සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

ශිෂ්‍යත්වය සමත් අසංක උතුම් වූ පැවිදි දිවියට

'අම්මේ මට මුකුත් එපා මහණ වෙන්න දෙන්න'

"අම්මයි, තාත්තයි මා ගිය මඟම එන්න"



දරුවෙක්‌ මෙලාවට බිහිකරන පෘථග්ජන බොහෝ දෙමව්පියන්ගේ අපේක්‍ෂාව තම දරුවා හොඳින් උගෙන ලොකු මහත්ව සමාජයේ උසස්‌ යෑයි සම්මත රැකියාවක්‌ කොට විවාහව දරු මල්ලන් ලබා සැපවත් දිවි පෙවෙතක්‌ ගත කරනු දැකීමය. දරුවකු පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත් වීමත් සමග දෙමව්පියන්ගේ සිත් තුළ තව තවත් එවැනි සිතුවිලි වර්ධනය වේ. එහෙත් පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත්ව වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට කොළඹට පැමිණෙන දරුවකු සියලු සම්පත් අතහැර මහණ දම් පිරීමට ශාසනයට එක්‌වීමට සිදුවුවහොත් එය දෛවෝපගත සිදුවීමකි.

රත්මලාන, බොරුපන ධර්මාශ්‍රම විහාරස්‌ථානයේ දී පසුගියදා එවැනි සිදුවීමක්‌ දක්‌නට ලැබිණි. මහණ දම් පිරීමට ශාසනයට එකතු වූ මෙම සිසු දරුවාගේ ගිහිනම අසංක විඡේකෝන් නම් විය. පවුලේ එකම දරුවා ලෙස ඉපිද මූලික අධ්‍යාපනය මතුගම අගලවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් ලබා 2008 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් විය. වැඩිදුර අධ්‍යාපනය සඳහා දෙමාපියන්ද සමග රත්මලානට පැමිණ මොරටුව වේල්ස්‌ කුමාර විද්‍යාලයට ඇතුළත් විය.

අසංකගේ පියා වෘත්තීය කටයුතු සඳහා විදේශගතව සිටින අතර අසංක තම මව සමග කාලය ගත කරමින් සිටියේය. 

එහෙත් අසංකගේ සිතේ කුඩා කල සිට මහණවීමට තිබූ ආශාව මවට නිතර නිතර පැවසීම නිසා එයට එරෙහි වූ මව තම එකම දරුවාගේ මෙම ඉල්ලීම සමනය කිරීම සඳහා නොයෙක්‌ වදන් පැවසුවද ඒ හැම වදනකම අසංකගේ ඉල්ලීම වූයේ "මට මහණ වෙන්න අවසර දෙන්න" කියාය. දරුවකු ශාසනයට පූජා කිරීම උත්තම ගණයේ පුණ්‍ය කර්මයක්‌ බවට අසංකගේ මව දැනසිටියද තම දරුවාගේ ඉල්ලීම ඇයට සිත් වේදනා ගෙන දෙන්නක්‌ විය. එහෙත් ඇය මේ බව විදේශගතව සිටින පියාටද දැනුම් දුන්නාය. 
පියාගේ උපදෙස්‌ මත හෝ දාහතර වැනි වියෙහි පසු වූ අසංකගේ සිත යම් විදියකින් වෙනස්‌ වේ යෑයි සිතූ මව තම ස්‌වාමියාගේ උපදෙස්‌ පිට අසංකට නවීන පරිගණකයක්‌, පාපැදියක්‌, ජංගම දුරකථනයක්‌ ලබාදී ක්‍රිකට්‌ පුහුණුව සඳහා සවස්‌ වේලාව ගත කිරීමට ඉඩ සැලැස්‌වුවාය. 

මේ සියලු ලෞකික සැප සම්පත් ටික කලක්‌ පරිහරණය කළ අසංක ඒ සියල්ල එකින් එක අතහැර අවසානයේ තීන්දුවකට එළැඹ අම්මාට මෙසේ පැවසීය. "අම්මේ මම අද හවස ක්‍රිකට්‌ පැක්‌ටි්‍රස්‌ යන්නේ නැහැ. 


ඒ වගේම හෙට ඉඳලා පාසල් යන්නෙත් නැහැ. මට අද මහණ වෙන්න අවසර දෙන්නම ඕන" මේ වදන් මවගේ හිත පසාරු කරගෙන ගියේ හීයක්‌ මෙනි. එහෙත් එය යටපත් කරගෙන ඇයි පුතේ අපෙන් ඔයාට වරදක්‌ වූවාදැයි ඇය විමසුවාය. 

