වහන්සේ චතුරාර්ය සත්‍යය පොත ලියා ඵලකරන්නේ 1947 වසරේදීය. ඒ වන විට රේරුකානේ මහා නා හිමියන්ගේ වයස අවුරුදු 50ක් පමණ වෙයි.
1992 – 07 – 05 වැනි දින උදේ මහා නා හිමියෝ ධම්මානන්ද හිමියන් සමඟ පවසන්නේ මෙසේ ය.
“ධම්මානන්ද ඊයේ රාත්‍රියේ මට දුක්‍ඛ සත්‍යය ගැන අවබෝධ වෙච්ච කාරණා පොතක් වශයෙන් ලීවොත් එක පිටු පන් දහසක් විතර වේවි. එහෙම ලිව්වොත් මං කලින් ලියා තිබෙන ‘චතුරාර්ය සත්‍ය’ කියන පොත මොකක්ද කියල ඔය ඇත්තන්ට හිතෙන්න පුළුවන්”
මෙම වදන් පෙළ වඩාත් හොඳීන් විමසුවහොත් මෙය එසේ මෙසේ නොවන අසාමාන්‍ය ප්‍රකාශයක් බව හැඟීයනු නියතය. එය පවසන දිනය වන විට මහා නා හිමිපාණන් වහන්සේගේ වයස අවුරුදු 94 ක් පමණ වන ඉතා වියපත් වියේ පසු වූහ.
උන්වහන්සේ වයස අවුරුදු 50 දී තේරුම් ගත් සත්‍ය හතර තවත් වසර 45 ක් ගත වූ තැනදී දැනෙන්නේ වඩාත් පුළුල් ආකාරයට බව ඉහත ප්‍රකාශයෙන් සනාථ වෙයි. එය මහත් ඥානාවබෝධයකින් ප්‍රඥා ලෝකය විහිදුවාලූ සුවිශේෂ අවස්ථාවක් වූවා විය හැකි ය. මේ වකවානුව වන විට මහා නාහිමියන් එය අවබෝධකර ගත්තේ වඩ වඩාත් පොත් පත් පරිශීලනය කිරීමෙන් ලබාගත් න්‍යායික දැනුම වර්ධනය කර ගැනීමකින් නොවුණා විය හැකිය.
උන්වහන්සේ වයස අවු. 94ක් පමණ වන විට දෑසම නොපෙනෙන තත්ත්වයක සිටීම එයට හේතුවයි. ඒ කාලය මහා නා හිමියන් ගත කළේ භාවනානුයෝගීවමය. එසේ නම් ඒ වකවානුව වන විට උන්වහන්සේ එවන් ප්‍රකාශය කළේ ප්‍රඥාවබෝධයෙන් බව අපට සිතිය හැකිය. ඒ නිසාම මේ ධර්මයේ පද නමසේ වූ මේ සත්‍ය හතර මහා නා හිමිපාණන් වහන්සේ තම අධ්‍යාත්මය පෝෂණය කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මනා සේ පසක් කර ගත්තේ ද?
වයස අවුරුදු 50 දී පමණ එනම් එයට වසර 44 කට පමණ පෙර මහා නා හිමියන් ලියූ ‘චතුරාර්ය සත්‍ය’ පොත පිටු 176 කට පමණ සීමාවෙයි.
ලේඛන කාර්යයේ නියැළෙන්නට නොහැකි අවු. 94 වැනි වියේ දී උන්වහන්සේට දැනෙන දුක්ඛ සත්‍ය පිළිබඳව පිටු 5000ක් පමණ වන පොතක් ලියන්නට හැකි බව පැවසීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ මේ වන විට අවබෝධ කර ගත් සත්‍යයේ ස්වාභාවය කොතරම් නම් පුළුල් පරාසයක විහිදී පැතිරී ගිය බවක් නොවන්නේ ද? බුදු දහමේ පදනම ගොඩනැඟී ඇත්තේ මෙම සත්‍ය 4 මතය.
චතුරාර්ය සත්‍ය නම් වූ ධර්ම පුස්තකයෙන්ම ඒ පිළිබඳව අදහස ගෙන හැර දැක්විය හැකි වෙයි.
“චතු සච්චං පකා සෙත්වා
පතිට්ඨ පෙත්වා සංසාරා යො බහුජ්ජනෝ
තං ලෝක නාථං සුගතං ධම්මඤ්ච තෙන දෙසිතං
සංඝඤ්ච ඔරසං තස්ස අභිවන්දාමි සාදරං “

“සකලඥෙය පරාගත වූ මහා කාරුණික වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධරාජාණන් වහන්සේ චතුරය සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් වූ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉතා දුකසේ දානාදී සමතිස් පෙරුම්දම් පුරා පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේධ කොට පස් මරුන් පරදා සර්වඥත්වයට පැමිණ වදාළේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නො කළ නිසාම ඉතා දීර්ඝ කාලයක් පටන් නැවත නැවතත් ජාති, ජරා, ව්‍යාධි, මරණ ශෝක පරිදේවාදී දුක්ඛයන්ට හා නරක තය්‍ය¡ක් ප්‍රේත, අසුරකාය යන සතර අපායෙහි වූ ඝෝර කටුක භයංකර දුක්ඛයන්ටත් අසුවෙමින් කිසි පිහිටක් නොමැතිව සංසාරයෙහි ඔබ මොබ පාවෙමින් සිටින සත්ත්ව සමූහයාට ඉන් මිදී අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත උත්තම භූමියට පැමිණෙනු සඳහා චතුරාර්ය සත්‍යය ධර්මය ප්‍රකාශ කරනු පිණිසය.”
මෙහි අදහස ලගුකොට පවසන්නේ නම් බුදු කෙනෙකුන් ලොවට ජනිත වන්නේ දුකෙන් පීඩා විඳින දනන් ඉන් මුදා නිවන් මඟ පෙන්වාදීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර දෙනු පිණිසය. එසේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නො හැකි බවත් බුදුකෙනෙකුන් උපදින්නේ ඒ පරම සත්‍යය ලෝකයාට පහදා දීමට බවත් ය.
ඒ නයින් බලන කල මේ යුගයේ පහළ වූ විශිෂ්ට මහා සංඝ පීතෘ වහන්සේ නමක් ලෙස කීර්තියට පත් වූ රේරුකානේ චන්ද විමල මහා නා හිමියන් 1992 ජූලි මාසයේ 7 වැනි දින රාත්‍රිය සමවත් සුවයෙන් ගත කර 8 වැනි දිනට හිරු පහන් වන විට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වූ සත්‍ය හතර ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගත්තේ ද?
මහා නා හිමියන්ගේ ශත වර්ෂාධික ජීවන පුවත කියැවීමේදී ඉහත ප්‍රකාශයට වඩාත් අවධාරණයෙන් සිත් යොමු කිරීම විශේෂිත වෙයි. ඒ අනුව මහා නා හිමියන් වහන්සේ මේ දුක්ඛ සංසාර සාගරය තරණය කරමින් සදාතනික සුව ඇති විමුක්තියේ ක්‍ෂේම භූමිය වෙතට සපැමිණියා දැයි සිතා බැලීම බුද්ධිමත් ඔබට බාර කරමි.
උන්වහන්සේ මෙම ප්‍රකාශය කරන්නේ වසර 94 ක් තිස්සේ ජාති ජරා මරණ, දුක්ඛ, දෝමනස්සයන්ගෙන් පිරුණු භව මගේ එක් සන්ධිස්ථානයකදී, එ ව්‍යාධීන් සමනය කිරීම සඳහා අධ්‍යාත්මය කළ සටනෙන් ලද ජයග්‍රාහී උද්දාමයකින් වූවා විය හැකිය. එහෙත් එය පැවසීමට ශබ්ද විකාශන පාවිච්චි කළේ නැත. මේ මහා සංග්‍රාමයේ ජයග්‍රහණය පිළිබඳව පුවත්පත් සඳහා ප්‍රකාශ නිකුත් කිරීමකින් ලෝකයට දැන්වීමට ද නොවෙයි. එය ප්‍රකාශ කරන්නේ තමාට වසර ගණනාවක් සිට ඇප උපස්ථාන කරමින් උන්වහන්සේ සමීපයේ වැඩ සිටි ධම්මානන්ද හිමියන්ට පමණක් දැන ගැනීම උදෙසා ය. පන්සලේ ඝන්ඨාරය නාද කරහෝ අඩු තරමේ ගමටවත් පවසන්නට හෝ පන්සලේ වැඩ සිටින අනෙකුත් ගෝල බාල භික්‍ෂූන් වහන්සේලාටවත් මේ බව දැනුම් දෙන්නට යැයි උන්වහන්සේ කිසි විටෙකවත් විදාන දුන්නේ ද නැත.
