සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

1-5 කොටස් සඳහා


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 6

සිංහලවත් හරිහැටි නො දැන පොතක් ලිය යි

කාලය ද කෙමෙන් ගෙවී ගියේ ය. සිරිධම්ම හාමුදුරුවන්ගේ මෙන්ම පන්තියට පැමිණෙන ශිෂ්‍යයන්ගේ ද නිතර ඇවටිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් චන්දවිමල හිමි ඒ ශිෂ්‍යයන්ට අභිධර්මය ඉගැන්වීමට පෙළඹුණේ ය.
ශිෂ්‍යයන්ට මෙන්ම චන්දවිමල අලුත් ගුරුතුමාට මෙය නව අත්දැකීමකි. පන්තියට සහභාගි වූ ශිෂ්‍යයන්ට චන්දවිමල හිමියන්ගේ ඉගැන්වීම වඩාත් රුචි විය. අභිධර්මය වැනි ධර්මයේ ගැඹුරු විෂයක් ඉගැන්වීම ද එතරම් පහසු නැත. එහෙත් අලුත් ගුරුවරයාගේ ඉගැන්වීමේ රටාව සරල ය. ඒ නිසාම ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේගේ ආකර්ෂනය දිනා ගැනීමට අලුත ආ ගුරුතුමා සමත් විය. ඔවුන්ගේ අදහස වූයේ සිරිධම්ම හාමුදුරුවන්ටත් වඩා හොඳින් වඩාත් පැහැදිලි ලෙස චන්දවිමල හිමියන් අභිධර්මය උගන්වන බව ය. අභිධර්මයේ ගැටලු සහගත තැන් විසඳා ගැනීමට ලංකාවේ නන් දෙසින් ප්‍රශ්න අසා බොහෝ ලියුම් ද සිරිධම්ම හිමියන් වෙත යොමු විය. අභිධර්ම සංකීර්ණ විෂය පිළිබඳ හොඳ අවබෝධයක් චන්ද විමල හිමියන්ට තිබෙන බව සිරිධම්ම හිමියන්ට ද වැටහී තිබුණේ ය. ඒ නිසා ගැටලු වලට විසඳුම් ලියන්නට පැවැරුනේ චන්දවිමල හිමියන්ට ය. මේ නිසා අප හිමියන්ගේ අභිධර්ම දැනුම තවත් ඔපවත් විය. එහෙත් සිරිධම්ම, ගරු හාමුදුරුවන් අභිබවා යාමට චන්දවිමල හිමියෝ කිසි විටෙකත් අපේක්‍ෂා නොකළහ. ශිෂ්‍යයන් අතර මෙවන් කතා බහක් ඇතිවීම ද එතරම් සුබදායක නොවන වග චන්දවිමල හිමියන්ගේ සිතට දැනෙන්නට පටන් ගත්තේ ය.
සියුම් හෝ ගැටුමක් සිත් තැවුලක් ඇතිවීමට ඉඩක් නො තැබිය යුතු ය. ඉතින් ආරවුලෙන් තොරව සාමයෙන් හීන්සිරුවේ වෙන් වී යාම දෙපාර්ශයටම ගුණදායක බව චන්ද විමල හිමියන්ට සිතිණ.
චන්දවිමල හාමුදුරුවන් මුල් දවස් වල සිතුවේ මෙහි එන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ඉතා මහන්සියෙන් කැපවීමෙන් අභිධර්මය ඉගෙන ගන්න නිසාත් මහත් පරිශ්‍රමයෙන් පාඩම් ආදිය කරන නිසාත් ඒ අයගේ දැනුම තමාට වඩා වැඩි බවකි.
චන්දවිමල හිමියන් එතරම් මහන්සි වී ධර්ම ග්‍රන්ථ පාඩම් කර හෝ මහත් කැප වීමකින් ම ඒවා ඉගෙන ගෙනත් නොමැත. ඒත් පසුව වැටහුණේ තමාට ඒ අයට වඩා හොඳින් ධර්මාවබෝධයක් ඇති බව ය. විශුද්ධාරාමයේ නැවැතී සිටි වසර 4 ක පමණ කාලය තුළ ත්‍රිපිටක සම්පූර්ණයෙන්ම කියවීමට ද උන්වහන්සේට හැකි විය.
කෙසේ හෝ මේ සියල්ල මැද සිරිධම්ම හාමුදුරුවන්ගේ ද සිත නොරිදවා විශුද්ධාරාමයෙන් බැහැරවීමට චන්දවිමල හිමියන් ඉටා ගත්තේ ය.
මැරීගෙන නිදිවරාගෙන පාඩම් නොකළ ද වරක් කියූ දෙය මතකයේ රඳවා ගැනීමේ ධාරණ ශක්තිය, චන්දවිමල හිමියන්ගේ ධර්මය පිළිබඳ දැනුම උසස් මට්ටමක පැවැතුණු අතර ත්‍රිපිටකයේ බොහෝ ප්‍රමාණයක් කටපාඩමින් කීමේ හැකියාව ද චන්දවිමල යති චරිතයේ සුවිශේෂී ගුණයකි.
මෙසේ විශුද්ධාරාමයෙන් වෙන් වුණේ ද ඉතාම සීරු මාරුවටය. මේ විහාරස්ථානයෙන් බැහැර වී සතියක් දෙකක් වෙනත් තැනක නැවතී, නැවත පැමිණ දින දෙක තුනක් විහාරස්ථානයේ නවති යි. මෙසේ සතිය දෙක දිග් ගැස්සෙමින් විහාරස්ථානයේ හිඳින කාලය කෙටි විය. මෙසේ සම්පූර්ණයෙන්ම විහාරස්ථානයෙන් බැහැර වූයේ කිසිවකුටත් වඩාත් ඇඟට පතට නො දැනෙන ලෙස ය.
පොකුණුවිට විනයාලංකාරාරාමයට එනතෙක් තවත් විහාරස්ථාන කීපයක නවාතැන් ගැනීමට චන්දවිමල හිමියන්ට සිදු විය.
පානදුර වැල්ලබඩ පන්සල, කළුතර කුමාරිකන්ද පන්සල, බොල්ගොඩ බෝධිරුක්‍ඛාරාමය මේ විහාරස්ථාන අතරින් කීපයකි.
පානදුර වැල්ලබඩ පන්සලේ අවුරුද්දක් හමාරක් නැවතී සිටි කාලයේ ‘ ධර්ම ශ්‍රී’ නම් වූ සඟරාවට ‘නිර්වාණය’ පිළිබඳව ලිපියක් ලීවේ එහි සංස්කාරකවරයාගේ ඉල්ලීමක් නිසා ය. ලිපිය ඵලවීමෙන් පසුව එය විවේචනය කර කවුරුදෝ ගිහි මහතකු විසින් පිළිතුරු ලිපියක් එම සඟරාවට ලියන ලදී.
එය නිරවද්‍ය නොවන නිසා වැරදි නිවැරදි කිරීමට තවත් ලිපියක් ලියන්නට චන්දවිමල හිමියන්ට සිදු විය.
මෙසේ ලිපි කීපයක් සඟරාවේ ඵල වෙද්දී චන්දවිමල හිමියන්ට මෙසේ සිතිණි.
“ මේ විදියට දිගෙන් දිගට ලිපි ලිවීමෙන් කිසිම තේරුමක් නෑ. මේ ධර්ම කරුණු හොඳින් පහදා දීමට පොතක් ලිවිය යුතු යි” එම අදහස පල දරමින් ‘නිර්වාණ විනිශ්චය’ යන පොත ඵල වුණේ එවන් පසුබිමක් යටතේ ය.
මේ වනවිට චන්දවිමල හිමියන්ගේ වයස අවුරුදු 29ක් පමණ ය. තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් ආධුනිකයකු වශයෙන් තමාගේ කුළුදුල් ප්‍රයත්නය මෙවන් සංකීර්ණ විෂයක් පාදක කර ගනිමින් ලිවීම ද එක්තරා අභියෝගයකි. එහෙත් තමා තුළ පවතින ධර්මය පිළිබඳ නිසි අවබෝධය තම හෘද සාක්‍ෂියට විස්වාස බැවින් චන්දවිමල හිමියන්ගේ තරුණ බව හෝ ආධුනිකත්වය හෝ ‘ නිර්වාණ විනිශ්චයට’ ගැටලුවක් නොවී ය.
විශේෂයෙන් අද පාරිභෝගික සමාජයේ බහුතරයක් ආගම ධර්මය අඩංගු කරමින් ජනප්‍රිය මාතෘකා සපයමින් ඵල කරනා පොත් කදිම අළෙවි භාණ්ඩ බවට පත්වී තිබේ.
ලේඛකයාගේ අධ්‍යාත්මය සුපෝෂිතව නොමැති වුවත් ලේඛණයේ හරඹ ශිල්ප පා සැකැස්ම සාදා පිටු අලංකාර කිරීමට පුළුවන. නිසි අවබෝධයකින් තොරව පාඨකයා අතර පත්වෙන වැරදි කියැවීමෙන් ඔවුහු බහුතරයක් සත්‍ය හා මිත්‍යාව අතර අතර මං වෙති. එවන් තැනක සිට විමසන විට චන්දවිමල හිමියන් ලියා පළ කර ඇති සද්ධර්ම පුස්තක පෙළ සුවිශේෂී වෙයි. එම පුස්තක පුස්කමින් එක තැන ගොඩ ගැසි නො මැත. සදහම් පිපාසයෙන් පෙළෙන දනන්ගේ සුරත් මත ගෞරවාන්විතව රැඳී තිබෙ යි. පරිශීලනය කෙරෙ යි. සරල දැනුමක් ඇති ගිහියාගේ සිට ගැඹුරෙන් ධර්මය විමසන හිතට ද මෙය එකසේ ප්‍රයෝජනවත් ය. ශාසනික සමාජ මෙහෙවරෙහි නියුක්ත වූ ග්‍රාමවාසී, නගරවාසී භික්‍ෂූන් වහන්සේගේ සිට සංසාර විමුක්තිය සොයා මඟට පිළිපන් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙත ද චන්දවිමල හිමියන්ගේ සදහම් පොත් පෙළ මඟ හසර අඳුර දුරලන ප්‍රදීපස්ථම්භ සේ ය.
රේරුකානේ චන්දවිමල මහා යතිවර නාමය හා බැඳෙන ප්‍රබල ලේඛණ සන්නිවේදන භූමිකාව මත එදා මෙන්ම අදත් මතුවටත් මේ සදහම් පහන් වැට දැල්වී දිදුල යි. ලාංකේය ලේඛණ ධර්ම සන්නිවේදනයේ මේ ප්‍රබල ධර්මග්‍රන්ථ පෙළ දන හද ධාරණ මණ්ඩපය තුළ හෙටත් මතුවටත් ගෞරවාන්විතව වැඩ වසයි. රේරුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධ ධර්ම ග්‍රන්ථ ලේඛන ගමන් මඟ පහන් කන්ද තරණය කිරීමේදී එහි පළමු පියගැටය බැන්දේ ‘නිර්වාණ විනිශ්චය’ නමැති පොත ලියා ඵල කිරීමෙනි.
පෙර සඳහන් කළ පරිදි අවුරුදු 29 ක් වැනි තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් ව්‍යවහාර වර්ෂ 1926 දී එනම් මීට වසර 87 කට පෙර ලියා පාඨකයා අතට පත් කළ ‘නිර්වාණ විනිශ්චය’ පිළිබඳව රේරුකානේ හිමියන්ම පසු කලෙක කළ ස්වයං කථනයෙහි සුළු විවේචනාත්මක ස්වරූපයක් ද දක්නට ලැබේ. තමා කළ පමණින් සියල්ල සර්වතෝභද්‍ර නො වන බවත් එහි ඇති සුළු හෝ අඩුපාඩුවක් ඇත්නම් ඒ පිළිබඳව තුළනාත්මක සිිතින් විමසීමට තරම් උන්වහන්සේ නිහතමානී වීමත් තුළ මෙවන් බහුශ්‍රැත යති චරිතයක උසස් ගුණය පසක් කරගත හැකි වේ. උන්වහන්සේ ඒ පිළිබඳව කියූ කියුම් මුවින් පිටවූ ආකාරයෙන්ම පිටපත් කර තැබීමට අද අපට නො හැකි ය. චන්දවිමල මා හිමියන්ගේ උණුසුමෙහි තම භික්‍ෂු ජීවිතය පෝෂණය කරගත්, උන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ කිරිඔරුවේ ධම්මානන්ද වැනි සඟ සසුන අදත් ශොභාවත් කරනා සුපේශල භික්‍ෂූන් වහන්සේ ලියූ සටහන් තුළින් ද රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය ලියූ දර්ශන විශාරද ඉත්තෑපාන ධම්මාලංකාර අනුනායක සංඝ පීතෘන් වහන්සේ වැනි උසස් භික්‍ෂූන් වහන්සේලාගේ ගෙන හැරපෑම් තුළින් ද චන්දවිමල මහා නා හිමියන් පළ කළ අදහස් මේ යැයි පෙරළා ඵල කිරීම පමණක් අපට කළ හැකිය.
ඒ අනුව පැවසුවහොත් ‘නිර්වාණ විනිශ්චය’ පොත ලිවීම පිළිබඳව චන්දවිමල හිමියන්ගේ මුවින් පිළිපන් වදන් එලෙසම නො වූව ද, අදහසේ අර්ථය, මෙසේ කැටි කර දැක්විය හැකි වේ.
“ඇත්තෙන්ම නිර්වාණය වැනි ගැඹුරු දහමක් විමසීම සරල කාරණයක් නොවෙයි. ඒ නිසාම මෙම පොත ගැඹුරු කරුණු අඩංගු පොතක් වුණා” “කොටින්ම නිර්වාණය ගැඹුරු දහමක් තේරුම් ගැනීම අපහසු කාර්යයක්. ඒ වාගේම මෙය තේරුම් කරදීමට ධර්මයට උචිත සුදුසු වචන යොදා පැහැදිලි කිරීම ද එතරම් පහසු දෙයක් නොවේ” “මේ කාලය වනවිට මගේ සිංහල දැනුමත් එතරම් ප්‍රශස්ත මට්ටමක තිබුණේ නැහැ.
“මේ වකවානුවේ මා සිංහල දැනුම වැඩි දියුණු කර ගත්තේ ‘ ජාතක පොත’ ‘ සද්ධර්ම රත්නාවලිය’ ‘පූජාවලිය’ වගේ පොත් කියවලා. ඒ නිසා ‘ නිර්වාණ විනිශ්චය’ ලිවීමේ දී ඒ ආභාෂය පොතටත් කාන්දු වුණා වෙන්න පුළුවන්. ඒ නිසා මා හිතනවා මාගේ අනෙක් පොත් වගේ මෙම පොතේ භාෂාව සරල නොවේය කියා. නිර්වාණ විනිශ්චයේ මා යොදා ඇති වචන ආසන්න වශයෙන් එවකට මා පරිශීලනය කළ පොත්වල තියෙන පැරැණි වචනවලට සමානැයි කියා මට හිතෙනවා. “ඒ නිසාම නිර්වාණ විනිශ්චය’ තුළින් මතුවන ඒ භාෂාව ඒ පොතෙන්ම මා අවසන් කළා. මාගේ අපේක්‍ෂාව වුණේ ‘ නිර්වාණ විනිශ්චය’ එම මුල් මුද්‍රණයෙන් පසුව නැවත ඵල නො කිරීමට යි”