මඳ වේලාවක්‌ නිහඬව සිටි අසංක "අම්මේ මේ සියලු දේවල් තාවකාලිකයි. ඒ නිසයි මම මහණ වෙන්න ඕන කියලා අම්මට, තාත්තට නිතරම කිව්වේ. මම මහණ වුණාම අම්මයි තාත්තත් මම ගිය මඟේම එන්න" මෙම වදන් ඇසූ මවගේ හදවතට දැනුණු වේදනාව දරාගෙන සිය පියා දැනුවත් කර අසංක සංසාරේ සිට පෙරුම් පුරාගෙන පැමිණි පිපාසය සංසිඳුවාලන්නට අවසර දුන්නාය.

අසංක ශිෂ්‍යත්වය සමත්ව මොරටුව වේල්ස්‌ කුමාර විද්‍යාලයට පැමිණිදා පටන්ම සිය මිතුරන්ටද පවසා ඇත්තේ "මම පාසලෙන් ඉවත් වීමට පෙර මහණ වෙන" බවය. ඒ බව ඔහුගේ මිතුරකු වූ ඉසුරු ලක්‍ෂාන් ද සිල්වා ශිෂ්‍යයාටද ඔහු සමග සෙල්ලම් කිරීමට පැමිණි බොහෝ අවස්‌ථාවල අසංක පවසා ඇත. 

ඒ වගේම සසුන්ගත වූ දරුවාගේ මව වන හෙට්‌ටිආරච්චිගේ දොන් මානෙල් මහත්මිය තම දරුවා පිළිබඳ පැවසුවේ මෙවැනි අදහසකි. 

"මට ඉන්නේ මේ දරුවා විතරයි. දරුවා කාලයක සිටම මහණ වෙන්න ඕන කියලා කියනවා. අපි හිතුවා දරුවට තේරෙන වයස වන විට එම ඉල්ලීම නැතිව යයි කියලා. පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත්වෙලා වේල්ස්‌ කුමාර විද්‍යාලයට ඇතුළත් කරන්න තීරණය කළෙත් දරුවාගේ අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාවෙනුත් දරුවා ඉහළට යවන්න පුළුවන්කමට සහ මහණ වීමට තිබෙන සිතත් වෙනස්‌ කරගන්න හිතාගෙනයි. 

ඒත් දරුවා පාසල් ගොස්‌ පැමිණෙන සතියේ දින පහෙන් තුන හතරක්‌ "අම්මෙ මට මහණ වෙන්න තාත්තගෙන් ඇහුවද" කියල හැමදාම අහනවා. මම එතකොට, තාත්තා රට. මහන්සි වෙන්නේ ඔයාට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදෙන්න කිව්වාම ඉතින් මට මහණ වෙලත් හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා පුතා කියනවා.

ඒ වගේම මෙයා ඉගෙනීමටත් දක්‌ෂයි. දහම් පාසල ඇතුළු විවිධ ආයතනවලින් පැවැත්වූ තරග 

රැසකින් පුතා ජයග්‍රහණ ලබා තිබෙනවා. ඒත් ඉතින් එයා සංසාරේ ඉඳලා පතාගෙන ආ එම ඉල්ලීමට අපට එකඟ වෙන්න සිද්ධ වුණා.

අසංක දරුවා පැවිදි දිවියට ඇතුළත් කළ රත්මලාන ධර්මාශ්‍රම විහාරාධිපති ශාස්‌ත්‍රවේදී කිතුලේගාඩ චන්දිම හිමියෝ මෙසේ පැවසූහ.

මේ දරුවා දහම් පාසල් එන, අවුරුදු කිහිපය තුළම මම දැක්‌කා උදෙන්ම පැමිණ මල් ආසන ශුද්ධ පවිත්‍ර කර පිළිවෙළට වැඩ කරන බව. ඒ වගේම දහම් පාසලේ උගන්වන දේවල්වලට හොඳින් සවන්දී ඉතා ඉක්‌මනින් ග්‍රහණය කර ගන්නවා. කවි, කථික තරගවලින් දහම් පාසල නියෝජනය කරමින් ජයග්‍රහණද ලබාගෙන තියෙනවා. මම දවසක්‌ මේ දරුවගෙන් ඇහුවා මහණ වෙන්න කැමැතිද කියලා. සමහර දරුවෝ ඇහුවම පැනල දුවනවා. නමුත් මේ දරුවා එකහෙළාම කැමතියි කිව්වා. ඒ එක්‌කම මම අදම ගෙදර ගිහින් අම්මටයි, තාත්තටයි කියන්නම් කියලත් කිව්වා. මමවත් හිතුවේ නැහැ මෙච්චර ඉක්‌මනට මහණවෙයි කියලා. මේ මගේ පළමු ගෝල හිමිනමයි. මහණ වෙන්න පෙර පන්සලේ හිටපු දින කිහිපය ඇතුළත මම මේ දරුවා ගැන දැකගත්ත දේ තමයි රාත්‍රී 7.30 ට නිදා ගන්නවා. අලුයම 5.00 ට පිබිදෙනවා. ඒ වගේම පොත්පත් කියවීම කැපවීමෙන් කරනවා. මේ පෝය දවසෙත් පැයක බණක්‌ සිල් ඇත්තන්ට දේශනා කළා. ඒ නිසා මේ මහණ වී සිටින පොඩිනමට හොඳ අනාගතයක්‌ ඇතිවෙයි කියලා මා විශ්වාස කරනවා.