ධම්මානන්ද හිමියන් දින වකවානු සහිතව ඒ බව සටහන් කර නොතිබුණේ නම් එය අදත් කිසිවකුත් නොදන්නා රහසක් වශයෙන් පවතිනු ඇත. ජීවිතයේ යම් ඵලයක් ලද්දේ නම් එවන් උත්තමයන් එය වින්දනය කරන්නේ හුදෙකලා සුවයෙනි. ලොවට ඇසෙන්නට අඬහැර පාන්නේ නැත. අඬබෙර ගසන්නේ ද නැත.
නමුත් රේරුකානේ මහා නා හිමියන් ධම්මානන්ද හිමියන් සමඟ කළ ප්‍රකාශයන්හි විශේෂත්වය නිසාම ඒවා වසර මාස දින සහිතව සටහන් කර තැබීමට ධම්මානන්ද හිමියෝ උත්සුක වූහ. අධ්‍යාත්මීය පාරිශුද්ධ තාවයට පත් විශිෂ්ට පුද්ගලයන් තමා ලද අධ්‍යාත්මික ජයග්‍රහණයන් ලෝකයට හඬ ගා පවසන්නට පෙළඹෙන්නේ නැත. එම සිදුවීම් දිනපොත් වල සටහන් කර තැබීම ඔවුන්ට අවශ්‍ය නොවේ.
නමුත් වෙනත් බුද්ධිමත් කෙනෙකුට තවත් කෙනෙකුගේ සුවිශේෂී තා දකින්නට හැකිවන්නේ නම් මෙන්ම එවන් සුවිශේෂී සිදුවීම් දින වකවානු සහිතව සටහන් තැබීමට යුහුසුළු වෙන්නේ නම් මෙවන් නොමියන මිනිසුන්ගේ වටිනාකම මතු පරපුරටත් කියැවීමේ භාග්‍ය උදාවනු ඇත.
එවන් විශිෂ්ටයන්ගේ ජීවිත පොත පෙරළා බලමින් උද්දාමයට පත්වනවා වෙනුවට අප කළ යුත්තේ ඒ පරමාදර්ශී ජීවිත තුළින් වහනය වන සුවඳින් අංශු මාත්‍රයක් හෝ අපගේ ජීවිත තුළට ද සකසා ගනිමින් අපගේ දිවි මඟ ද ධර්මානුකූල ප්‍රතිපදා මත යහපත් ලෙස සාර්ථකත්වය වෙත රැගෙන යාමට උත්සාහ දැරීමය.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 34

කිසිවෙක් නොදැක්ක විශේෂත්වයක්

සඳුන් අරටුවක් මෙන් උත්තමයන් ගිය මඟ සිල් සුවඳ, උඩු සුළඟේ ද යටි සුළඟේ ද රැඳී පවතී. මද පවනේ ද රැඳී පවතී. සුළි සුළඟකින් වත් චණ්ඩ මාරුතයකින් වත් ඈතට ගසාගෙන ගොස් වියැකී නොයයි. සෑම දිසාවෙහිම පැතිරෙයි. අධ්‍යාත්මයෙන් සුපොහොසත් ශ්‍රේෂ්ඨ පුරුෂයන් සංසාර මඟ අඳුරට එරෙහිව නැගී සිටිනාවීදි පහන් වැනි වෙයි. ඒ එළි දැල්වෙන්නේ කිසිදු ලාභාපේක්‍ෂාවකින් තොරව යනෙන මාර්ගය ද එකළු කිරීම සඳහා ය. හුදෙක් මඟ හසර පෙන්වීමට ආලෝකය අවශ්‍ය නිසාය. නමුත් අන්ධ විශ්වාසයන්ගෙන් ආත්මය පුරවාගත් මිනිස්සු ආලෝකය නොදකිති.
කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ගේ දින පොතේ සටහන් තබා ඇති 1986 – 04- 13 වැනි දිනයද එවැනිම වූ විශේෂ දිනයකි.
ඒ දිනයේ දී රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් පැවසූ තවත් විශේෂ ප්‍රකාශයක් එහි මෙසේ සටහන් කර තිබෙයි. “ ධම්මානන්ද මේ කාලේ ලෝකයේ ඉන්න විශේෂ පුද්ගලයෙක් තමයි මම. ඒ බව ලෝකය දන්නේ නැතිවාට” ලෝකයේ සිටි, සිටින විශේෂ පුද්ගලයන් පිළිබඳව අප අසා ඇත. විශ්මිත දේ කරන පුදුම සහගත ගති පැවැතුම් ඇති බොහෝ අය එම ගණයට අයත් වෙති.
ඒ අතර ඇතැම් රාජ්‍ය නායකයන්, දාර්ශනිකයන්, වෘත්තිකයන්, කලාකරුවන්, කම්කරුවන්, ධනකුවේරයන් වාගේම සොරුන්, ත්‍රස්තවාදීන් වැනි වුන්ද ඇතැම්විට ලෝක ප්‍රසිද්ධ වන්නේ ඔවුන් කරන ක්‍රියාකාරකම් නිසාය. ඇතැමෙක් කරන ඉතා යහපත් මෙන්ම සමහරුන්ගේ අධම ක්‍රියා විසින් ඔවුන් විශේෂ පුද්ගලයන් බවට පත්කරවනු ලබති. ඇතැම්විට හිස් මිනිසුන් එක් රැයෙන් දෙකෙන් යෝධ ප්‍රතිරූප බවට පත් කරවන්නේ මිනිසුන් මුළා කරවන ඇස්බැන්දුම්, විජ්ජා මවන සන්නිවේදන ලෝකය විසිනි. ඒ කවරාකාරයකින් සිදු වුවද විශේෂිත පුද්ගලයකු විශිෂ්ටත්වයට පමුණුවන්නේ මානව ප්‍රජාව, පරිසරය ලෝකය වෙනුවෙන් ඔහු කරන ඵලදායී යහපත් ක්‍රියාවන් හේතුවෙනි.
ඈත දුර විහාරස්ථානයක, එක්තරා කුඩා කුටියක පුංචි සයනයක සැතපී වයෝවෘද්ධ වියේ කෙසඟ සිරුරකින් හෙබි, භෞතික පක්‍ෂයෙන් කිසිවකුත් පෙන්වීමට නොහැකි, ඉතා සරල අල්පේච්ඡ ජීවිතයක් ගත කළ, එක්තරා යතිවරයාණන් වහන්සේ නමක් එක් දිනක පවසන්නේ ලෝකය දන්නේ නැතිවාට උන්වහන්සේ ලෝකයේ සිටින විශේෂ පුද්ගලයකු බවය. කෙනකු භෞතික පක්‍ෂයෙන් බලයෙන් ජවයෙන්, ජනපි‍්‍රයත්වයෙන් විශේෂත්වයට පත් වුවද යමකු අධ්‍යාත්මයෙන් සුපොහොසත් වන්නේ නම් විශේෂත්වයේ සැබෑ විශිෂ්ටත්වය එයයි.
ලෝකය පවතින්නේ දුකේ පදනම මතනම් ඒ දුක දිනා ගැනීමට සමත් පුද්ගලයා, ලෝකයම දිනූ ජයග්‍රාහකයෙක් බවට පත්වීම නිසා ඔහු විශිෂ්ටයෙක් වෙයි.
ප්‍රධාන වශයෙන් සැබෑ බෞද්ධයන් වන අප අපේක්‍ෂා කරන්නේ සංසාර විමුක්තිය නම්, ඒ විමුක්ති මාර්ගය පෙන්වා දුන් මහා විමුක්ති දායකයන් වූයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. දුක දිනා ගනිමින් සදාතනික සැප ඇති නිවන් කෙම්බිම වෙත යන මඟ පෙන්වා දුන් නිසාම බුදුපියාණන් වහන්සේ මෙලොව පහළ වූ සුවිශිෂ්ටම උත්තමයා ය.
බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් මඟ දිගේ ගමන් කරනා උතුම් බුදු පුතුන් ධර්ම ප්‍රතිපත්ති මත පිහිටා තම ජීවිතයද සකසා ගනිමින් අප සැමටද සැබෑ මාර්ගෝපදේශකයන් වෙමින් පෙන්වා දෙන පරමාදර්ශයන් නිසාම එවන් සංඝ පීතෘවරුන් තුළින් විද්‍යාමාන වන්නේ විශිෂ්ට ගුණයන් ය.