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 7

කිසිදා නොනිමෙන පහන් වැටක්

මාගේ අකමැත්ත මත මේ ළගකදී ‘නිර්වාණ විනිශ්චය’ පොත නැවත මුද්‍රණය කරළා තිබෙනවා. මා පසුව ලිව් ‘පටිච්චසමුප්පාදය’ කියන පොතේ ‘නිර්වාණ විනිශ්චය’ ගැන හොඳ විස්තරයක් ඉදිරිපත් වී තියෙන නිසා ඉහත පොතින් වැඩි අවශ්‍යතාවයක් පිරිමැහෙන්නේ නැහැ”.
චන්දවිමල හිමියන් තමාගේ කුළුඳුල් ග්‍රන්ථය පිළිබඳව තම අදහස් එසේ ඵල කර සිටියද 2004 වසර වනවිට එහි පස්වන මුද්‍රණය ද එළිදැක්වි ඇත. 2013 වසර වනවිට තවත් මුද්‍රණ කීපයක් ඵලවුණා දැයි නො දන්නා නිසා ඒ පිළිබඳ නිවැරදි දත්තයන් පැවැසීමට නොහැක. රේරුකානේ මා හිමියන් පවසන පරිදි විෂය සංකීර්ණ වුව ද, ලේඛණය සරල නො වුන ද, සදා සත්‍ය වූ බුදු දහම එම පොතෙහි විකෘති වී නොමැති බවට මට වඩා පියවර කීපයක් ඉදිරියෙන් සිටින බහුශ්‍රතයන් වියතුන් සාක්‍ෂි දරනු නියත ය. ඒ නිසාම අදත් එම පොත මළ පොතක් නොවී මේ සමාජයේ ජීවමානව පවතී. මේ සුවිශේෂී යතිවරයාණන් වහන්සේගේ විශිෂ්ටතාවයේ ලකුණ මුල් පොතෙන්ම විදාහරණය වීමෙන් හැඟී යන්නේ රේරුකාණේ චන්දවිමල පුස්තක ලේඛණ සන්නිවේදනයේ විශිෂ්ටත්වය බොදු දන මන හද හා මොනතරම් නම් ගෞරව බහුමානයෙන් අදත් යහපත පෙරදැරි කරගත් ගණුදෙනුවක නියැලී ඇති සැටි නොවන්නේ ද?
එසේම ග්‍රන්ථ කර්තෘවරයකුට සියලු හිමිකම් කර්තෘ සතු යැයි තමා ඵල කළ පොතක අයිතිය තරයේ තමා සන්තකයේ තබා ගැනීම නීතියෙන් ද වලංගු සාධාරණත්වයකි. එවැනි අල්ලා ගැනීමක් පිළිබඳව ධර්මයෙන් විමසුවහොත් එය තණ්හාවකි. උත්සන්න වූ මමායනයකි.

ධර්මය පිළිබඳ පොත් පත් ලියන භික්‍ෂූන් වහන්සේ මෙන්ම උගත් ගිහි සමාජයේ ඇත්තන් ද එහි අයිතිය තමා සන්තකයේ හෝ එය ඵල කරන ප්‍රකාශන සමාගමේ අයිතියට නතු කිරීම නීතියෙන් ද වලංගු වේ. එය අසාධාරණයක් ද නොවේ.
එහෙත් මෙම අයිතිය පිළිබඳව චන්දවිමල මා හිමියන්ගේ විග්‍රහය සම්මුති අයිතියෙන් ඔබ්බට ගිය යතාර්ථවාදී සත්‍යය පිළිබඳව අපට ගැඹුරෙන් හිතන්නට යමක් ඉතිරි කර තබා තිබේ. මමය මාගේ යන බැඳීමෙන් තොර පරාර්ථකාමී අධ්‍යාත්මික ගුණය එම විග්‍රහයෙන් ඉදිරිපත් කෙරෙයි.
“මා පොත් ලීවේ මුද්‍රණය කරළා විකුණලා මුදල් හම්බ කරගෙන පෝසත් වීමේ අරමුණෙන් නොවේ. මගේ පොතක් වෙන කෙනෙක් මුද්‍රණය කළාට මගේ පොත්වල කොටස් උපුටා ගත්තාට, මගේ නමත් මකලා වෙන කෙනෙකුගේම නමින් මුද්‍රණය කළාට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ. ඒක නීති විරෝධී වුණාට මගෙන් නම් තහනමක් නෑ.”
හිතා බලන්න ග්‍රන්ථකරණයේ යෙදෙමින් සම්භාවනාවට පාත්‍ර වූ වෙනත් කර්තෘවරයකුගේ මුවින් මෙවන් ප්‍රකාශයක් පිට වේවි ද ?
උන්වහන්සේගේ සිතිවිලි වදන් හොඳින් විමසීමෙන් හැඟී යන්නේ සාමාන්‍ය පුද්ගලයකුට වඩා චන්දවිමල මාහිමි චරිතය අධ්‍යාත්මික පෝෂණයෙන් ඉහළ තලයකට පත්ව තිබූ බවක් නොවේ ද ?
උන්වහන්සේ වසර 29 වයසේ දී නිර්වාණ විනිශ්චය නම් පොත ලියා ඵල කළේ සිංහල භාෂාව පිළිබඳව පුළුල් අවබෝධයකින් තොරව බව පෙරදී ද සඳහන් කළෙමි. ඒ නිසාම එහි භාෂාව සරල නොවූ බව චන්දවිමල හිමියන් ම ප්‍රකාශ කර තිබේ.