වේල්ස්‌ කුමාර විද්‍යාලයේ නමවැනි ශේ්‍රණියේ පන්ති භාර ගුරුවරයා වන එම්. ජී. ප්‍රේමතිලක මහතා දරුවාගේ පාසල් ජීවිතය පිළිබඳව බොහෝ තොරතුරු දන්නා අයෙකි. ඔහු පවසන්නේ,

"මේ දරුවා වේල්ස්‌ කුමාර විද්‍යාලයේ නමය එෆ් පංතියේ ඉගෙනුම ලැබුවා. ඉගෙන ගැනීමටත් දක්‌ෂයි. සෙල්ලම් කරන්න යනවත් ටිකක්‌ අඩුයි. පංතියේ ළමයිනුත් නිතරම කියනවා "සර් අසංක මහණ වෙන්න යනවා. එයා මහණ වෙන දවසට යාළුවන්ටත් එන්න කියනවා" කියලා. මමත් දවසක්‌ අසංකගෙන් ඇහුවා ඇයි පුතා මහණ වෙන්න යනවද? ගෙදර ප්‍රශ්න තියෙනවද? කියලා

එතකොට අසංක කිව්වා මගේ තාත්තා රට. අපිට ආර්ථික ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න නැහැ මම විතරයි ගෙදරට ඉන්නේ කියලා. එහෙම හැදිච්ච හොඳ අනාගතයක්‌ තියෙන දරුවෙක්‌ තමයි අසංක කියන්නේ. ඒ නිසයි අද අපි අසංක මහණ වෙනවා කියලා දැනගෙන විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ අවසරය ඇතිව පන්තියේ ළමයි සියලු දෙනාම එක්‌කරගෙන ආවේ.

ඉතින් අසංක නැවත ඉගෙන ගැනීමට වේල්ස්‌ කුමාර මාතාව වෙත පිය නඟන්නේ නැත. ඔහු ගිහිගෙයින් නික්‌ම ගියේ සැප සම්පත් අත්හරිමිනි. එය ඔහු අපේක්‌ෂා කළ නිර්වාන ගමන සාක්‍ෂාත් කර ගැනීම සඳහා විය යුතුය. මින් පසු දෙමව්පියන්ට හෝ මිතුරන්ට අසංක හමුවන්නේ නැත. මෙතැන් සිට ඔවුන්ට හමුවන්නේ මල්වානේ ධම්මරතන නමින් භික්‌ෂු ශාසනයට ඇතුළු වූ හිමිනමකි. 

දරුවෙක්‌ භික්‌ෂු ශාසනයට දායාද කිරීම සතර වර්ගයම නිවන් දැකීමට හේතුවේ යෑයි පැවසේ. ඒ පිංකමට අසංකගේ දෙමාපියන් දායක වී ඇත. එමෙන්ම නිවන් මඟ සාක්‍ෂාත් කිරීමට පා තැබූ ධම්මරතන සාමණේර හිමියන්ගේ අපේක්‌ෂා ඉටුවේවා යෑයි අපිද ප්‍රාර්ථනා කරමු.

මෙම පුණ්‍යකර්මය සඳහා රත්මලාන පරමධම්ම පිරිවෙනේ පුස්‌තකාලයාධිපති ශාස්‌ත්‍රවේදී හෙවෙස්‌සේ වංශානන්ද, ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ බස්‌නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලානේ ශ්‍රී විමලාරාමාධිපති/ රත්මලාන ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී කලාභූෂණ ගෞරව ශාස්‌ත්‍රවේදී තුඩාවේ පියරතන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් පැමිණ සිටියහ.


සටහන - චමින්ද සිල්වා 
ඡායාරූප - එස්‌. පී. ආරියරත්න - රත්මලාන 

2012 ඔක්තෝබර් 14 ඉරිදා දිවයින



"පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුණුව වැටුනේ"
ගීතයෙන් ඔබ හදුනන සේනානායක වේරලියද්ද ජිවිතේ අනිත්‍ය බව නිතර ගීත ගැයුවෙකි.ඔහුගේ පුතු පසුගියදා පැවිදි දිවියට ඇතුළු වුයේ ජිවිතයේ අනිත්‍යතාවය වටහාගෙන විය හැකි.එහි උපසම්පද උත්සවයෙහි සංවේගී දර්ශයකි මේ. ....



free counters

දහම් රස වින්දෝ