බලය ධනය ජනපි‍්‍රයත්වය, අබිමානය වෙනුවෙන් යම් විශේෂ ක්‍රියා කාරකමක් කරන පුද්ගලයා බලාපොරොත්තු වන්නේ ජනප්‍රසාදය දිනා ගැනීමටය. එසේත් නැතිනම් තමා වටා එක්රොක් වන අනුගාමිකයන් පිරිසක් ගොඩනඟා ගැනීමය. එහෙමත් නොවන්නේ නම් මේ සමාජ තලයෙන් උඩට ඉස්මතුවී කැපී පෙනීමෙන් විවිධ වරප්‍රසාදයන් ලබා ගැනීමය.
බැඳීම් වරපට ලිහා දමමින් කාම භව ආශාවන්ගෙන් වියුක්තවන අධ්‍යාත්මය පිවිතුරු කරගත් සිතකට ලෝකය සන්තර්පණය කිරීමට අවශ්‍ය නැත. තම ආත්මීය රැස් කදම්බය දකින්නට එන්නයැයි ආරාධනා කරමින් බැනර්, කුඩ, කොඩි, සේසත්, එසවීමට ද අවශ්‍ය නොවෙයි. ඒ නිසාම එවන් මිනිසුන් ගැන ලෝකයට දැන ගැනීමට හැකියාවක් නැත. එහෙත් එවන් ප්‍රසන්න ප්‍රතිරූප මවන පුරෝගාමී චරිත පිළිබඳව අපව දැනකියා ගැනීමට ලැබීමෙන් සිදුවන්නේ යහපත්කම ය. එය අවශ්‍ය වන්නේ පෙරහර පවත්වමින් පැමිණ විශේෂ සත්වයකු දෙස බලනවා වැනිව බලා ආශීර්වාද ලබා ගත් පමණින් හෝ තම පව්මල සෝදා හැරීමට හැකියැයි සිතන මිනිසුන් සඳහා නොවෙයි.
එවන් උත්තමයන් ගිය මඟේ යාමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට මෙන්ම එවන් මිනිසුන්ගේ චරිතාපදානයන් මඟින් ගම්‍ය වන යහපත් ලක්‍ෂණයන් තම ආත්මය තුළද ලියා තබාගනිමින් ප්‍රතිපත්ති ගරුක වීම සඳහා ය. එවන් මිනිසුන්ගෙන් ගතහැකි ආදර්ශයන් තම දිවිමඟට ආලෝකයක් කර ගැනීම උදෙසාය.
සඳුන් අරටුවක් මෙන් උත්තමයන් ගිය මඟ සිල් සුවඳ, උඩු සුළඟේ ද යටි සුළඟේ ද රැඳී පවතී. මද පවනේ ද රැඳී පවතී. සුළි සුළඟකින් වත් චණ්ඩ මාරුතයකින් වත් ඈතට ගසාගෙන ගොස් වියැකී නොයයි. සෑම දිසාවෙහිම පැතිරෙයි. අධ්‍යාත්මයෙන් සුපොහොසත් ශ්‍රේෂ්ඨ පුරුෂයන් සංසාර මඟ අඳුරට එරෙහිව නැගී සිටිනාවීදි පහන් වැනි වෙයි. ඒ එළි දැල්වෙන්නේ කිසිදු ලාභාපේක්‍ෂාවකින් තොරව යනෙන මාර්ගය ද එකළු කිරීම සඳහා ය. හුදෙක් මඟ හසර පෙන්වීමට ආලෝකය අවශ්‍ය නිසාය. නමුත් අන්ධ විශ්වාසයන්ගෙන් ආත්මය පුරවාගත් මිනිස්සු ආලෝකය නොදකිති.
ආලෝකය දකින්නට නම් ගැලී වෙලී සිටින මෝහාන්ධකාරයෙන් මිදී බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කළ යුතු වෙයි. ඒ උතුම් බුදුදහමේ හරය සාමාන්‍ය මිනිසාට ද පැහැදිලි ලෙස තේරුම් බේරුම් කර ගැනීමට පහසුවන ලෙස සරල සුගම භාෂා ආකෘතියකින් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ලියා ඵල කෙරෙන පොත් පෙළ හස්ත සාර වස්තුවක් වැනි වෙයි.
1986 දිනක දී රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් තමා ලෝකයේ සිටින විශේෂ පුද්ගලයකු බව පැවසූ අතර ඊට තවත් වසර 6කට පසුව 1992 වසරේ එක්තරා දිනයකදී උන්වහන්සේ පැවසුයේ තමාට දුක්ඛ සත්‍ය අවබෝධ වූ බවය. මෙම ප්‍රකාශයන් දෙකෙහි සහ සම්බන්ධතාවයක් දැකිය හැකි වෙයි.
එසේනම් චන්දවිමල මහා නාහිමියන් දුක්ඛ දෝමනස්සයන් සහිත සංසාර දුර්ග මාර්ගයේ නිසි අවබෝධයෙන් ගමන් කරමින් එවන් තත්ත්වයක් ඇතිවීමට හේතු දැන මේ භව මගේදීම දුක නිවාරණය කර ගත්තාද? කෙසේ වුවත් මහා නාහිමියන්ගේ ප්‍රකාශ තුළින් මෙන්ම ප්‍රායෝගික ජීවිතය පිළිබඳ විමසීමේ දී පැහැදිලි වන්නේ උන්වහන්සේ සුවිශේෂී සංඝ පීතෘ වරයාණන් වහන්සේ නමක් බව ය. රේරුකානේ මහා නා හිමියෝ තවත් දිනකදී ධම්මානන්ද හිමියන් සමඟ මෙසේ ප්‍රකාශ කරති. “ධම්මානන්ද අපේ එකම බලාපොරොත්තුව උත්සාහය මේ පඤ්චස්කන්ධය මේ භවයේදීම කොහොම හරි කෙළවර කර ගැනීමයි.”
මහා නා හිමියන්ගේ වයස අවු. 88 පමණ කාලයේ දී පවසන්නේ ඒ වන විටත් උන්වහන්සේට ලේඛන කාර්ය කළ හැකි බවය. එහෙත් එය කරගෙන යන භාවනාවට බාධාවක් වන නිසා පොත් ලිවීමට කාලය කැප නොකරන බවය. 1983.11.07 දිනයේ දී මහා නා හිමියෝ මෙලෙසද පවසති.
‘දිගු කලක් ජීවත් වීමේ එක හොඳක් තියෙනවා. දිගු කල් ජීවත් වන නිසා ධර්මයේ නොදන්න ගැටලු සහගත දේ තව තවත් අවබෝධ වෙනවා. ඔය පොත් ලියන කාලයේ තිබූ ධර්ම ඥානයට වඩා දැන් අපේ ධර්ම ඥානය බොහොම දියුණුයි. දැන් ඔය පොත් ලියනවානම් ඔය කරුණු ඔයිට වඩා සවිස්තරව අමුතු ක්‍රමයට ලියන්න පුළුවන්.’
බහුතර බෞද්ධ ජන සමාජය තුළ මෙන්ම බහුශ්‍රැත ප්‍රමාණික වියතුන්ගේ ද නොමද පැසසුමට බඳුන් වූ රේරුකානේ මහා නා හිමියන්ගේ ධර්ම පුස්තක පෙළහි ඇති වටිනාකම පිළිබඳව පුන පුනා ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවෙයි. ඒවා බොදු ජන සමාජය වෙත ප්‍රදානය කළ සේවයේ වටිනාකම තක්සේරු කළ නොහැකි තරම්ය.
එවන් පොත් පෙළක් ලියා පළකළ මේ යුගයේ පහළ වූ මහා පඬිරුවනක් වූ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බහුශ්‍රැත සංඝරත්නයක් වූ මහා නා හිමියන් දැනුම අවබෝධය සොයා යන දීර්ඝ චාරිකාවේදී තමා සියල්ල අවබෝධ කරගත් මහා උගතෙක් බුද්ධිමතෙක් යැයි සිතා අනුන්ගේ ප්‍රශස්ති ගරු බුහුමන් ලබමින් අසාමාන්‍ය ප්‍රතිරූප මවමින් කාලය, අවබෝධය එතැනින් නතර කර තැබීමට නො පෙළඹෙති. මුඛයෙන් පිටවන වදනක් වදනක් පාස අහුලා ගනිමින් ‘සාධු ! සාධු !! යැයි හඬ නඟන දහස් ගණන් අනුගාමිකයන්ගෙන් පන්සල් වත්ත පිරීතිරී යනු දකින ලාමක සිතක් උන්වහන්සේ තුළ නොවුණු බව හැඟෙයි. අන්ධ විශ්වාසයන්ගෙන් අසරණ වූ මිනිසුන් දකින්නට මහා නාහිමියන් උත්සාහ නොකළ බව පෙනෙයි.