චන්දවිමල මා හිමියන් වැඩ වාසය කළ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය
එය එසේ වූවත් බුරුමයේ දී ලබා ගත් දහම් අධ්‍යාපන දැනුම උන්වහන්සේගේ සාර්ථකත්වයට විශාල බලපෑමක් කරන්නට ඇතැයි සිතිය හැකිය.
මහා නාහිමියන් වරක් පැවසූ පරිදි “බුරුමයේ ඇත්තෝ උපසම්පදා විනය කර්මය ඉතා හොඳින් සිදු කරති. ඒ ඇත්තන්ට ශික්‍ෂා පද පිළිබඳව ඇත්තේ පුළුල් අවබෝධයකි.” උන්වහන්සේ මෙසේ ද පවසති “අපේ රටේ සමහර ඇත්තන් ශික්‍ෂාපද පිළිපැදීම තියා ඒ ශික්‍ෂාපද ටිකවත් හරියට දන්නේ නැහැ.”
බුරුම රටේ දී වස් කාලය අවසන් වේගෙන යන වේලාවේ දී භික්‍ෂූන් වහන්සේ සඳහා විභාගයක් පවත්වති. එය තනිකරම කටපාඩම් දීමේ විභාගයකි. “උභය ප්‍රාතිමෝක්‍ෂයය,” බුද්ධ සික්ඛා, මූල සික්ඛා වැනි පොත් සම්පූර්ණයෙන්ම කටපාඩම් ගැනෙති. චන්දවිමල හිමියන් ද එම විභාගයට පෙනී සිටිමින් මුලින්ම පාඩම් දුන්නේ උභය ප්‍රාතිමෝක්‍ෂය. එසේ බුරුම දේශයේ ලිඛිත විභාග මෙන්ම කටපාඩම් ගැනීමේ විභාග මනාසේ සකස් වී තිබීම ඉතාම සුදුසු ක්‍රමයක් බව මහා නා හිමියන්ගේ අදහස යි. උපතින්ම රැගෙන ආ ධාරණ ශක්තිය නිසා මෙසේ කටපාඩම් දීමේ විභාගය උන්වහන්සේට එතරම් ගැටලුවක් නොවී ය.
බුරුමයේ දී ලද මේ පුළුල් අධ්‍යාපනය උන්වහන්සේගේ ජීවිතයට ආලෝකයක් වූවාට සැක නැත.
චන්දවිමල මා හිමියන් ලියූ පොත් පෙළෙහි අගය රුපියල් ශත වලින් මිල කිරීමට නොහැකි ය. උන්වහන්සේ අපවත් වී බොහෝ කලක් ගත වී තිබුණ ද ඒවා අදත් තොග වශයෙන් මුද්‍රණද්වාරයෙන් එළි දකි යි. ලාංකේය බිමේ වෙනත් කිසිදු භික්‍ෂූන් වහන්සේ නමක් මෙවන් අගනා පොත් පෙළක් ලියා ඵල කර තිබේදැයි මාගේ දැනුමේ තරමට නම් සැක සහිත ය.
පොතක් ලියූව ද ඒවා බහුතරයක් පළමු මුද්‍රණයෙන්ම අවසන් ගමන් යන්නේ දෙවැනි මුද්‍රණයකට යෑමට තරම් පාඨකයන්ගේ ප්‍රසාදයක් නොමැති වීම නිසා ය.
මෙහි ඇති සුවිශේෂී දුර්ලභ කරුණ වන්නේ චන්දවිමල මහා නා හිමියන්ගේ අතින් ලියැවුණු පොත් පෙළ එකකට එකක් නො දෙවෙනිව අඛණ්ඩව අදත් ප්‍රකාශයට පත්වීමෙන් පැවැතීම ය.
උන්වහන්සේ අතින් ලියැවුණු ග්‍රන්ථයන් මුද්‍රණද්වාරයෙන් එළි දකින්නේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ ඇති ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලයේ ප්‍රකාශන අයිතියෙනි.
මාගේ පොත් රාක්කයේ ඇති ‘චතුර්රාය සත්‍යය’ පොත පෙරළා බැලුවෙමි. මා එය මිලට ගෙන ඇත්තේ 2004 වසරේදී ය. එනම් මීට වසර 05 කට පෙරය. 2004 මුද්‍රණය වන විට ‘චතුරාර්ය සත්‍ය’ පොත 18 වාරයක් මුද්‍රණය වී තිබේ.
එසේම පොත් රාක්කයේම ඇති ‘බෞද්ධයාගේ අත්පොත’ 2003 වසර වන විට 14 වාරයක් ද ‘ශාසනාවතරණය’ 2002 වසර වන විට 8 වාරයක් ද මුද්‍රණද්වාරයෙන් එළි දැක් වී ඇත. ‘බුද්ධ නීති සංග්‍රහය’ ද 2005 වසරේ දී නිකුත් වී ඇත්තේ 8 වන මුද්‍රණය යි. ‘පුණ්‍යෙීපදේශය’ 2003 වසර වන විට එළි දක්වා ඇති වාර ගණන 9 කි. 2013 වසරට මා නො පැමිණ ඉහත වර්ෂ සඳහන් කළේ මා සතුව ඇති පොත් කීපයේ මුද්‍රණ වර්ෂ සලකමිනි. 2013 වසර හා සසඳා බැලුවේ නම් ඔබ තවත් විශ්මයට පත් වනු නියතය.
මෙසේ පොත් කීපයක් පිළිබඳව සඳහන් කළ ද සමස්තයක් වශයෙන් මේවායේ ඇති වටිනාකම කොතරම් දැයි ඔබට හැඟීමක් ඇති කර ගැනීමට පුළුවන. ඒ පොත් පෙළ පසුබිම වසාගෙන සිටින චන්දවිමල හිමියන්ගේ සුවිශිෂ්ටත්ව පිළිබඳ ද මේ සමගම හැඟීමක් ඇති කර ගැනීම පහසු ය. මෙසේ විමසා, සලකා බලද්දී රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ ලේඛන කෞෂල්‍යයත්, සරල ලේඛන ශෛලියත්, ඒ ග්‍රන්ථයන්හි අන්තර්ගත බෞද්ධ ධර්මයේ ඇති නිරවද්‍ය බවත්, එසේම ඒවා කුදු මහත් කාගේත් ජීවිතයට මොනතරම් නම් පිටි වහලක් වී ඇති ද යන බවත් හැඟෙයි. මෙම පොත් පෙළ නිවසකට අරණ්‍යයකට විහාරස්ථානයට පොදු පුස්තකාලයට නැතිවම බැරි අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී තිබේ. මෑතක නොව ඈතක වුව ද මේ තරම් සදහම් කරුණු ඔස්සේ මානව ප්‍රජාවේ මනස් සන්තානයට සමීප වී, ජීවිත හා යා වී, ඒ ජීවිත යහගුණයෙන් පරිපූර්ණය කිරීම උදෙසා උතුම් සම්බුදු දහම මෙතරම් ජන හදවතට සමීප කළ පොත් පෙළක් තවත් ඇත්දැයි සිතීම පවා අපහසු ය.
මෙම කාර්යය උන්වහන්සේ කළේ නිස්සරණාධ්‍යාසයෙන්ම ය. ලාභාපේක්‍ෂාවෙන් තොරවය පිවිතුරු වූ සිතින්ම ය. පාණ්ඩිත්‍යය විදහා දැක්වීමට හෝ වාර්තා තබා උදම් ඇනීමට ද නොවේම ය.
සදහම් දැනුම පිළිබඳ පුළුල් අවබෝධයත් සමඟ මෙසේ ඵල වූ පොත් පෙළින් මිනිස් සන්තානයේ පවතින අඳුර දුරලන බව ඒකාන්ත ය. මෙම පහන් වැටේ එළිය කිසිදා නොනිමෙන්නේ නැවත නැවතත් මෙම ධර්ම පුස්තක වෙනුවෙන් මුද්‍රණයන්ත්‍රය ක්‍රියාත්මකව පවතින බැවිනි. එය හෙටත් මතුවටත් එසේම ය. මෙය විරළ සිදුවීමක්ම ය.
රේරුකානේ චන්දවිමල හිමියන්ගේ සුවිශේෂිතා මෙම පොත් පෙළ පානා පෙළහර මතින් විද්‍යාමාන නොවන්නේ ද? ඒ ඔස්සේ සිතන විට හැඟෙන්නේ සාමාන්‍ය මිනිසකුගේ කුසලතාවය ඉක්මවාගිය අසාමාන්‍යතාවයක් මේ මහා යති චරිතය තුළ රැඳී පැවැතුණු බවක් නොවන්නේ ද?.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 8

භික්‍ෂූත්වයේ උදාරත්වය

පසු කලෙක දී රේරුකානේ හිමියන් වඩාත් ප්‍රචලිත වූයේ ග්‍රන්ථකරණයෙ නියැලීමෙන් නිරායාසයෙන් ලැබුණු කීර්තිය නිසා ය. මේ සා මහත් කාර්යයක් සඳහා අත පෙවීම ඒ යුගයේ හැටියට තරමක අපහසු කාර්යයකි.
එහෙත් දෙමටගොඩ විසුද්ධාරාමයේ වැඩසිටි අරංගල සිරිධම්ම භික්‍ෂූන් වහන්සේගේ ආරාධනය මෙතනදී අමතක කළ නො හැක. උන්වහන්සේ පවසා සිටියේ බුරුම දේශයේ එම භාෂාවෙන් ධර්මය පිළිබඳව ඉතා වටිනා ග්‍රන්ථ ලියැවී තිබෙන බවත් විශේෂයෙන් අභිධර්මය පිළිබඳ ග්‍රන්ථ ඒ අතර වන නිසා ඒ විදියට සිංහල භාෂාවෙන් වටිනා පොත් ටිකක් ලිව්වොත් ප්‍රයෝජනවත් වේ යැයි කියා ය. මෙම ආරාධනය රේරුකානේ හිමියන් ට ග්‍රන්ථකරණයට පිවිසීමට යම් උත්තේජනයක් සැපයූවා විය හැකි ය. චන්දවිමල හිමියන් විසුද්ධාරාමයෙන් වෙන් වී ගිය ද සිරිධම්ම හාමුදුරුවන්ගේ මෙම ආරාධනය ඵල දැරූ අතර උන්වහන්සේ සමඟ වූ සම්බන්ධය ද දිවි තෙක් නොපිහිරිහී පැවැතුණි.
ඒ අතරේ වසරක පමණ කාලයක් කළුතර කුමරිකන්ද පන්සලේ වැඩ වාසය කළ අතර එතන වස් කාලයද ගත කළේ ය. බොල්ගොඩ පන්සලෙහි ද සෑහෙන කාලයක් වැඩ විසූ චන්ද විමල හිමියෝ එම විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද වෙහෙස වුනහ.
කිරිවත්තුඩුව ප්‍රදේශයේ රාමඤ්ඤ නිකායට අයත් විහාරස්ථානයක ද ටික කළක් විසූ රේරුකානේ හිමියන් මේ කාලය තුළ විහාරස්ථාන කීපයක වසර 10 ක් පමණ කල් ගත කළහ. එම වකවානුවේ විනයාලංකාරාරාමයේ විහාරාධිපතින් වහන්සේ වූයේ රේරුකානේ හිමියන් සමඟම සසුන්ගත වූ අග්ගධම්මාලංකාර භික්‍ෂූන් වහන්සේ ය. උන්වහන්සේ අපවත් වූ බැවින් තම මහණ වූ විහාරස්ථානයට පැමිණෙන්නට චන්දවිමල හිමියන්ට සිදු විය.
ඒ වන විට විනයාලංකාරාරාමයේ වැඩසිටියේ පොඩි උන්නාන්සේලා කීප නමක්, පමණි. ගොඩිගමුවේ සෝරත, හේනේගම කල්‍යාණසිරි, කල්එළියේ සුමංගල, ගැලණිගම ගෝවින්ද හිමිවරු ඒ අතර වූහ. ඒ අයට මාර්ගෝපදේශකත්වයක් දීමට ගුරු හිමි නමක් නොමැති වුවහොත් ඒ අය අතරමං වේ යැයි හැඟුණ නිසා චන්දවිමලහිමියෝ පොකුණුවිට විනයාලංකාරාරාමයට සපැමිණිමට තීරණය කළහ.
විසුද්ධාරාමයෙන් වෙන් වී තවත් විහාරස්ථානයන්හි වැඩ වසමින් අවසානයේ, තමා මහණ වූ, තමාට වඩාත් සමීප වූ, හුරු පුරුදු වූ විනයලංකාරාරාමයට චන්දවිමල හිමියන් සපැමිණීම ඔස්සේ පෙළගැසී තිබුණේ අයිතිවාසිකම, විහාරාධිපතිකම තම අණසක පිහිටුවීම වැනි ආත්මාර්ථකාමී හැඟීමක් නොවේ. ශිෂ්‍ය පිරිසට පියකුගේ අවශ්‍යතාවය පිරිමැසීමේ පවිත්‍ර චේතනාවය. අයිතිවාසිකම් වුවමනා වූවා නම් බුරුමයේ සිට පෙරලා මව්බිම වෙත පැමිණ මුලින්ම පිවිසෙන්නේ විනයාලංකාරාරාමය වෙත ය. ඒ ආගමනය පිළිබඳව චන්දවිමල මහා නා හිමියන් ප්‍රකාශ කරන්නේ මෙසේ ය.
“මුල් කාලයේ පන්සල්වල ඉඳීමේ අදහසක් මට තිබුණේ නෑ. ආරණ්‍යයකට වෙලා බණ භාවනාවෙන් කල් ගෙවීමටයි හිතාගෙන හිටියෙ. එහෙම ආරණ්‍ය දෙක තුනකටත් මන් ගියා. නමුත් මට ඇති වෙච්ච අසනීපකම් නිසා ඒ අදහස් අත්හැරලා පන්සලටම ආව. ඉතින් එහෙම අදහස් වෙනස් වෙනවනේ. මුල සිටම මගේ ආශාව වුණේ මේ උතුම් ධර්මය හොඳට දැන ඉගෙන ගන්න ඕනෑ කියන එකයි. සසරෙන් එතෙර වීම සඳහා කටයුතු කිරීම යි. සසරෙන් එතෙර වීම සඳහා කටයුතු කිරීමයි මට වුවමනා කළේ. නමුත් ඉතින් පන්සලකට වෙලා බණ දහම් කියමින් පොත් පත් ලියමින් වෙනත් ආගමික වැඩසටහන් වලටත් යමින් එමින් කොහොම ද ඒ සඳහා කටයුතු කරන්නේ. පුළුවන් තරමින් බණ භාවනාවක යෙදෙමින් කල් ගෙවනවා. සියලු කටයුතු වලට සහභාගී වෙමින් බණ භාවනා සඳහාත් එක්තරා ප්‍රමාණයකට කාලය ගත කළා. මුළු කාලයම ඒ සඳහා යොදා ගත්ත නම් හොඳයි කියලත් දැන් හිතෙනවා.”
ඇත්තෙන්ම චන්දවිමල මාහිමියන්ගේ මෙවන් ප්‍රකාශ විමසිල්ලෙන් සිතා බැලිය යුතුව තිබේ. උන්වහන්සේට විශේෂයෙන් පොත් පත් ලිවීමට ප්‍රබල අවශ්‍යතාවක් නොවුණු බව ඉහත ප්‍රකාශයේ ඇතැම් තැනකින් පෙනේ. උවමනාවෙන්ම සිතා බොහෝ ඇත්තන් පොත් ලියන්නේ තම අභිමානය ප්‍රදර්ශනය කිරීම උදෙසා ය. පොතක් ලියා ජනපි‍්‍රයවීමේ අභිලාශයෙන් ය. නිරායාසයෙන් තමා වෙත ලැබෙන අගැයීමට වඩා ආයාසයෙන් තමා වෙත අවධාරණය යොමු කරවා ගැනීමේ හැඟීමෙන් ය.