වසර සියයක ආයු කාලය තුළ අවසාන මොහොත දක්වාම උන්වහන්සේගේ ජීවන පැවැත්ම ඉතා සරළ විය. අල්පේච්ඡ විය. සැහැල්ලු විය.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය.....35

සංසාරයේ කෙළවර...

මෙවන් කියුම් විමසන විට හැඟී යන්නේ පාණ්ඩිත්වයෙන් උඩඟු නොවූ සැහැල්ලු සිතක පැවැති නිහතමානීත්වය වේ. වයෝවෘද්ධ වියේදී වුවද අවධි වූ නිරවුල් සිතින් මහා ගැඹුරු දහම් සාගරයේ කිමිදෙමින් විමසමින් තම ප්‍රඥා ලෝකයෙන් එහි පතුල දැකීමේ නිරන්තර ව්‍යායාමයක මහා නාහිමියන් නියැළුණු බවකි. එහිදී එදා මනැස තුළ තිබූ අවබෝධයේ තරම මෙන්ම පසු කාලීනව ලැබූ සුපොහොසත් අධ්‍යාත්මයක පුළුල් බවේ වෙනස උන්වහන්සේට දැනෙන්නට ඇත.වසර සියයක් ආයු වැළඳූ රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ පශ්චිම යාමයේ උන්වහන්සේගේ සිරුර දුර්වල වුවද, දෑසම නො පෙනී පැවතියද, සිත සවිමත් විය. අවසාන නිමේෂය දක්වා මහා අධ්‍යාත්මික ව්‍යායාමයක මනැස ක්‍රියාත්මකව පැවතුණු බව පෙනෙයි.
මේ වන විට පොත් ලිවීම නවතා භාවනාව වෙනුවෙන්ම සිත යොමු කිරීම නිසා ඒ සමාධිගත වන සිතට දැනෙන ප්‍රඥාවබෝධය විසින් මහා නා හිමියන් පෙරදී ලියු පොත් තව තවත් පුළුල් ආකාරයට ලියන්නට දැන් හැකියාව ඇති බව උන්වහන්සේ අවබෝධ කරගෙන සිටියහ. එය දුර්වල කයක් තුළ පැවැති මනැසේ සවිමත් බවට හොඳ උදාහරණයකි. මහා නා හිමියන් ලියූ පොත් පෙළ පිළිබඳව අද ද කිසිදු පාඨකයෙක් ප්‍රශ්න නොකරති.එහෙත් ලියූ කර්තෘවරයාම තමාගේම පොත් ගැන ස්වයං විග්‍රහයක යෙදෙයි. සෑහීමකට පත් නොවන බවක් හඟවයි.චන්දවිමල මහා නා හිමියන්ගේ ධර්ම පුස්තක පෙළ ඉතා ප්‍රශස්ථ මට්ටමක පවතියි. ඒ ගැන අද ද කොහෙත්ම විවේචනයක් නොමැත. එහි අඩංගු ධර්ම කරුණු වල කිසිදු වැරැද්දක් විකෘතියක් නොමැති බව පැහැදිලිය.පොත් පිළිබඳව පවසන ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ උන්වහන්සේ මේ වකවානුවේදී ඒවා ලියුවේ නම් එම ධර්ම කරුණුම තවත් පුළුල්ව පැහැදිලිව විග්‍රහ කිරීමට හැකියාව ලැබෙන බවය.
මෙවන් කියුම් විමසන විට හැඟී යන්නේ පාණ්ඩිත්වයෙන් උඩඟු නොවූ සැහැල්ලු සිතක පැවැති නිහතමානීත්වය වේ.වයෝවෘද්ධ වියේදී වුවද අවධි වූ නිරවුල් සිතින් මහා ගැඹුරු දහම් සාගරයේ කිමිදෙමින් විමසමින් තම ප්‍රඥා ලෝකයෙන් එහි පතුල දැකීමේ නිරන්තර ව්‍යායාමයක මහා නාහිමියන් නියැළුණු බවකි. එහිදී එදා මනැස තුළ තිබූ අවබෝධයේ තරම මෙන්ම පසු කාලීනව ලැබූ සුපොහොසත් අධ්‍යාත්මයක පුළුල් බවේ වෙනස උන්වහන්සේට දැනෙන්නට ඇත.මේ දැනුම් පරාශය පිළිබඳව ප්‍රශ්න නැගුවේ බාහිර කිසිවකුත් නොව තම හෘද සාක්‍ෂියම ය.එදාට වඩා අද සමාජය සංකීර්ණය.විෂමය. මෙතරම් බණ කියන රටක මෙතරම් බණ අසන රටක විෂමචාරයන් වර්ධනය වන්නේ ඇයි දැයි අපි සැවොම සෙවිය යුතු වෙමු.ප්‍රතිපත්ති ගරුක ආදර්ශවත් ජීවිත ගෙවන මිනිසුන් විරළ විය හැකිය. බොහෝ දෙනා උත්සාහ කරන්නේ කැටයම් මොස්තරය පෙන්වමින් කැපී පෙනීමට මහා චරිත මවමින් ජනපි‍්‍රය, නළු නිළියන් මෙන් රඟපෑමටය. පය ගැසු පොළොවෙන් උඩ සැරසූ වේදිකා මත විරාජමාන වීමට ය. බුදුන් වහන්සේ පවා ධර්ම දේශනා කළේ නිසි තැන නිසි වේලාව අවශ්‍යතාවය ප්‍රමුඛ කර ගනිමින් බව බුද්ධ චරිතය විමසන විට පෙනෙයි.
රේරුකානේ මහා නා හිමියන් බැහැ දකින්නට පැමිණෙන ඇතැම් අය ධර්මය පිළිබඳව කතා කිරීමට සූදානම් වුවද උන්වහන්සේ ධර්මය පිළිබඳව වචනයකුදු කතා නොකරති. මහා නා හිමියෝ එසේ හැසිරෙන්නේ කිසිදු අහිතකින් නොවෙති. මේ අතර ඇතැමෙකු පැමිණෙන්නේ ඉතා ඕනෑකමින් ධර්මාවබෝධය ලබා ගැනීම සඳහාය. එවන් අය සමඟ ඕනෑම වේලාවක් ධර්මය පහදා දෙමින් කතා කිරීමට මහා නා හිමියන් පෙළඹෙන්නේ කැමැත්තෙනි.ධර්මය වුවත් සෑම අවස්ථාවකම සෑම දෙනා සමඟම තැන නො තැන නො බලා කතා කිරීම ඇතැම් විට හිසරදයක් වීමටද ඉඩ ඇත. ඒ නිසාම මහා නා හිමියන් එවැනි දෙයකට කිසි විටෙකවත් සූදානම් වූයේ නැත.එහෙත් යනෙන කා සමඟ වුවද උන්වහන්සේ කතා කරන්නේ ඉතාමත් සුහදවය. මහා නා හිමියන්ගේ නිබඳ සිනාමුසු ප්‍රසන්න මුහුණ අභ්‍යන්තරය විදාහරණය කළ කැඩපතක් වැනි විය.