චන්දවිමල මහා නා හිමි වැඩ සිටි ආවාස ගෘහය
එහෙත් මෙවන් කිසින් ලෞකික අපේක්‍ෂාවන් හඹා නොයමින් දෛවයේ හාස්කමකින් මෙන් රේරුකානේ චන්දවිමල මා හිමියන්ගේ පොත් පෙළ උන්වහන්සේ වෙතින් නිසරධ්‍යාසයෙන්ම ලියවුණේ අප කාගෙ කාගෙන් භාග්‍යයකට ය. එසේම ග්‍රාමවාසී වෙමින් වගකීම් දරමින් ආධිපත්‍යය පතුරුවාගෙන සිටීමට කොහොත්ම උන්වහන්සේ කැමැත්තක් නොතිබුණු බව ඉහත ප්‍රකාශයෙන් සනාථ වෙයි. එමෙන්ම චන්දවිමල මා හිමියන්ගේ ඒකායන අරමුණ වී තිබුණේ සැබෑ භික්‍ෂු ජීවිතයෙන් ලබා ගත හැකි උපරිම ඵලය වූ සංසාර විමුක්තිය සොයා යාමය. ඒ යන ගමනට බාහිරව තවත් වගකීම් පැටවෙන්නේ නම් ඒවා වැට කඩුලු සේ බාධාවන්මය.
ඇත්තෙන්ම ගිහිගෙයින් නික්මෙන මොන වයස් මට්ටමක මොන තරා තිරමක අයකු වුවත් කාශාය වස්ත්‍රයක් පොරවා රැවුල කෙස්ස බා භික්‍ෂු සමාජයට ඇතුල් වන්නේ කුමන පරමාර්ථයෙන්දැයි රේරුකානේ චන්දවිමල මා හිමියන්ගේ ‘ශාසනාවතරණය’ පොතෙන් ම පැහැදිලි කිරීමක් ලබා ගත හැකි ය.එහි මෙසේ දක්වා දක්වා තිබේ. “සකල දුක්ඛයන්ගේ නිවී නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි.” උපාධ්‍යායයන් වහන්සේ ඉදිරියේ පැවිදි බිමට ඇතුල් වන තැනැත්තා පාලියෙන් පවසන වාක්‍යයේ සිංහල තේරුම එසේ ය. එසේනම් භික්‍ෂූන් වහන්සේගේ ඒකායන අරමුණ විය යුත්තේ නිර්වාණය සාක්‍ෂාත් කර ගැනීම නොවන්නේ ද?
භික්‍ෂූවගේ භූ®මිකාව පිළිබඳ සැලකීමේදී රේරුකානේ් චන්දවිමල හිමියන් මෑත යුගයේ භික්‍ෂු සමාජය සුපෝෂිත කළේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සංඝ පීතෘවරයකු ලෙස ය.
අද සමාජය පරිහානියට පත්වී ඇති තත්ත්වයක් තුළ ඊට අනුගතවූ සමාජ ආර්ථික දේශපාලන මෙන්ම සංඝ සමාජ යේද ප්‍රගමනයට වඩා දැක ගැනීමට ලැබෙන්නේ අවරෝහණයකි.
මෙවන් තත්ත්වයන් තෝරා බේරා ගනිමින් නිසි මඟට පිවිසීමට අවැසි වාතාවරණයට තවමත් ඉඩ නැතිවා නොවේ. මෙවන් උතුම් යතිවරුන් වහන්සේලාගේ ජීවිතය කියැවීමෙන් ඒ උතුම් චරිතාපදානයන් ගේ ආදර්ශයන් ගනිමින් අපගේ දිවි මඟට ද ආලෝකයක් උදාකර ගත හැකි වෙයි.
ඒ නිසාම මෙවන් වකවානුවක එවන් භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිත පුවත් විමසා බැලීම වඩාත් යෝග්‍ය යැයි සිතෙයි.
දේශපාලන ආර්ථික වාසි , ගරු නම්බුනාම සම්මාන පිටුපස හඹා නොයමින් විහාරස්ථානය වෙත එන රජතුමාටත් හිඟන්නාටත් එකසේ සලකමින් ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලමින් නිරාමිස සුවයෙන් සැහැල්ලුවෙන් අල්පේච්ඡතා ගුණයෙන් පරිපූර්ණ වූ මෙවන් උදාර මිනිසුන් මව්බිමේ සම්පත් ය.
රේරුකානේ මා හිමියන් ලිය ඵල කළ පොත් අතර උන්වහන්සේ වඩාත් රුචි කරන පොතක් වූ ‘ශාසනාවතරණයේ’ ‘ගිහිසැපය හා පැවිදි සැපය’ යන මාතෘකාව යටතේ -මෙසේ සඳහන් කර තිබෙ යි. ‘නගර ග්‍රාමවල ක්‍රමානුකූලව තැනූ ඉඩකඩම් ඇති ලස්සන ආවාස ගෘහ වල වෙසෙන උසස් ඇඳ පුටු මේස ආදී භාණ්ඩ පරිභෝග කරන, ප්‍රනීත ආහාරපාන ලබන මහජනයාගෙන් ගරු බුහුමන් පැසසුම් ලබන උසස් රථවලින් ගමන් කරන උසස් තනතුරු දරන සියල්ල කරදෙන සේවකයන් ඇති, පැවිද්දෝ ද වෙති. ගරුබුහුමන් පැසසුම් මද වුව ද හොඳ වාසස්ථාන ඇති, කෙත්වතු ඇති යාන වාහන ඇති බොහෝ මිල මුදල් ඇති පැවිද්දෝ ද වෙති. ඔවුහු එක්තරා සැපයක් ලබන්නෝ ය. එහෙත් ඔවුන් ලබන සැපය පැවිදි සැපය නොවන බව කිව යුතු ය”. අයත්කර ගෙන ඉන්නා වස්තූන් අඩුවන තරමට පැවිදි සැපය වඩ වඩා ලැබෙන්නේය “
“පැවිදි සැපය ලබන්නට නම් ලද දෙයින් සතුටු වන්නට පුරුදු කර ගත යුතු ය.එය උසස් ශ්‍රමණ ගුණයකි. පන්සල් කෙත්වතු මිල මුදල් තනතුරු ආදිය පැවිද්දකුගේ උසස්කම මනින මිනුම් නොවේ”
“පැවිද්ද මැනිය යුත්තේ අල්පේච්ඡතාදී ගුණ ධර්ම වලිනි. ප්‍රත්‍ය අඩු පැවිද්දා දුප්පතකු ලෙස නො සැලකිය යුතු ය. පැවිද්දා පොහොසත් වන්නේ ගුණධර්ම වලිනි”


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 9

මා පොත් ලීවේ කිසිම ලාභාපේක්‍ෂාවකින් නොවෙයි

එසේම පැවිදි ජීවිතයේ ඇති වටිනාකම පිළිබඳව උන්වහන්සේ මෙසේ ද සඳහන් කරති.
පැවිද්ද වනාහී ලෝකයා විසින් ඉතාම උසස් තත්වයෙන් සලකන රජ බවට ද වඩා උතුම් තත්ත්වයකි. රජකම කෙලෙස් වැඩීමට පව් වැඩීමට භූමියක් වනු මිස කෙලෙස් නැසීමට පව් නැසීමට හේතුවන තත්ත්වයක් නොවේ. රජකම් කරන්නන්ට බොහෝ සෙයින් සිදු වන්නේ රජකම නිසාම නොයෙක් පව්කම් කොට මරණයෙන් මතු නරකයට යාමට ය .සාමාන්‍ය ජනයාට තබා අප මහා බෝසතානන් වහන්සේටත් පෙර එක් ජාතියක විසි වසක් රජකම් කිරීමේදී සිදු කරගත් පව් නිසා අසූ හාර දාහක් අවුරුදු ඔසුපත් නරකයක පැසෙන්නට සිදුවූ බව ‘තේමිය’ ජාතකයෙහි දක්වා තිබේ.
තේමිය කුමාරයන් රජකම කිරීමට බිය වූයේ රජ බව කෙලෙස් වඩන අපායෙහි ඉපදීමට සසර දික්වීමට හේතු වන තත්ත්වයක් බැවිනි. පැවිද්ද වනාහි එබඳු නපුරු තත්ත්වයක් නොව කෙලෙස් තුනී කරන පව් අඩුකරන සසර කෙටි කරන තත්ත්වයකි. ඇත්තෙන්ම ඉහත කරුණු සලකා බලද්දී රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් ගේ පැවිදි ජීවිතය මෙම පැවිදි ගුණයන්ගෙන් පෝෂිත වූ පරිපූර්ණ වූ පරමාදර්ශි චරිතයකි.
ඇත්තෙන්ම රේරුකානේ චන්දවිමල හිමියන් පොත් ලීවේ යම් දෙයක් ඉතා නිවැරදිව ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගැනීමෙන් පසුව ය. එසේම උන්වහන්සේ අවවාදයට වඩා ආදර්ශයෙන් භික්‍ෂු ජීවිතය සරල සැහැල්ලු අල්පේච්ඡතා ගුණයෙන් පරිපූර්ණත්වයට පත්කරගත් භික්‍ෂූන් වහන්සේ නමකි. ඒ නිසාම සම්බුදු දහමට අනුකූලව චන්දවිමල හිමියන් පල කළ අදහස් යහපත් පැවැත්මකට ඉතා වටිනා ආදර්ශයන් රාශියක් සපය යි.
ඒවා ජීවිතය පෝෂයනයට දිය පොහොර සේ උකසා ගත් නිසාම චන්දවිමල මහා නාහිමි චරිතය සුවඳ විහිදෙන සුපුෂ්පිත කුසුමක් සේ ය.

පොත් ලිවීමට පාවිච්චි කළ ලෑල්ල
රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් පොත් ලිවීමට පටන් ගත්තේ අද වගේ පසුබිමක නොවේ ය. ඒ කාලයේ ගැඹුරු ධර්ම කරුණු විග්‍රහ කරමින් පොතක් ලිවීම එක්තරා අභියෝගයකි. මහන්සි වී ලියා මුද්‍රණය කර බෙදා හැරිය ද ඒවා පාඨකයන් අතරට ගෙන යාම මහත් වූ දුෂ්කර කටයුත්තකි.
ඒ වකවානුවේ ප්‍රසිද්ධව සිටි පොත් ප්‍රකාශකයන් මෙවැනි වැඩකට අත ගැසීමට බිය වූයේ ‘ මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවන’ නිසා ය. යම් කිසි පොතක් පල කර ලාභයක් නොලැබේ නම් ව්‍යාපාරයක් වශයෙන් ප්‍රතිඵලයක් නොලැබෙන නිසා කවුරුත් එවන් අදහසක් පැණ නැගුණු විට පියවරක් පස්සට ගැනීමට පෙළඹුණි.
මේ නිසා මුල් යුගයේ චන්දවිමල හිමියන්ට ද මෙය මහත් ප්‍රශ්නයක් විය. උන්වහන්සේගේ අතින් කලක් පොතක් නොලිය වෙන්නේ මෙවන් පසු බිමක් යටතේ ය. එහෙත් එක එක්කෙනාගේ දැඩි ඉල්ලීම් නිසා සඟරාවලට, පත්තර වලට ලිපි ලියා දීමට පමණක් උන්වහන්සේට සිදු විය.
චන්දවිමල නා හිමියන්ට සඟරාවලට පත්තර වලට ලිපි ලිවීමෙන් ඔබ්බට ගොස් පොත් මුද්‍රණය කිරීම දක්වා වූ ගමනකට අවතීර්ණ වීමට සිදු වූයේ ද මෙසේ බොහෝ දෙනාගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂ්ප කිරීමට නො හැකි වූ නිසාමය. බුද්ධ ජයන්තිය මුල් කරගනිමින් ‘චතුරාර්ය සත්‍ය’ නැමැති පොත මුද්‍රණය කරන්නට විනයාලංකාර නා හිමියන් රුපියල් 1000 ක් ද විහාරස්ථානයේ ප්‍රධාන දායකයාව සිටි ඒ.ඩී. සුවාරිස් අප්පුහාමිගෙන් රු. 1000 ක්ද වැලිගම්පිටියේ ලියෝරිස් මුදලාලි මහතා ගෙන් රු. 1000ක් ද ණයට ලබා ගත්හ.
මෙසේ රුපියල් 3000ක් වියදම් කර චතුරාර්ය සත්‍ය පොත මුද්‍රණය කෙරිණි. ඇත්තෙන්ම ධර්මයේ වඩාත් ගැඹුරු පුළුල් විෂයක් වූවත් මෙම පොත අලෙවියේ දී සාර්ථකත්වයක් පෙන්නුම් කළේ ය. ඒ නිසා එම පොත විකුණා ණය තුරුස් ද බේරා ඉතිරි වූ ලාභයෙන් ‘විදර්ශනා භාවනා’ නම් පොත මුද්‍රණය කිරීමට හැකි විය.

ගරු බුහුමන් වශයෙන් ලැබුණු විජිනිපතක්
ඇත්තෙන්ම චන්දවිමල නා හිමියන් ග්‍රන්ථ ලේඛනයට පිවිසුනේ මුදල් හම්බ කර ගැනීමේ පටු පරමාර්ථ මුදුන්පත් කර ගැනීමේ අදහසින් නොවේ. උන්වහන්සේ පවසන්නේ මම පොත් ලීවාට ඒවා මුද්‍රණය කිරීමට පෙළඹෙන්නේ නැත. ඉන්පසුව රේරුකානේ නා හිමියන්ගේ ශිෂ්‍ය හේනේගොඩ කල්‍යාණධම්ම භික්‍ෂූන් වහන්සේ එම පොත් මුද්‍රණය කළ අතර ඒ ලැබෙන මුදල විහාරස්ථානයේ දියුණුවට වැය කළහ.
එසේම පන්සලේ වැඩ සිටි නේවාසිකාභාර භික්‍ෂූන්ගේ අවශ්‍යතාවයන් සේම චන්ද විමල මහා නා හිමියන්ගේ සුළු සුළු කාර්යයන් මේ ලැබෙන මුදලින් පිරි මැසුණි. මහා නා හිමියන් කියන පරිදි සමහර ධර්ම කාරණා නිවැරදිව තේරුම් කර ගැනීමට බොහෝ කල්ගත කිරීමට සිදු විය. උන්වහන්සේට එය මනාව අවබෝධ වූ විට අන් අයගේ ප්‍රයෝජනය සඳහා පොතක් ලියා ඵල කිරීම හොඳ යැයි සිතෙයි.
එසේ පටිච්චසමුප්පාදය තේරුම් ගන්නට චන්දවිමල මා හිමිට බොහෝ කලක් ගත වූ බවත් එය නිසිසේ අවබෝධ වූ විට ‘පටිච්චසමුප්පාද විවරණය’ නම් පොත ලියූ බවත් කියයි. පාරමිතා ධර්මය පිළිබඳව නොයෙකුත් පොත් ලියැවී තිබේ. එම පොත් සියල්ල කියවුවද මා නාහිමියන්ගේ හිතට මේ පොත් වලින් ප්‍රසාදයක් ඇති වූයේ නැත. ඒ නිසාම පාරමිතා ධර්ම විස්තර කිරීමේ අපේක්‍ෂාවෙන් ‘පාරමිතා ප්‍රකරණය’ කියන පොත උන්වහන්සේ අතින් ලියැවිණ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ මහ උල්පත නීග්‍රෝධාරාම විහාරස්ථානයේ තාවකාලිකව වැඩ විසීමට චන්දවිමල මා හිමියන් කැමැත්තක් දැක් වූයේ එහි පරිසරය සෞම්‍ය වූ නිසා ය. ඇතැම් ගී‍්‍රස්ම කාල වලදී මෙම විහාරස්ථානයට උන්වහන්සේ වැඩියේ ඒ නිසා ය. එසේම එහි පැවැත්වෙන පින්කම් වෙනුවෙන් ද චන්දවිමල මා හිමියන්ට නිතර ආරාධනා ලැබුණි.
එක් වකවානුවක එක්තරා පින්කමක් අවසාන වී රැස්ව සිටි පිරිස සමඟ කතාබහ කිරීමේ දී ඒ අය මහා නා හිමිගෙන් ඉල්ලීමක් කළහ. ශාසනයේ විනය කර්ම කිරීමට බොහෝ භික්‍ෂූන් වහන්සේ නොදන්නා නිසා ඒ පිළිබඳ පැහැදිලි දැනුමක් ලබා ගැනීමට පොතක් ලිවීම වටිනා කටයුත්තක් බව ඔවුන්ගේ අදහස විය. එම ඉල්ලීමේ ප්‍රතිඵලය වූයේ ‘විනය කර්ම’ නමින් පොතක් ලියා පල කිරීමය.

මහා නා හිමි ලියූ පොත් පෙළ
උන්වහන්සේම පවසන්නේ විනය කර්ම පොතේ තිබුණ පමණට කරන්නට නො හැකි බවයි. ඒ නිසා විනය කර්ම කිරීම පිළිබඳව පැහැදිලි කරමින් මේ පොත ලියූ බවත්, දැන් එය තුන් නිකායේම භික්‍ෂූන් වහන්සේ භාවිතා කරන අත් පොතක් බවට පත් වී ඇති බවත් ය. එය චන්දවිමල මා හිමියන්ගේ සිතට මහත් සතුටක් ගෙන දෙන කරුණක් විය.
‘සූවිසි මහ ගුණය’ නැමැති පොත ලීවේ මහා නා හිමියන්ගේම ඕනෑකම අනුවය. එය තුණුරුවන් කෙරෙහි දැක් වූ පූජාවට ප්‍රසාදයක් වශයෙන් ලියැවුණු පොතකි. තුණුරුවන් කෙරෙහි දැක් වූ ලොකුම පූජාවක් ලෙස ‘සූ විසි මහා ගුණය’ නම් වූ ග්‍රන්ථය නම් කළ හැකි වෙයි.
ඒ කාලයේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ ‘සතිපට්ඨාන භාවනා ක්‍රමයට’ විරුද්ධව ඇතැම් භික්‍ෂූන් වහන්සේලා යම් යම් විවේචන ඉදිරිපත් කිරීමට පෙළඹුණි. මෙම ගැටලුකාරී තත්ත්වය සමනය කිරීමේ අදහස ;පරදැරි කර ගනිමින් හා යථාතත්ත්වය පැහැදිලි කර දීමේ අදහසින් ‘සතිපට්ඨාන භාවනා විවේචනය’ නම් පොත ලියැවිණි. චන්දවිමල මා හිමියන් ලියූ පොත් අතර ‘ශාසනාවතරණය’ උන්වහන්සේ වඩාත් අගය කරන ග්‍රන්ථයකි.
ඒ පිළිබඳව උන්වහන්සේ මෙසේ පවසති. අද මහණකමේ නියැලී හිඳින සමහර ඇත්තන්ට ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. දවසක් වයසක හාමුදුරු කෙනෙක් මෙහාට ආවා. ඇවිදින් මට තුටු පඬුරුත් පූජා කළා. එසේ කරළා ඒ භික්‍ෂූන් වහන්සේ පැවසුවේ නායක හාමුදුරුවන්ගේ පොත් ටික නැතිනම් මේ කාලයේ ඉන්න භික්‍ෂුන් වහන්සේලාට කරන්න කිසිම දෙයක් නොමැති බවය. දෙවැනි දවසෙත් ඔය විදියට කියලා මට තුටු පඬුරුත් පූජා කරළා හරියට සතුටු වුණා.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 10

සම්මෝහය දුරු කළ පොත් පෙළ

වැඩිපුරම මා කාලය මිඩංගු කළේ මේ ගැඹුරු ධර්මය තේරුම්කර ගන්නට යි. සමහර ධර්ම කරුණු ලිහා ගන්න, සති, මාස, ගණන් ගත වුණා. මාස ගණන් කල්පනා කළා. ඒ නිසා මා තේරුම් නො ගත් කිසිම ධර්ම කරුණක් මගේ පොත්වලට ඇතුලත් කළේ නැහැ. මා දවසට ලියන්නේ ස්වල්පයයි. ඒවා ලීවේ බොහොම නිරවුල් මානසික තත්ත්වයක් මතයි. මහන්සියෙන් වෙහෙසින් නිදිවර්ජිතව ලියන්නට මා පෙළඹුණේ නැහැ.”
ඉතා වටිනා ධර්ම කරුණු අඩංගු සුවිශේෂී පොත් පෙළක් ලිවීම මහත් අපහසු කාර්යයකි. මෙහි ඇති විස්මය නම් යුග යුග පසු කල ද මෙම පොත් පෙළෙහි අගය, වටිනාකම තව තවත් ඔප මට්ටම් වෙමින් නො නැවතී අදටත් පැවැතගෙන ඒම ය.
චන්දවිමල හිමියන් මෙම ග්‍රන්ථ පෙළ ලිවීමට මානසික ඒකාග්‍රතාවය,පසුබිම විවේකය සලසා ගත්තේ කෙසේ දැයි විමසා බැලීම පොත්පත් ලියන ඇත්තන්ට ප්‍රයෝජන වන්නේ යැයි සිතෙයි. මෙහි ඇති විශේෂිත තත්වය වන්නේ ලේඛන ක්‍ෂේත්‍රය පිළිබඳව උන්වහන්සේ සතු දැනුමසම්භාරයයි. මෙම පරිණතභාවය භික්‍ෂු අධ්‍යාපනයෙන්, කියැවීමෙන්, පරිශීලනය කිරීමෙන් අමතරව ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට උකහා ගැනීම සහ එම ධර්ම කරුණු තම ජීවිතය හා සමීප කර ගැනීමෙන් පසු ඇතිවූ අධ්‍යාත්මික පෝෂණයෙන් ඇති වූවකි. එම පොහොසත් බව නිසාම චන්දවිමල මහා නා හිමි ලියූ එකම පොතකවත් ‘වැදිබණ’ නොමැත.
සම්බුදු දහම ප්‍රායෝගික ජීවිතය තුළට උකසා ගැනීමෙන් පසු ප්‍රභාශ්වර වූ මනස තුළින් විහිදුණු ආලෝකයෙන් ගැඹුරු ධර්මය පෙරලා පොත් පිටු මත අක්‍ෂර බවට පත්විය. ඒ නිසා ඒ අකුරක් අකුරක ගණනේ ප්‍රායෝගික සත්‍යය සටහන්ව තිබේ. මේ විශිෂ්ටත්වයේ පදනමක් සහිත පසුබිම නිසාම අදත් හෙටත් මතුවටත් මෙම පොත් සංචිතය සැදැහැති බෞද්ධ ජන මනස පෝෂණය කරමින් දුක් නිවමින් සහනයක් වෙමින් සැරිසරනු නියත ය.
2500 බුද්ධ ජයන්තිය නිමිති කරගනිමින් උන්වහන්සේ පොත් කීපයක්ම සම්පාදනය කළ බව පැවැසෙයි. චන්දවිමල මා හිමියන් ඒ පිළිබඳව පවසන්නේ බුද්ධ ජයන්තිය අරමුණු කර ගනිමින් පොත් ලිවීම ආරම්භ කළා යැයි පැවසීම අපහසු බවයි. “මා ධර්මය ඉගෙන ගත්තේ මහත් දුෂ්කරතා මධ්‍යයේයි. ඒ නිසාම මට හිතුණා මහත් අපහසුවෙන් තේරුම් බේරුම් කරගත් ධර්ම කරුණු අනෙක් අයටත් කියා දෙන්න ඕනැයි කියල. නමුත් මුලදී එවැනි අදහසක් පැවැතියේ නැහැ. බුද්ධ ධර්මය ගැඹුරු දහමක්. ඒ නිසා ඒ ගැඹුරු දහම පැහැදිලිව අවබෝධ කරගැනීමෙන් තොරව ලියන්නට හෝ කියන්නට උත්සාහ කිරීම ප්‍රතිඵලදායක නො වන දෙයක්. ඒ වාගේම එය නු සුදුසුයි.
වැඩිපුරම මා කාලය මිඩංගු කළේ මේ ගැඹුරු ධර්මය තේරුම්කර ගන්නට යි. සමහර ධර්ම කරුණු ලිහා ගන්න, සති, මාස, ගණන් ගත වුණා. මාස ගණන් කල්පනා කළා. ඒ නිසා මා තේරුම් නො ගත් කිසිම ධර්ම කරුණක් මගේ පොත්වලට ඇතුලත් කළේ නැහැ. මා දවසට ලියන්නේ ස්වල්පයයි. ඒවා ලීවේ බොහොම නිරවුල් මානසික තත්ත්වයක් මතයි. මහන්සියෙන් වෙහෙසින් නිදිවර්ජිතව ලියන්නට මා පෙළඹුණේ නැහැ.”