ඒ සිනාමුසු ප්‍රසන්න මුහුණේ සිරියාව එදා වාගේම අදත් ධම්මානන්ද හිමියන්ගේ මතකයේ රැඳී පවතී. “නායක හාමුදුරුවන්ව බලන්න එන හැම කෙනෙක්ම කියන දෙයක් තමයි මහානායක හිමියන් දෙස බලාගෙන ඉන්න ආශා හිතෙනවා කියලා. ඒ තරමටම ලස්සන සිනා මුසු පි‍්‍රයංකර මුහුණක් උන්වහන්සේට තියෙන්නේ “ රේරුකානේ මහා නා හිමියන් පිළිබඳ ධම්මානන්ද හිමියන්ගේ මතකයේ පවතින්නේ විශේෂතාවයන්ම ය. ‘තවත් විශේෂ කරුණක් තමයි මහා නා හිමියන්ගේ තිබෙන ප්‍රාර්ථනය. බොහෝ දෙනකු සිතන්නේ නායක හාමුදුරුවන් ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙක් කියලා. නමුත් නායක හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව අරමුණ වී තිබෙන්නේ කොහොම නමුත් මේ ජීවිතයේදීම මේ පංචස්කන්ධය අවසන් කර දැමීමයි’ ‘උන්වහන්සේ උත්සාහ ගන්නේ ඒ සඳහායි. මහා නා හිමියන් ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරමින් වැඩිම කාලයක් ගත කරන්නේ ඒ වෙනුවෙන්’ මහා නා හිමියන් ඉතාම දුර්වල වෙලා, ලෙඩ වෙලා ඉන්න අවස්ථාවලදී උන් වහන්සේගේ සිත විමසා බැලීමට මාත් සෑම උත්සාහයක්ම ගත්තා. ඇහැ ඔපරේෂන් කරලා. ආහාර ගන්නත් බැරුව නායක හාමුදුරුවන් බරපතල අපහසුතාවයකට පත් වුණා. ඒ අපහසුව නිසා වෙන වෙන රෝගත් වැළඳුණා. හුඟක් අසාධ්‍ය වුණා. මං ඒ අවස්ථාවලදී අහනවා. “කොහොමද නායක හාමුදුරුවනේ” කියල එවිට උන්වහන්සේ ප්‍රකාශ කළේ “ධම්මානන්ද මා එබඳු අවස්ථාවලදී කරන්නේ නිවනට සිත යොමුකර ගැනීමයි ”
‘උප්පාදෝ භයං - අනුප්පාදෝ ඛේමං
උප්පාදෝ දුක්ඛං - අනුප්පාදෝ සුඛං
නිතර මහා නා හිමියන් පවසන්නේ ඔය වචන තමයි ‘ ‘ඉපදීම බයක් – නූපදීම තමයි ශාන්තිය ‘ භය නොමැති බව, එවැනි දුර්වල රෝගි අවස්ථාවලත් අන්න ඒ වගේ සිතිවිලි වලින් තමයි මහා නා හිමියන්ගේ සිත වෙලී පවතින්නේ. ඉතින් එවැනි අවස්ථාවලත් නිරෝධයට නිවනට සිත යොමු කර ගැනීම විශේෂ පුද්ගලයකුගේ ලක්‍ෂණයක් නේද? “ ‘නායක හාමුදුරුවෝ නිතර පවසන දෙයක් තමයි ‘මං මේ පින් දහම් කරන්නේ අනාගත ඵලයක් බලාපොරොත්තුවෙන් නො වන බව. මට එහෙම කිසිම ප්‍රාර්ථනාවක් නැහැ” ධම්මානන්ද හිමියන් එය තවත් විග්‍රහ කරමින් මෙසේ පවසති. ‘එසේ කියන එකේ තේරුම පින් පව් වල විපාක පිළිබඳව නොවෙයි. නායක හිමියන්ගේ එකම අභිප්‍රාය මේ භවයේදීම සංසාරය කෙළවර කර ගැනීමයි. ඒ වගේ කෙනෙකුට යම් විශේෂ තත්වයක් නැ කියල කියන එකත් අපහසුයි’
‘එහෙත් එවැනි විශේෂත්වයක් ගැන නායක හාමුදුරුවන් මා සමග කියා නෑ. කියන්නෙත් නෑ. නමුත් මට උන්වහන්සේගේ – විශේෂත්වයක් පෙනෙනවා , දැනෙනවා ‘ ‘දැන් අවුරුදු හතක් අටක් විතර කාලය මේ දුර්වල තත්ත්වයෙන් තමයි නායක හාමුදුරුවෝ ඉන්නේ. කායික දුර්වලත්වය නිසා මනසද ව්‍යාකූල වෙන එක ස්වභාවයක් වුවත්, උන්වහන්සේගේ මනස ඉතා නිරවුල් බවයි පෙනෙන්නේ

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය-36



සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු ධර්මතාවය පසක් කර ගනිමින් අපි කවුරු කවුරුත් මරණය වෙත දිනෙන් දින ලංවෙමින් සිටිමු. එහෙත් මරණය අප වෙත සමීප වන්නේ අප සිතන පතන ආකාරයටම නො වෙයි.
සුවදායක සයනයක සැහැල්ලු නින්දක සුබ සිහින දකිමින් කෙනෙකු මරණය වෙත කැඳවාගෙන යන්නේ නම් ඒ මරණය ඉතා සුවදායක ය.
එහෙත් එවන් මරණයක් වෙත පැමිණෙන්නට ලැබීම කණ කැස්බෑවකු විය සිදුරෙන් එළිය දකිනවා වැනි ය.
එහෙත් රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් සූදානම් වී සිටින්නේ බියෙන් ශෝකයෙන් තොරවූ උපේක්‍ෂා සහගත සිතින් මරණය පිළිගැනීමට ය.
කාලය මිනිසා වියපත් කරවයි. එහෙත් ඒ කාලය විසින්ම අවදි වු සිතැති මිනිසාගේ බුද්ධිය ප්‍රඥාව වර්ධනය කිරීමට වේලාව ලබා දෙයි. දැනුම සොයා චාරිකාවේ නියුතු මිනිසාට ඒ දීර්ඝ මාවත දෙපසින් බොහෝ අත්දැකීම් තම ජීවිතය පෝෂණය වෙනුවෙන් එකතු කර ගත හැකි වෙයි.
බොහෝ ඇත්තන්ට පැමිණි දුර දෙස ආපසු හැරී බලන්නට හැකි නම් සෑහීමකට පත් වෙනවාට වඩා සිදුවන්නේ පසු තැවීමටය. පසු තැවීමට සිදුවන්නේ ලද වටිනවා ජීවිතයෙන් තමාටවත් සමාජයටවත් ඵලදායි යහපත් යමක් කිරීමට තම ජීවිත කාලයේදි අපොහොසත් වන බැවිනි. ‘අයහපත් ලෙස සියවසක් ජීවත්වනවාට වඩා යහපත් ලෙස එක් දිනක් ජීවත්වීම ඉතා වටිනා බව’ පැවසෙන්නේ ඒ නිසාය. එහෙත් චන්දවිමල මහා නා හිමියන්ගේ දීර්ඝ ජීවන චාරිකාව පිදුම් හරසර ලැබිය යුතු වන්දනා චාරිකාවක් වැනිය.
දිගුකලක් ජීවත්වීම හොඳ බව උන්වහන්සේ පැවසුවේ ධර්මයේ ඇති නො දන්න දේ ඉගෙන ගනිමින් තව තවත් ධර්මාවබෝධය ලබා ගැනීමට මෙම දීර්ඝ කාලය ප්‍රයෝජනවත් වන නිසාය.
කෙනෙකු දිගු කලක් දිවි ගෙවූවද ඒ කාලය තුළ කළ කී දෑ අයහපත් නම්, ඵලදායි නොවන්නේ නම්,පින් දහම් නො කළේ නම්, ධර්මානුකූල ජීවිතයක් ගත නො කළේ නම්, කුසල් වර්ධනය කර නොගත්තේ නම්, ඒ තැනැත්තාට මරණ බිය වඩාත් දැනෙනු නියතය.
එහෙත් රේරුකානේ මහා නා හිමියන්ට එසේ මරණය පිළිබඳව බයක් හෝ ශෝකයක් නො වුණ බව පහත ප්‍රකාශයට අනුව පෙනෙයි.
‘වෙන අයට මෙන් මට මරණය ගැන බියක් ඇත්තේ නැහැ. එය මං සතුටෙන් පිළිගන්නයි ලෑස්ති වී ඉන්නේ’ දීර්ඝ වෙහෙසකාරි ගමන් මඟක අවසාන නිමේශය බිය හෝ ශෝකයෙන් තොරව පිළිගැනීමට රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් සූදානම්ව සිටියේ ඒ නිසාය.
වල්පැළෑටි බහුල බිමක සඳුන් වෘක්ෂයෝද දකින්නට හැකි වෙයි. මඩ තවරා නොගෙන සොඳුරු දසුන් මවන නෙළුම් පිපෙන්නේ කළල දිය මතිනි. දිව ගලෙන්,ඉරි තැලුණු වාලුකාවේ දිය දෝතක් ගෙන නැගී සිටින්නේ ඊතණ පැඳුරය. චන්දවිමල මහා නාහිමිගේ ජීවිතය කියැවීමේදි වාලුකාවේ ඊතණ පඳුර දකින්නට මඩ වගුරේ නෙළුම් දකින්නට සඳුන් අරටුවක සුවඳ විඳින්නට ඔබට හැකියාව ලැබෙන්නට ඇතැයි විශ්වාස කරමි.
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු ධර්මතාවය පසක් කර ගනිමින් අපි කවුරු කවුරුත් මරණය වෙත දිනෙන් දින ලංවෙමින් සිටිමු. එහෙත් මරණය අප වෙත සමීප වන්නේ අප සිතන පතන ආකාරයටම නො වෙයි.
සුවදායක සයනයක සැහැල්ලු නින්දක සුබ සිහින දකිමින් කෙනෙකු මරණය වෙත කැඳවාගෙන යන්නේ නම් ඒ මරණය ඉතා සුවදායකය.
එහෙත් එවන් මරණයක් වෙත පැමිණෙන්නට ලැබීම කණ කැස්බෑවකු විය සිදුරෙන් එළිය දකිනවා වැනිය.
එහෙත් රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් සූදානම් වී සිටින්නේ බියෙන් ශෝකයෙන් තොරවූ උපේක්‍ෂා සහගත සිතින් මරණය පිළිගැනීමටය. ලෝකයේ එවන් අවසානයක් දකින්නට සූදානම්ව සිටින්නේ කීයෙන් කී දෙනාද?
මහා නා හිමියන් සිතූ පැතූ ජීවිතයේ අවසානය ඒ ආකාරයෙන්ම නිමා කිරීමට උන්වහන්සේට හැකි වූයේද?
ඒ මරණ මංචකය අසලට ඔබව ඉක්මනින් කැඳවාගෙන යමි.
බිය නොවන්න! මා ඔබ කැඳවාගෙන යන්නේ යෝනිසෝ මනසිකාරයෙන් අසිරිමත් ක්‍රියා දාමයක අවසන් නිමේශය දකින්නට ය.
මහා නායක හිමියන් 92 වන වියට පත් වන විට ඇස් දෙකම පෙනෙන්නේ නැත. ඇවිද යාමටද අපහසුය. ඒ බාහිර ආපදා මොනතරම් ඇති වුවද උන් වහන්සේගේ ශීලාදී ප්‍රතිපත්ති කඩ නොකරමින් ඵළෙසම පවත්වා ගෙන ආහ. එසේ දුර්වල තත්වයක සිටියත් කළ හැකි මෙන්ම කළ යුතු සෑම කටයුත්තක්ම අවසාන මොහොත දක්වාම කිරීමට උත්සාහ ගත්හ. කිසිම මන්දෝත්සාහී ගතියක් සිත තුළ නොවීය.
‘දැන් වුවත් කවුරු හෝ ඉගෙන ගන්න කැමැති නම් ඉගැන්වීම් කරනවා. මේ දවස්වල කුකුල්පනේ සුදස්සී හිමියන්ට ත්‍රිපිටකය ඉගැන්වීම් කරනවා. ඇහෙන්නට පොත කියෙව්වාම පැහැදිලි කරලා දෙනවා. පන්සලේ සිටින අයගේ සුව දුක් සොයා බලනවා. අවශ්‍ය වූ විටක උපකාරත් කරනවා’ මහා නා හිමියන්ගේ දිවි ශතකයේ අවසන් දශකයේ මතකය ධම්මානන්ද හිමියන් මෙනෙහි කළේ එලෙසය.
යෝගාවචර භික්‍ෂූන් වහන්සේ බහුතරයක් ආරණ්‍ය ගත වන්නේ විමුක්ති සුවය සොයා යන චාරිකාව ද සාර්ථක කර ගැනීමට බාහිර බාධාවන්ගෙන් තොර විවේක සුවය – අවශ්‍ය නිසාය.
විහාරස්ථානයක අධිපතිකම් දරමින්, බණට පිරිතට පාංශුකූලයට වඩිමින්, පරිපාලන කටයුතු වලටද සම්බන්ධ වෙමින් දායක දායිකාවන්ගේ ඕනෑ එපා කම්ද පිරිමහමින් ග්‍රාම වාසීව හෝ නාගරික වැඩ වසන භික්‍ෂු ජීවිත වැඩි කාලයක් ගෙවෙන්නේ අවිවේකි තත්වයෙනි. භාවනා අභ්‍යාසයේ යෙදෙමින් සමථ විදර්ශනා ආදි ඥානයන්ගෙන් සිත සුපොහොසත් කර ගැනීමට එවැනි පසුබිමක් බාධාවන් නිසා එවන් භික්‍ෂුන් වහන්සේලා නෙක්ඛම්ම පාරමිතාව පුරමින් පන්සලෙන්ද ඈත් වී ආරණ්‍ය ගත වෙති. සෙනසුන් දිවියද අපහසු නම් හුදෙකලාව වන ගත වෙති. එහෙත් එවන් භික්‍ෂූන් වහන්සේ බහුතරයකට පිහිටට සිටින්නේද රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් ලියූ පොත් පෙළය.
මෙතන ඇති විශේෂය වන්නේ අප මහා නා හිමියන් අරණ්‍යගත නොවී ගමේ විහාරස්ථානයේම වැඩ සිටීමය. ඒ නිසාම වගකීම් සහිත විහාරස්ථානයේ අධිපතිකම දරන්නටද උන් වහනසේට සිදු වූ පමණක් නොව ස්වේජින් නිකායේ මහා නායක පදවියේ බැරැරුම් වගකීම් රාශියද දැරීමට සිදුවූහ. එපමණක්ද නොව විශාල ධර්ම ග්‍රන්ථ රාශියක්ද ලිවීමට පෙළඹුණේය.
මේ සංකීර්ණ සමාජ තලයේ නොයෙකුත් ක්‍රියාදාමයන් සිදු වුවද ඒ සියල්ල දෙස උපේක්‍ෂාවෙන් බලමින් ප්‍රතිපත්ති මත පිහිටා කාලය කළමනාකරණය කරගැනීමට උන්වහන්සේට විවේකය තිබුණේය. එවන් වාතාවරණයක වුව මහා නා හිමියන්ගේ සිත දියුණු තත්වයක පැවැති බව උන්වහන්සේගේ ජීවිතය කියැවීමේදි අපට තේරුම් ගත හැක.
නෙළුම් පතක් පෝෂණ ගෙන වැඩෙන්නට ජලය අවශ්‍යය. මහ ජල තටාකයේදි නෙළුම්පත සරුවට වැඩෙයි. ජලයේම වැඩී ජලයේම රැඳී පවතී. තුෂර බිඳුවක් හෝ අමෝරා වැසි වසින විට පතිත වන ජල බිඳුවක් හෝ නෙළුම් පත රඳවාගෙන නො සිටියි. මේ සමාජ ප්‍රවාහයේ භුමිය මතම මහා නා හිමියන්ගේ පිවිතුරු පීඨිකාව ගොඩ නැගෙන්නේද එපරිද්දෙන්මය. මේ සමාජ භූමිකාවේ කිසිදු බාහිර බරක් හිතේ තෙරපා ගන්නට හිස මත තබා ගන්නට උන්වහන්සේ නොපෙළෙඹෙන්නේ ඒ නිසාය.
මහා නා හිමියන් පවසන පරිදිම උන් වහන්සේ කුඩා කළ සිටම යම් කිසි භාවනාවක යෙදුන බවත් ඒ භාවනාවන් පිරිහෙන්නට නොදී අත නොහැර දිගටම කරගෙන ආ නිසාත් උන්වහන්සේ රැඳුන ස්ථානය ප්‍රශ්නයක් නො වුණ බව පෙනේ. පොත් ලිවීමත් භාවනාවත් එකක්ම යැයි පැවසීමෙන් පෙනී යන්නේ භාවනාවද උන්වහන්සේගේ ජීවිතයේ ඉතා ප්‍රමුඛ ප්‍රබල අංගයක්ව පැවතුණු බවයි. ඒ සඳහා වෙනම කාලයක් මිඩංගු කිරීමට උන්වහන්සේට අවශ්‍ය නොවීය.
1897 වසරේ ජූලි නොහොත් ඇසළ මාසයේ 19 වැනි දින උපන් රූබල් ගුණවර්ධන කුමරුවා 1906 වසරේ ජනවාරි 08 වැනි දින සසුන් ගත වූ බව අපි දනිමු
දින මාස අවුරුදු කාල ගත කරමින් පැමිණි දීර්ඝ මාර්ගයේ 1997 වසරද එළඹ තිබුණි. 1897 සිට 1997 වන විට වසර 100 ක් ගෙවී අවසානය.