පොත් ලියනවිට ඉඳගෙන සිටි පුටුව
“මා පොත් ලීවේ හිරුඑළියෙන් විතරයි. රෑ රාත්‍රියේ ලාම්පු පත්තුකරගෙන හෝ ලයිට් එළියෙන් මා පොත් ලීවේ නැහැ. ඒ වාගේම මේසයක් උඩ තියාගෙන ලිව්වෙත් නැහැ.”
“ඒ වෙනුවෙන් මා විසින්ම හදාගත්තු ලෑලි කෑල්ලක් තමයි මා මේසය වෙනුවට පාවිච්චි කළේ. මා වෙනුවෙන්ම හදා ගත්තු පළල් පුටුවක වාඩි වෙලා අර ලැලිකෑල්ල උඩ තියාගෙන තමයි, මේ සියලු පොත් ලිව්වේ. නමුත් මා දවසට ටිකක් ලිව්වත් ලියන කොටස ආයෙත් දෙපාරක් ලියන්නේ නැහැ.”
“පළමු වරට ලියන එකම තමයි. මුද්‍රණයට යවන්නෙත්. සමහර පොත් මුද්‍රණය වෙමින් පවතින මොහොතේත් එක එක කොටස් ලියා යවනවා. මගේ අත් අකුරු ලස්සනයි කියල බොහෝ අය කියනවා.”
“ඇත්තෙන්ම හිරුඑළියට දවල් කාලයේ ලියන එක තමයි හොඳ බව මගේ හැඟීම. ඒක ඇස්වලටත් සහනයක්, වෙහෙසක් අපහසුවක් නැහැ. මට ලියන්න ඕනෑ කළේ පෑනක් , කඩදාසියක්, ලෑලිකෑල්ලක් විතරයි.”
“මොනතරම් කල් ගියත්, ඉගෙන ගන්න දේ නිවැරදිව හරියට ඉගෙන ගත යුතුයි. මේ නිසා මා බොහෝ ප්‍රශ්න විසඳ ගත්තා. ඕනෑම දෙයක් කරනවා නම් එය හරියටම කළ යුතුයි. නමුත් මට පෙනෙන විදියට මේ රටේ ගිහි පැවිදි වැඩි දෙනෙකු දන්නේ් ටිකයි. ඒ නිසා එකක්වත් හරියට දන්නවා දැයි සැකයි. යමක් යන්තමින් දැන ගන්නවාට වඩා හොඳයි නො දැන සිටින එක.”
“මේ පෙළඹවීම සිදුවුණේ පොදු ජනතාවට මේ උතුම් ධර්මය බෙදා දීමටත් වඩා මගේ සම්මෝහය දුරු කර ගැනීමටයි. ධර්මය ඉගෙන ගැනීමෙනුත් පොත් ලිවීම සඳහා කරුණු රැස් කිරීමෙනුත් ඒ සම්මෝහය දුරු වෙනවා කියල කියන්න පුළුවන්.”

පරිහරණය කළ භාණ්ඩ කීපයක්
ඇත්තෙන්ම මා හිමිපාණන් වහන්සේගේ ඉහත ප්‍රකාශයන් හොඳින් විමසා බැලීමේදී හැඟී යන්නේ එහි අඩංගු කාරණා ඉතා සරල වුවද ඒ මතින් ගැඹුරු අරුතක් උත්පාදනය වන බවකි. බොහෝ ලේඛකයන් ඉතා පටු දැනුමක සිට ප්‍රදර්ශනය කරන්නට වෙහෙසෙන්නේ පුළුල් පරාසයක් පුරා විහිදෙන දැනුමැති වියතකු බවය. විශේෂයෙන් පොත් ලිවීම මෝස්තරයක් බවට පත් වූ කාලයකි මෙය. ආර්ථික වාසි වෙනුවෙන් ද බොහෝ අය පොත් පළ කරති. එවන් වාතාවරණයක චන්දවිමල මා හිමියන් අපේක්‍ෂා කළේ තමා ලබාගත් සංකීර්ණ විෂය දැනුම තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් ඉතා නිවැරදිව, නිරවුල්ව, සරලව පහදා දීමට ය. විශේෂයෙන් තමාගේ සම්මෝහය දුරු කර ගැනීමේ අපේක්‍ෂාවෙන්.
ඉතා චාම් භික්‍ෂු ජීවිතයක සැහැල්ලුව අල්පේච්ඡතා ගුණයේ පදනම මත හිඳ ගනිමින් ලෑලි කෑල්ලක් ආධාරයෙන් ලියූ ඒ පොත් පෙළ ප්‍රාතිහාර්යයක් මෙනි.
තමාම වෙහෙසින් පසක් කරගත් බුදුදහම ‘බෞද්ධයාගේ අත්පොත’ වැනි සරල තැනක සිට ‘පටිච්ච සමුප්පාද විවරණය’ ‘පට්ඨාන මහා ප්‍රකරණ සන්නය’. ‘චතුරාර්ය සත්‍ය වැනි ගැඹුරු තැනක් දක්වා උන්වහන්සේ පැමිණියේ පත පොතින්, ත්‍රිපිටක, අටුවා ටීකාදියේ ධර්ම කරුණු පොත් පෙරලා ගෙන අවශ්‍ය තැනට ඇතුත් කිරීමෙන් නොවන බව ඉහත ප්‍රකාශ අනුව පසක්වෙයි. ඒ සියල්ල ලීවේ දත යුතු සියල්ල මනාව අවබෝධ කර ගැනීමෙන් පසුවය. මෙසේ ධර්මයේ මූලික අවස්ථාවේ සිට ඉතා ගැඹුරු කරුණු සියල්ල උන් වහන්සේ මනා සෛ් අවබෝධ කරගත්තා පමණක් නොව ඒවා ඒ ආකාරයෙන්ම පිළිපැදීම ප්‍රගුණ කිරීම, විශේෂයෙන් භාවනා අභ්‍යාසයේ යෙදීම ආදි වු උන්වහන්සේගේ භික්‍ෂු ජීවිතය ගොඩ නැගී ඇති ආකාරය දෙස විමර්ශණය කරන්නේ නම්, ඒ ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳව හිතන්නට බොහෝ දේ තිබේ.
උන්වහන්සේ ‘චතුරාර්ය සත්‍ය’ විශිෂ්ට පොත ලිව්වේ ද නිසි අවබෝධයෙනි. චතුරාර්ය සත්‍ය අවබෝධ වූ කෙනෙකු නිසිමඟ දැන ගමන් කරන්නෙකුය. එවන් කෙනකුට දිය විරළ වාලුකා කතර මැද ඇති කෙම්බිම පෙනෙනු නියත ය. එසේ නම් බොහෝ දෙනා තුළ උන්වහන්සේ පිළිබඳ පවතින විශ්වාසය සත්‍යයක් වීමට ඉඩ ඇත. ‘නිවන’ නමැති ඒ කෙම්බිම වෙතට පිවිසෙන්නට රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ට හැකියාව ලැබුණේ ද?
මේ උදාර පරමාදර්ශි භික්‍ෂු පීතෘ වරයාණන්ගේ චරිතාපදානයේ පරිච්ඡේදයන් කියවන විට ඔබට තවත් විශේෂතා හඳුනා ගැනීමට හැකි වෙතැයි සිතේ.
මේ අසහාය සංඝ පීතෘවරයාණන්ගේ චරිතාපදානයෙන් අපට ගත හැකි ආදර්ශයන් බොහෝය. එය අපේ ජීවිතයන්ටද ආලෝකයයි. ඒ ආලෝකය ඔස්සේ ගමන් කළ හැකි දුර බොහෝ ය. ඒ යන බොහෝ දුර දුරවබෝධය දුරු කරවනසුළු දී්ර්ඝ ගමනක් වනු ඇත. එහෙත් සංසාර දීර්ඝ දුෂ්කර මඟට වඩා කෙටි දුරක් වන්නේ ඒ මඟ අප යන්නේ අවබෝධයෙන්ම නිසා ය.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 11


රේරුකානේ මා හිමියන් චතුරාර්ය සත්‍යය පොත ලියන්නේ 1947 වසරේ දී ය. එහි සංඥාපනයෙහි මෙසේ සඳහන් වෙයි. “බුද්ධ ධර්මයේ පරම සත්‍ය චතුරාර්ය සත්‍යයම ය. එබැවින් නියම බෞද්ධයකු වන්නට මේ ආර්ය සත්‍යයන් පිළිබඳව තරමක දැනුමක් වත් ඇති කර ගත යුතු ය.”
රේරුකානේ මා හිමියන් පවසන ආකාරයට චතුරාර්ය සත්‍ය පිළිබඳ පුළුල්ව විමසා බැලූ හොඳ පොතක් ඒ වන විට පළ වී තිබුණේ නැත. අටුවාපොත් අතුරෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇත්තේ ‘සම්මෝහ විනෝදනී’ නම් වූ විභංගප්‍රකණාර්ථ කතාවේ හා විශුද්ධි මාර්ගයේ ය. පාලි භාෂාව නො දත් සාමාන්‍ය ජනයාට ඒ වායෙන් ප්‍රයෝජන ගත නො හැකි බව මා හිමියන්ගේ අදහස ය.
ඒ වාගේ පාලි භාෂාව දත් පමණින් ද ඒවා කියවා චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම පහසු දෙයක් නො වන බව උන්වහන්සේ පවසති. “ඒ ඒ පොත්වල චතුරාර්ය සත්‍ය විස්තර කර තිබෙන්නේ ‘ධම්මාසංගනි ප්‍රකරණයෙහි” එන පරමාර්ථ ධර්ම විභාගයන් මැනවින් උගත් අයට දැන ගැනීමට සුදුසු හැටියට ය. පූර්ව භාගයෙහි ඇති කර ගන්නා ලද පරමාර්ථ ධර්මය පිළිබඳ දැනුමක් නැතිව පාලි භාෂාව දත් පමණින් ම ඒවායේ යථාර්ථය දත හැකිවේය” යන අදහසින් ඒ පොත් කියවන්නවුන්ට ඇති වන්නේ නොදැනම දැනගතෙමි යන රැවටීමක් පමණකි. ඒ රැවටීම නම් කොහෙත්ම නොදැන සිටිනවාටත් වඩා නපුරකි. පාලි භාෂාව පමණක් උගෙන දහම්පොත් කියවා එසේ රැවටී සිටින අය මෙකල බොහෝ වෙති.” මහා නාහිමියෝ එසේ ප්‍රකාශ කර සිටිති.
“නවකතා පොතක් කියවන්නකුට වෙහෙසක් නැතිව අර්ථයත් කතා රසයක් ලැබෙන සේ, ලෙහෙසියෙන් අර්ථය හා ධර්ම රසය ලැබෙන හැටියට ගැඹුරු ධර්මය අඩංගු පොත් සම්පාදනය නො කළ හැකි ය. එබැවින් කථිකයන්ගේ හෝ ලේඛකයන්ගේ හෝ සමත්කමේ අනුහසින් ම ගැඹුරු ධර්මය ලෙහෙසියෙන් තේරුම් ගන්නට බලාපොරොත්තු නොවී ධර්මය හොඳින් අවබෝධකර ගැනීමට පොත් කියවන්නා විසින් ද උත්සාහ කළ යුතු ය.” චතුරාර්ය සත්‍ය දනු කැමතියන් විසින් මෙම පොත නවකතා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නො දමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතු ය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතු ය. එසේ කළහොත් සියල්ල දත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ මනා දැනුමක් ඇති කරගත හැකි වනු ඇත. මෙසේ ඉහත ප්‍රකාශ ගෙන හැර පෑවේ උන්වහන්සේගේ එම අදහස් මතින් පාඨකයාට බොහෝ දේ උගත ගත හැකි නිසා ය.
චතුරාර්ය සත්‍ය වැනි දහමක් පිළිබඳ ඉගෙනීමේ දී ඒ පිළිබඳ කරුණු අඩංගු පොතක් හා නවකතාවක් කියවීමේ දී ලැබෙන රසයේ විවිධත්වය මෙන්ම නවකතාවක් කියවීමේ දී මෙන් ධර්ම කරුණු අඩංගු පොතක් කියැවීමට මනස සූදානම් කර ගත යුතු ආකාරය වැනි වටිනා උපදෙස් උන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයෙන් අත්දුටු අත්දැකීම් මතින් අපට උකහා ගැනීමට හැකිවෙයි.
එසේම චන්දවිමල නා හිමියන්ගේ චතුරාර්ය සත්‍ය පොතට ප්‍රස්තාවනාවක් ලියන්නේ තවත් එසේම කීර්තිමත් සංඝපීතෘවරයකු වූ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මා හිමිපාණන් වහන්සේ ය. ආනන්ද මෛත්‍රෙය මා හිමිපාණන් වහන්සේගේ ඉතා වටිනා ප්‍රස්තාවනාවේ අවසන් පරිච්ඡේදයට ඔබගේ සිත යොමුකරවමි.