කාලමානය ගෙවී යමින් 1897 ඇසළ මාසය එළඹුණාසේම 1997 වසරේ ඇසළ මාසයද උදාවිය.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය-37

සසල නොවූ නිසල මනස

බුද්ධ චරිතයේ මෙන්ම ශාසන ඉතිහාසයේ සුවිශේෂී ආගමික සන්සිද්ධීන් බොහොමයක් ජනිත කළ මාසය ඇසළ මාසයයි. ඒ නිසාම බෞද්ධ ලෝකයේ සදාතනික සිහිවටන ඔසවා තැබීමට ඇසළ මාසය සමත් වී තිබෙයි.
මේ ධර්මද්වීපයේ මෑත යුගය නියෝජනය කරමින්, යුග පුරුෂයකු බවට පත් වෙමින් බුද්ධධර්මයේ පුනරුදය වෙනුවෙන් අනුපමේය ආගමික, ශාසනික, සමාජ මෙහෙවරක නියැලුණූ පුරෝගාමී මහා යතිවරයාණන් වහන්සේ නමක ලෙස කීර්තියක් , ප්‍රසාදයක්,ගෞරවයක් දිනාගත් රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් උප්පත්තිය ලද්දේ ඇසළ මාසයේ වීමද විශේෂයෙන් මෙනෙහි කළ යුතුවෙයි.
මෙසේ 1997 වසරද උදාවිය. හෝරා දින , මාස පසු කරමින් වසරේ හත් වන මාසය, නැතිනම් ඇසළ මාසයේ 4 වැනි දිනද පැමිණියේය.
ඉපදුන දා සිට යනෙන නවතින කොතැනක දී වුව අප පසු පස ගමන් කරන එකම තැනැත්තා නම් මාරයාය. කිසියම් වූ දිනක මාරයා අපව පරදවනු නියතය. මාරයා අපට පැරදවිය හැක්කේ ඉපිද මැරෙන මැරී ඉපදෙමින් භ්‍රමණය වන සංසාර චක්‍රය නවතාගත් දාටය.
බුදුන් වහන්සේට පසේ බුදුන් වහන්සේට මෙන්ම රහතන්වහන්සේට මාරයා පරාජය කළ හැකිය.
ඇසළ මාසයේ 4 වැනි දිනයේද වෙනදා මෙන්ම මඟ බලා සිටි මාරයා පැරදවීමට රේරුකානේ මහානායක හිමියන්ට හැකි වූයේද?
1999.07.04 වන දින මහා නා හිමියන් සයනයේ සැතපී සිටියේ වෙනදාට වඩා අපහසු වෙනි. හීල් දානය බත් පිඬු දෙකකින් පමණ සෑහීමට සිදු වූයේ තෙවැනි බත් පිඬ ගිල ගැනීමට අපහසු වූ බැවිනි.
මේ අවස්ථාව වන විට මහා නා හිමියන්ගේ අග්‍ර උපස්ථායක වූ කිරිඔරුවේ ධම්මානන්ද හිමිද තවත් ශිෂ්‍ය රත්නයක් වූ සුසීම හිමිද මහා නා හිමියන් සමීපයේ වැඩ හිඳිමින් දානය වැළඳවීමට උපකාරී වූහ.
ආහාර වැළඳීම අපහසු නිසා උන් වහන්සේලා බොන දෙයක් දීමට සිතා අපහසුතාවය මඟහරවා ගැනීමට තීරණය කළහ.
දානය වැළඳීමට පහසුව සඳහා හිඳගැනීමට සැලැස්සුවද ධම්මානන්ද හා සුසීම හිමිවරුන් නායක හාමුදුරුවන් නැවත සයනයේ සැතපවූයේ එය මහා නා හිමියන්ට වඩාත් පහසු වන නිසාය.
‘මේ කරන උපකාර වලට ඔය ඇත්තන්ට නිවන් සම්පත් ලැබේවා’යි ඒ මොහොතේ චන්දවිමල මහා නා හිමියන් අපහසුවෙන් වුවත් ප්‍රකාශ කළේ කළ ගුණ සැළකීමට ලබා දිය හැකි ඉහළම ප්‍රත්‍යඋපකාරයක් වශයෙනි.
එසේ පවසා සුළු මොහොතකින් නායක හිමියන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය. අවට වා තලයේ නිදහසේ හමා යන පවනැල්ල නාස් පුඩු වලින් ඇතුළු වී පෙණහලු තුළ රැඳී නැවත පිටතට මුදා හැරීමේ සංකීර්ණ ක්‍රියාවලිය ජීවිතය පවත්වාගෙන යෑම වෙනුවෙන් නිබඳව උපකාරි වෙයි.
එහෙත් එය අවදි වූ සිහියෙන් යුතුව සතියෙන් යුතුව අපි මෙනෙහි කරන්නෙමුද? ජීවිතය ජීවත්කරවීම වෙනුවෙන් එවන් ක්‍රියාදාමයක් සිදුවන බවක් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළ අයකු හැර බොහොී දෙනා දන්නේ නැත. හුස්ම ගැනීම මහත්සේ අපහසු වන විට අපට දැනෙන්නේ මරණ බියය. එහෙත් අපහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන හැම මොහොතක්ම අවසාන නිමේශය නොවේ.
චන්දවිමල මහා නා හිමියන් මේ මොහොතේ හුස්ම ගත්තේ ඉතා අපහසුවෙනි. එය පිටතටද පෙනෙන්නට විය
මේ අපහසුතාවය දෙස ධම්මානන්ද හා සුසීම හිමියන් බලා සිටියේද මහත් වූ අපහසුවෙනි. දැඩි ශෝකයෙනි.
ඒ මොහොතේ හුස්ම ගැනීමේ පහසුව තකා ධම්මානන්ද හිමියන් මහා නා හිමියන්ගේ පපුව සෙමෙන් පිරිමදින්නට විය.
මේ වේලාවේ මහා නා හිමියෝ නැවතත් අපහසුවෙන් හඬ අවධි කළහ.
“ධම්මානන්ද මේ තමයි පණ අදිනවා කියන්නෙ “ වසර සියයක් වූ දීර්ඝ ජීවිතයේ කුඩා කාලයේ සිටම පිරිහෙන්නට නොදී – භාවනා අභ්‍යාසයේ නියුතු වූ නිසා මහා නා හිමියන්ට මෙසේ අපහසුවෙන් සිදුවන ආශ්වාස - ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස සතියෙන් බැලීමට හැකියාව නැතැයි කිව නොහැකි ය. හුස්ම ගැනීමට අපහසුවන සෑම විටකම එය මරණයෙන් කෙළවර නොවෙතත් මේ නම් පණ ඇදීම යැයි නිශ්චිතව මනා සිහි නුවණින් යුතුව තෝරා බේරා ගැනීමට තරම් මහඟු හැකියාවක් සහිත නිරවුල් සිතක් මහා නා හිමියන්ට තිබුණු බව අපට මෙයින් ප්‍රත්‍යක්‍ෂ වෙයි.
ඇත්තෙන්ම අවසාන නිමේශයේද මනා සිහිනුවණින් සියක් වසක ජීවිතාවසානය පිළිබඳව මහා නා හිමියන් සිටියේ හොඳ අවබෝධයකිනි. ඒ මොහොතේ සෙම් ගතිය අඩුවීමට දෙහි ඇඹුල් ටිකක් පොවන ලෙස නායක හිමියන් ඉල්ලා සිටි අතර එය එසේම සිදු විය.
මේ අතර වාරයේදි මහා නා හිමියන්ට නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන නානායක්කාර දොස්තර මහතා කැදවීමට තීරණය කෙරිණ.
ඒ වෙලාවේ දොස්තර මහතා සිටියේ රෝගීන් පරික්‍ෂාකරමින් වුවද දුරකථන ඇමතුම ලද සැනින් පැමිණියේය.
වෛද්‍යතුමා දැකීමෙන් උපස්ථායකයාණන් වහන්සේලාට දැනුණේ මඳ හෝ සහනයකි.
දොස්තර මහතා පැමිණි බව නායක හාමුදුරුවන්ට දැනුම් දුන් හ.
එහෙත් මහා නා හිමියන් අපහසුවෙන් මෙන් පැවසුවේ දොස්තර මහතා පැමිණියද දැන් එය වැඩක් නොවන බවය. නාඩි පරික්‍ෂාකර බැලු දොස්තර මහතා කීවේ ‘අද නම් නායක හාමුදුරුවන්ගේ හදවතේ තත්වය එතරම් හොඳ මදි ‘ ‘මා ඉක්මනට ෆාමසියට ගිහින් බෙහෙත් අරන් එන්නම් ‘ කියාය.
එසේ කියා ගිය දොස්තර මහතා බේත් ද රැගෙන ඉක්මනින්ම පැමිණියේය.
පෙරදි මහා නා හිමියන් පැවසුවේ දොස්තර මහතා පැමිණියද එය නිශ්ඵල ව්‍යායාමයක් වන බවය. එහෙත් බෙහෙත් පෙවූ පසුව නායක හිමියනට තරමක සුවයක් ලැබුණු බව පෙනුණි.
රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ මනා අවබෝධයක් ඇති නානායක්කාර දොස්තර මහතා නිතර පවසන්නේ උන්වහන්සේ ගේ හදවත අවුරුදු විසි පහක තරුණයකු ගේ මෙන් ඉතා හොඳින් ක්‍රියා කරන බවය. එහෙත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඉදිරියට ආහාර දෙන සැටිත් බේත් ලබා දිය යුතු ආකාරයත් පැහැදිලි කළ දොස්තර මහතා පිටත්ව ගියේ නොගිහින් බැරි නිසාය.
පෙරවරු කාලයේ නායක හිමියන්ගේ රෝගී තත්වය තරමක සුවදායක තත්වයකට පරිවර්තනය විය.
පස්වරු 03 ට පමණ ඉත්තෑපාන ධම්මාලංකාර මා හිමිපාණන් වහන්සේ වැඩියේ රේරුකානේ මහානායක හිමියන්ගේ සුව දුක් බැලීමේ අපේක්‍ෂාවෙනි.
ඒ බව මාහිමිපාණන් වහන්සේ වෙත සැලකළ සිටියද සැතපුණු කුඩා ඇඳෙන් නැඟී සිටින්නට මහා නා හිමියන්ගේ කයට වාරුවක් නොමැත.
කෙනෙකුට බලා සිටින්නට තරම් පි‍්‍රය උපදවන නිබඳ සිනහවෙන් පිරි පියකරු මුවින් තෙපලන ප්‍රසන්න වදනින් අමතන්නට වෙනදා මෙන් නායක හිමියන්ට නොහැකිය. එහෙත් මහා නා හිමියන් එය නිහඬ මුවින්, මුනිවත රකිමින් පිළිගත් බවක් හැඟුණේය.
ප්‍රබෝධවත් අරුණැල්ලේ හසරැල්ල රැගෙන පැමිණි දිනසුරු ශෝකී ගොම්මන් වතද රැගෙන අඳුරට ඉඩදී අඳුරේ සැඟවී පලා යාමට සූදානම්ය.
පෑළ දිගින් පායා සුපුරුදු ගමන යමින් අවර ගිරෙන් බැස යන්නට සූදානම්ය.
සුසුම්පොද ගැනෙන, ගැටෙන, වැටෙන ,මොහොතක් පාසා කාල මානයේ තත්පර කටුව ‘ටක්’ ‘ටක්’ හඬින් හදට තට්ටු කරමින් නො නවතින කාලය වියපත් වන බව අපට පවසයි. වැසුණු හද දොර විවරකර අප කොතන සිටින්නේ දැයි කුමක් කරන්නේදැ’යි විමසිලිමත් වන ලෙස හද දොරට තට්ටුකර පවසයි.
තත්පරයෙන් තත්පරය ගෙවී ගියද නිබඳ ප්‍රාණය සුරකින සුසුම්පොද ඉහළ පහළ වැටීමවත් අපට දැනගන්නට අවශ්‍ය නැත. එසේම දිනෙන් දින අප වියපත් වන බව පවසන තත්පර කටුවේ හඬද අපට නො ඇසෙයි. නො අසයි.
දුක් සහිතවූ අඳුරු සහිත වූ සසර අගාදයෙන් ගොඩ එන්නට පහනක් දැල්වූවා පමණක් නොව ඉනිමගක්ද බැඳ තැබූ තම ගුරුදේවයාණන් වහන්සේ මරණ මංචකයේ සැතපී සියලු බැඳුම් වරපට ලිහා දමමින් අවසාන නිමේශය උදාවන තෙක් සසල නොවු නිසල සිතින් උපේක්‍ෂාවෙන් බලා සිටිති. ධම්මානන්ද හිමියන් ඒ උත්තමයා ට හැකි ශක්ති ප්‍රමාණයෙන් උපස්ථාන කළේ එයට කෘතගුණ සැළකීමක් වශයෙනි.
අවසාන මොහොතතෙක්ම හැර නොයන සෙවණැල්ල සේ මහා නා හිමියන් සමීපයේ සිටි ධම්මානන්ද හිමියන්ගේ සිත සසල නොවුණා යැයි කිව නොහැකිය.
කළ හැකි කළ යුතු සියල්ල නො පිරිහෙලා ඉටුකළ බැවින් ධම්මානන්ද හිමියෝ අවසන් වශයෙන් කළ යුතු යැයි හැඟෙන දේ කිරීමට තම හඬ අවධි කළහ.
‘නායක හාමුදුරුවනේ මම නායක හාමුදුරුවන්ට අනුශාසනාවක් කරනවා නොවෙයි, නායක හාමුදුරුවන්ගේ වටිනාකමයි මේ කියන්නේ. මේ සම්බුද්ධ ශාසනයට ඔබ වහන්සේගෙන් සිදුවී ඇති සේවය කියන්න බැරිතරම් . ඉතාම විශාලයි කියා නායක හාමුදුරුවන්ට ඇසෙන සේ උස්හඬින් කීවෙමි. ඉන් පසුව මහා නාහිමිපාණන් වහන්සේ ලියූ ‘චත්තාලීසාකාර මහා විපස්සනා භාවනා ක්‍රමය ‘ ධර්ම ග්‍රන්ථයේ තිබෙන අනිච්චා දුක්ඛා රෝගා ආදි වශයෙන් ත්‍රිලක්‍ෂණය පිළිබඳ හතළිස් ආකාරයෙන් විස්තර කොට ඇති භාවනා පද උන්වහන්සේට ඇසෙන සේ සජ්ඣායනා කළෙමි” ඊළඟට සබ්බේ සංකාර අනිච්චාතී...” සබ්බේ සංඛාර දුක්ඛාතී....” “සබ්බේ ධම්මා අනිත්තාතී....” යන ගාථා තුනද කීවෙමි.
‘නායක හාමුදුරුවනේ මේ බුදු බණ අපට නිවැරැදිව දැන ගන්න ලැබුණෙ ඔබ වහන්සේ නිසයි. ඒ නිසා නායක හාමුදුරුවෝ කර ඇති ධර්මදාන පින කියල නිම කරන්න බෑ. ඒ ගැන හිතන කොට නායක හාමුදුරුවන්ට අප්‍රමාණ සතුටක් ඇති කරගන්න පුළුවන් නේ දැයි? පැවසුවෙමි. ධම්මානන්ද හිමියන් මෙසේ පැවසූ විට සයනේ සැතපී සිටි මහා හිමිපාණන් වහන්සේගේ මුවින් පෙනුනේ එය අසා සතුටු වූ බවකි.
‘අපට අවශ්‍ය වුණේ මහා නා හිමියන්ගේ සිත ත්‍රිලක්‍ෂණයට යොමුකරවීමය’
මහා නා හිමියන් රෝග පීඩාදියෙන් පෙළණු දුර්වල අවස්ථාවලදී නිබඳව පවසන්නේ මෙම ගාථාවය.

උප්පාදෝ භයං - අනුප්පාදෝ ඛේමං
උප්පාදෝ දුක්ඛං – අනුප්පාදෝ සුඛං
ඉපදීම බයයි – නූපදීම ක්‍ෂාන්තියයි
ඉපදීම දුකයි – නූපදීම සැපයයි

ඒ අවස්ථාවන්හිදී මහා නා හිමියන් පවසන්නේ ‘මාගේ සිත නිවනට යොමුකර ගැනීම තමයි මේ මා කරන්නේ ‘ කියාය.
ඒ පිළිබඳව ධම්මානන්ද හිමියන්ගේ අදහස නම් චන්දවිමල මහෝත්තමයාණන් වහන්සේ මේ අවසාන නිමේශයේදී ද තමන් වහන්සේගේ සිත ඒ ආකාරයෙන්ම නිවනට යොමුකරගත් බවය.



free counters

දහම් රස වින්දෝ