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් සහ කිරිඔරුවේ ධම්මානන්ද හිමි
චතුරාර්ය සත්‍යය පිළිබඳ කුඩා පොත් කීපයක් ඇතත් මෙතරම් ලිහිල් ලෙසත් විස්තරවත් එය දැක්වුණු මෙතරම් මහත් ග්‍රන්ථයක් මේතාක් හෙළබසින් පළ වී නැත. නූගතුන්ට පමණක් නොව උගතුන්ටද හස්තසාර වස්තුවක් වූ මේ චතුරාර්ය සත්‍ය විභාගය එයටම සුදුසු සමතා අතින්, ලක්දිව අද්විතීය ධර්මධරයෙකු අතින් ලියැවීම ධර්මඥානය පතන හෙළයන්ගේ භාග්‍යයකි. ග්‍රන්ථ කර්තෘ වූ අභිධම්මික රේරුකානේ චන්දවිමල තෙරපාණන් වහන්සේ සෑම දෙනාගේම නොවක් පැසසුමට බඳුන්හ.
එයින් කියවෙන්නේ එතෙක් චතුරාර්ය සත්‍යය වැනි නිර්වාණගාමී ප්‍රතිපදාවක් සහිත ගැඹුරු ධර්මයක් පිළිබඳව ලියවුණු වෙනත් පොතක් නො මැති බවත් ය. මෙවන්නක් ලියන්නට සුදුසුකම් ඇති වෙනත් සමතකු නොමැති බවත් ය. ආනන්ද මෛත්‍රෙය නා හිමි වැනි සුවිශේෂී භික්‍ෂූන් වහන්සේ කෙනකු විසින් අද්විතීය ධර්මධරයකු වැනි ආත්මීය ගෞරව නාමයකින් හැඳින්වීමෙන් හැඟෙන්නෙ රේරුකානේ මා හිමියන්ගේ ධාර්මික ජීවිතයේ ඇති විශිෂ්ට ගුණයය.
රේරුකානේ චන්දවිමල මා හිමියන් මෙසේ ලියන ලද සුවිශේෂී වූ දහම් පොත් පෙළ නිසා තවත් බොහෝ ගිහි මිනිසුන්ගේ මෙන්ම භික්‍ෂු ජීවිතවලට ද ලැබුණේ ආලෝකයකි. රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ අවසාන කාලයේ උන්වහන්සේගේ උපස්ථායක ලෙස කටයුතු කළේ කිරිඔරුවේ ධම්මානන්ද නමැති භික්‍ෂූන් වහන්සේ ය. ධම්මානන්ද හිමියන් භික්‍ෂු ශාසනයට ඇතුල් වූයේ ද රේරුකානේ මා හිමියන්ගේ දහම්පොත් කියැවීමෙන් බුදු දහම පිළිබඳව මනා පැහැදීමක් ඇතිවීමෙනි. එවකට රේරුකානේ චන්දවිමල මා හිමියන් ඇසට නො දැක තිබුණ ද ගිහි කල ගුරුවරයකු වූ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ට මහණ වීමට අදහස පහළ වූණේ රේරුකානේ මා හිමි විසින් ලියන ලද පැවිදි දිවිය පිළිබඳ කරුණු සහිත ‘ශාසනාව තරණය’ කියැවීමෙන් පසුව ය.
සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ට මෙම පින පාදා දුන්නේ රේරුකානේ මා හිමියන් අතින් ලියැවුණ පොත් හි බලය විසිනි. කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් රේරුකානේ මා හිමියන්ට උපස්ථාන කිරීමට පෙලඹෙන්නේ ද තමාට කළ උපකාරයට මහා නා හිමියන් වෙත කරන කෘතගුණ සැලකීමක් වශයෙනි.
මෙසේ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් මහණ වන්නේ වෙනත් භික්‍ෂූන් වහන්සේ නමක් යටතේ ය. එහෙත් 1980 ඔක්තෝබර් මාසයේ දී ධම්මානන්ද හිමියන් ශ්වේජින් නිකායට ඇතුළත් වෙමින් සහ රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පොකුණුවිට විනයාලංකාරාමය සීමා මාලකයේ දී උපසම්පදාව ලබා ගනියි.
වසර 17 ක් පමණ කාලයක් රේරුකානේ චන්දවිමල මා හිමිපාණන් වහන්සේගේ උපස්ථායකයා බවට පත්වීමෙන් මා හිමියන් වහන්සේ සමීපයේ හිඳින්නට හැකිවීම නිසා මාහිමිපාණන් වහන්සේගේ ඇවැතුම් පැවතුම් පිළිබඳව කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ට ඉතා හොඳ අවබෝධයක් ලැබෙයි. ධම්මානන්ද හිමියන් පවසන්නේ “මහා නා හිමියන් තියුණු නුවණකින් යුක්ත වූ බවයි. එසේම ඕනෑම සියුම් ගැඹුරු කාරණයක් පිළිබඳව විනිවිද යන නුවණක් උන්වහන්සේට තිබුණි. විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් පවා සමහර කරුණු ගැන මහා නායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කරන විට උන්වහන්සේගේ දැනීම පිළිබඳව මවිතයට පත්වූහ. උන්වහන්සේ පුදුම ධාරණ ශක්තියකින් යුක්ත වූහ. යමක් එක් වරක් කියවූ පමණින් මතක සිටින ස්වභාවයක් පැවතුණි. අනූපස්වියේ දී පවා ඒ ධාරණ ශක්තිය උන්වහන්සේ තුළින් විද්‍යාමාන විය.” රේරුකානේ හිමියන්ගේ දැනුම සහ ධාරණ ශක්තිය පිළිබඳ ධම්මානන්ද හිමියන් එසේ ප්‍රකාශ කරති.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 12

මහා යතිවර චරිතය තුළින් සාමාන්‍ය පුද්ගලයකු තුළ නොපිහිටන අසාමාන්‍ය ලක්‍ෂණ ප්‍රකට වේ.

රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේගේ චරිතාපදානය ලියන්නට අප පෙලඹෙන්නේම මේ යුගයේ අපේ පිනට මේ දේශයේ උපනත් විශිෂ්ට ගණයේ උත්තම යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් කුදු මහත් බහුතරයකගේ ගෞරව බහුමානයට, සම්භාවනාවට උන්වහන්සේ පාත්‍රව ඇති නිසාය. ඇතැම් අයගේ අදහස වන්නේ චන්දවිමල මහා නා හිමියන් මේ භවයේ දී නිර්වාණය සාක්‍ෂාත් කර ගත් බවයි.
එය එසේම වූවා දැයි පුහුදුන් අපට නිශ්චිත නිගමනයට එලඹීමට පුළුවන්කමක් ද නැත. එවන් ඤාණයක් ඇත්තවුන්ට උන්වහන්සේ තුළ වූ උතුම් ජීවිතාපේක්‍ෂාව මෙන්ම ඒ උතුම් යති චරිතයේ ස්වභාවය ගති ලක්‍ෂණයන්, මෙන්ම ඒ ලියූ අසහාය පොත් පෙළ ආදී විවිධ කුසලතාවයන් තුළින් නිගමනයකට එළැඹීමේ හැකියාව ඇතැයි සිතමු.
එහෙත් උන්වහන්සේ උදාර යතිවරයාණන් වහන්සේ නමක් බව නම් සහතිකය. මේ යුගයේ ජනිත වූ මහා සංඝ පීතෘවරයකු බව සත්‍යයය. ඒ යුග මහා යතිවර චරිතය තුළින් විද්‍යාමාන වන ලක්‍ෂණයන් මත උන්වහන්සේගේ චරිතය ස්වාභාවයේ වූ සුවිශේෂී ලක්‍ෂණ මෙන්ම සාමාන්‍ය පුද්ගලයකු තුළ නොපිහිටන අසාමාන්‍ය ලක්‍ෂණ ප්‍රකට වේ.
අප පෙරදී සඳහන් කළ පරිදි උන්වහන්සේගේ ජීවිතයේ අවසාන සමයේ චන්දවිමල මහා නාහිමියන්ට ඇප උපස්ථාන කරමින් සමීපයේම වැඩ සිටි කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ ප්‍රකාශයක් වෙතට ඔබගේ සිත් යොමු කිරීමට අවසර පතමි.
“පූර්වකෘති පාරමී බලයත්, මහා පුදුම ධාරණ ශක්තියත්, මෙලොවදී දියුණු කරගත් සිහි නුවණත්, විශිෂ්ට වූ භාෂා ඥානයත් සුවිශේෂී ලේඛකත්වයත් නිසා උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ 28ක් පමණ ලියා පළ කළ සේක.”
“වැඩි උගත්කමක් නැති කෙනකුට වුවද තේරුම් ගත හැකි ආකාරයටත්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයා දක්වා සැමට ප්‍රයෝජන ගත හැකි අයුරිනුත්, තුනුරුවන් කෙරෙහි පැහැදීම හෙවත් ශ්‍රද්ධාව නැති අයගේ ශ්‍රද්ධාව ඇති කරවන ආකාරයටත්, මද ශ්‍රද්ධාවක් ඇති අයගේ එම ශ්‍රද්ධාව දියුණු තියුණු වන ලෙසටත්, නමට බෞද්ධයන් වූ අය සැබෑ බෞද්ධයන් කරවීමට සමත්වන ආකාරයටත්, මසුරු අය ත්‍යාග වන්තයන් බවට පරිවර්තනය කරවන ආකාරයටත් දහම නොදැන පව්කම් හි ඇලී ගැලී වාසය කළ අය සුමගට පැමිණවීමට සමත් ආකාරයටත්, දහම් තේරුම් ගෙන සසර භය උපදවාගෙන මව්පියන් නෑ මිතුරන් රැකී රක්‍ෂා, යාන වාහන ඉඩකඩම් ආදී නොයෙක් කාම වස්තූන් අතහැර ගිහිගෙය නමැති මහා කාම බන්ධනයෙන් මිදී පැවිදි වීමට සිත නැඹුරු කරවන පරිද්දෙන් පැවිද්ද යනු කුමක්ද? පැවිදි සැපය යනු කුමක්ද? කියා හරි හැටි තේරුම් ගැනීමට නොහැකිව පැවිද්දෙහි කලකිරී ගිහි බවට පත්වීමේ අදහසින් සිටි පැවිද්දන්ට පැවිද්දෙහි නැවත සිත අලවා වාසය කිරීමට හැකියාවක් ලැබෙන ලෙසටත්, ග්‍රාමවාසී, අරණ්‍යවාසී නවක, මධ්‍යම, ස්ථවිර සෑම අවස්ථාවකම පහසුවන භික්‍ෂූන් වහන්සේලාට සැකයෙන් තොරව, නොදත් මහණකම කරගෙන යන හැකි ආකාරයටත්, භික්‍ෂූන් වහන්සේලා විසින් කළ යුතු විනයකර්ම ඉතා පිරිසුදු ලෙස කුකුස් ඇති නොවන පරිද්දෙන් කිරීමට හැකි අයුරෙන්, ධර්ම කථිකයාණන් වහන්සේලාට දේශනා කිරීමට අවශ්‍ය දහම් කරුණු නිවැරැදිව පහසුවෙන් සොයාගෙන හොඳින් ධර්මදේශනා කිරීමට පහසුවන ලෙසටත්, එපමණක් ද නොව මේ පොත් පෙළ කියැවීමෙන් අන්‍ය ආගමිකයන් පවා බුදු දහම වැලඳ ගන්නා තත්ත්වයට පත්වීමට සමත් වන ලෙසටත් මේ පොත් ලියා ඇත.
“ලක්දිව තෛ‍්‍රනිකාය ම භික්‍ෂූන් වහන්සේලාට විනය දැනුම සඳහා භාවිතා කරන විනය පොත් උන්වහන්සේලාගේ අත් පොත් බවට පත්ව ඇත. සියලු භාවනා මධ්‍යස්ථාන උන්වහන්සේගේ භාවනා පොත්වලින් ප්‍රයෝජනයට ගනියි. අනෙක් සියලු පොත් ද ගිහි හා පැවිදි උගත් නූගත් සියල්ලටම ප්‍රයෝජනවත් නිවැරැදි සරල දහම් පොත් ය.”
“බොහෝ දෙනා කරන සේවය තම අභාවයෙන් අවසන් වන අතර රේරුකානේ මහා නා හිමියන්ගේ සේවය තව බොහෝ කලක් එම පොත් මගින් සිදුවනු ඇත.”
“බුද්ධඝෝෂ හිමියන් ප්‍රමුඛ අටුවාචාරීන්ගෙන් පසු බුදුසසුනට විපුල සේවයක් සිදුවූ පොත් පෙළක් ලෙස මෙම පොත් පෙළෙ අගය කිරීමට බොහෝ දෙනා පෙලඹී සිටිති.”
මෙවන් ප්‍රකාශයන්ගෙන් පෙනෙන්නේ සාමාන්‍ය දැනුමක් ඇති පුද්ගලයාගේ සිට මහා ප්‍රාඥයන් මෙන්ම වෙතත් සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේගේ සිට වඩාත් නිවැරැදිව ප්‍රතිපත්ති මත පිහිටා විමුක්ති සුවය සොයා යන බොහෝ යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙතත් ගමේ පන්සලේ සිට අට කතර අරණ්‍ය සෙනසුන් වෙතත් සද්ධර්මාලෝකය එළිය විහිදුවාලීමට තරම් මේ උත්තම සංඝ පිය යතිවරයාණන් වහන්සේගේ ප්‍රබල ලේඛන සන්නිවේදන ගුණයක බලය ශක්තිය සමත් වූ බව ය.
අද අප භාවිතයට ගන්නා ලිඛිත ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ වන්නේ මීට වසර 2025 කට පමණ පෙර දුරාතීතයේදී ය. එවකට මේ බිම මහ රහතන් වහන්සේලාගෙන් නො අඩුව පැවැති බව වංශකතා ජනප්‍රවාදයන් ආදියෙන් කියැවෙයි. ඒ නිසාම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ දී ගැටලු පැණ නොනැඟුණා විය හැකි ය.
මාතලේ ආලෝක විහාරයේ දී සිදුවන ඒ ඓතිහාසික සද්ධර්ම ලේඛන මහා මංගල්‍ය අවස්ථාවෙන් පසුව සෑම විහාරයකම පාහේ, අරණ්‍යයක මෙන්ම පුස්තකාලයක ආදී වූ නිරන්තරයෙන් පරිශීලනය කෙරෙන තනි පුද්ගලයකු විසින් ලියූ පොත් පෙළක් බවට පත්වන්නේ මෙම පොත් පෙළ යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවෙයි. හසරක් සොයමින් සසර මඟ යන පුහුදුන් මිනිසාට මෙන්ම විමුක්ති මඟට පිළිපන් භික්‍ෂූන් වහන්සේට ද විවිධ තලයන්හි සිට පරිහරණය කිරීමට සමත් සිරිමත් මේ පොත් පෙළ ලියැවෙන්නේ වෙනත් කවුරුවත් අතින් නොව රේරුකානේ චන්දවිමල නම් වූ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අතිනි.
සෑම බෞද්ධයෙකුගේම පාහේ ආකර්ශනය දිනා ගැනීමට සමත් ලෙස මෙවන් කාර්යයක් ඉටු කිරීමට ලැබෙන අති දුර්ලභ සන්සිද්ධිය මෙනෙහි කිරීමේ දී මේ මහා යතිවර චරිතය තුළ වූ සාමාන්‍ය පුද්ගල චරිතය අභිබවා ගිය සුවිශේෂී ලක්‍ෂණයන් මත කෙනෙකුට සිතුණොත් චන්දවිමල නාහිමියන්ට මෙවන් වික්‍රමයක් කිරීමට හැකි වූයේ සසර පුරණා ලද මහා පාරමී දම් බලයක ප්‍රතිඵලයක් නිසා යැයි කියා එවන් සිතීමක් අසාධාරණ නොවෙතැයි සිතේ. ඒ නිසාම උන්වහන්සේ මනුෂ්‍යත්වයේ උපරිම තලයක සිටියා යැයි විශ්වාස කිරීමට පෙළඹීමද අසාධාරණ නොවේ.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 13

චන්දවිමල මහා නා හිමි වැඩසිටියේ සමාජ භූමිකාවට වඩා ඉහළ තලයකය.

රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් තුළ විද්‍යාමාන වන සුවිශේෂී ගුණ කදම්භය සාමාන්‍ය පුද්ගලයකු තුළ වන පොදු චරිත ලක්‍ෂණයන් අභිභවන සුළු බව බහුතරයකගේ හැගීමයි. ඒ බව පෙරදීත් අපි සඳහන් කළෙමු. උන්වහන්සේ පරිණත වූහ. බහුශ්‍රැත වූ සේක. සුපේශල වූහ. පරමාදර්ශී වූහ. සද්ධර්මාවබෝධයෙන් අතිශය පොහොසත් වූ සේක.
විමුක්තිය සොයා වෙහෙසෙන බහුතරයක් භික්‍ෂූන් වහන්සේ සමාජයෙන් මිදී හුදෙකලා වෙති. තමාගේ විමුක්තිගාමී ගමන් මාර්ගයට සමාජගත වීමේ දී ඇතිවන යම් බලපෑම් මත අපමණ බාධාවන් පැමිණෙන බැවින් එවන් වූ භික්‍ෂූන් වහන්සේලා අරණ්‍යගත වෙති. රුක්‍ඛ මූල ගත වෙති. ශුන්‍යාගාර ගත වෙති.
එහෙත් රේරුකානේ මහා නාහිමියන්ගේ විශේෂත්වයක් විය. උන්වහන්සේ සද්ධර්මාවබෝධයෙන් අතිශය පොහොසත් වූ අතර උන්වහන්සේගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ මේ භවයේ දීම සංසාර ගමන නවතාලීමට ය.
මුල් අවදියේ දී පන්සලක වැඩ විසීමේ අදහසක් උන්වහන්සේ තුළ නොවීය. අරණ්‍යගත වී භාවනාවෙන් කල් ගෙවීම අපේක්‍ෂාව විය. එසේ සිතා අරණ්‍ය ගත වුව ද එහිදී ඇති වූ අසනීප තත්ත්වයන් නිසා වනයෙන් බැහැර වී ගම් තොටට පිවිසීමට සිදු විය. එහෙත් උන්වහන්සේ තම උතුම් අරමුණ වෙතින් බැහැර වීමට කිසිසේත්ම නොපෙළඹුණි. රේරුකානේ මා හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසති.
“මුල් කාලයේ පන්සල්වල හිඳීමේ අදහසක් මට තිබුණේ නැහැ. ආරණ්‍යයකට වෙලා බණ භාවනාවෙන් කල් ගෙවන්නටයි සිතා සිටියේ. එහෙම අරණ්‍ය දෙක තුනකටත් මා ගියා. නමුත් මට ඇති වෙච්ච අසනීපකම් නිසා, ඒ අදහස අත් හැරලා පන්සලටම ආවා. ඉතින් එහෙම අදහස් වෙනස් වෙනවනේ. මුලසිටම මාගේ ආශාව වුණේ මේ උතුම් ධර්මය හොඳට දැන ඉගෙන ගන්න ඕනෑ කියන එක. මේ ධර්මය ලියලා කියලා ඒ පිළිබඳව දැනුමක් අනෙක් අයටත් ලබා දෙන්නට ඕනෑ කියන අදහසක් මට තිබුණේ නැහැ. ප්‍රථමයෙන් මා මේ ධර්මය දැන ඉගෙන එයින් ප්‍රතිඵලයක් ලබන්නට ඕනෑ කියන අදහසයි මට තිබුණේ. සසරින් එතෙරවීම සඳහා කටයුතු කිරීමයි මට උවමනා කළේ.”
(උපුටා ගැනීම, ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමි විසින් ලියන ලද, රේරුකාන චන්දවිමල මහා නා හිමි පොතෙන්)
එහෙත් හුදෙකලාව අරණ්‍යගත වීම හෝ ශුන්‍යගාර ගතවීමෙන් බැහැර වූ මහා නා හිමියන්ට සිදු වූයේ ග්‍රාමවාසී භික්‍ෂූන් වහන්සේ නමක් වීමට ය. ඒ නිසාම සමාජය සමඟ නිතර ඇයි හොඳයි කම් කීමටත් ගනු දෙනු කිරීමටත් සිදු වූ නිසාම සමාජ යථාර්ථය හොඳින් ග්‍රහණය කර ගැනීමට අප මහා නා හිමියන්ට හැකි විය.
සමාජ ගත වී සිටිය ද උන්වහන්සේ වැඩ සිටියේ සමාජ භූමිකාවට වඩා ඉහළින් යැයි සිතේ. ග්‍රාමගත වීම නිසා මිනිසුන් සමඟ ජීවත් වෙමින් සමාජයේ ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳ දැන කියා ගන්නටත් ඒ නිසාම සමාජමය අවුල් වියවුල් දෙස උපේක්‍ෂාවෙන් සිත යොමු කිරීමටත් උන්වහන්සේට හැකියාව ලැබුණි. ඒ ඔස්සේ මේ සමාජය බැඳ තබනා වැරදි මත හෙළි කිරීමට සහ නිවැරදි ගමන් මඟ තෝරා බේරා ගනිමින් ඒ දුර්මත දුරු කරලීම වෙනුවෙන් පෙනී සිටීමටත්, උන්වහන්සේට හැකියාව ලැබුණි.
ආගම ධර්මය පිළිබඳව නිසි කියැවීමෙකින් තොරව සම්ප්‍රදාය හා බැඳුණු ගතානුගතික ක්‍රියාකාරකම් මතයන් පිළිබඳව චන්දවිමල මහා නා හිමියන්ට තිබුණේ වෙනත් දැක්මකි. එසේම අරුත්සුන් බොහෝ දේ කරපින්නාගත්ත වුන් බහුල යුගයක විෂම සමාජ භූමිකාවක නිවැරදි වේදිකාව මත හිඳිමින් උන්වහන්සේ පල කළ අදහස් කීපයකට ඔබගේ අවධානය යොමු කිරීම මෙවන් යුගයක වඩාත් කාලෝචිත යැයි ද සිතෙයි. හොඳයි අපි එසේ නම් ඒ දෙසට දැන් හැරී බලමු. දැන් මේ කතා කරන්නේ මා නොව චන්දවිමල මා හිමියන් ය.
“මතු ඵල ලබනු සඳහා කරන හැම දෙයකින්ම උසස් ලෙස ඵල ලැබිය හැක්කේ ඒ ඒ දෙය ගැන මනා දැනුම ඇතිව කරන තැනැත්තාටය. “කරන කාර්යය පිළිබඳ හොඳ දැනුමක් නොමැතිව වැඩ කටයුතු කරන්නවුන්ගේ වියදම සහ මහන්සිය බොහෝ සෙයින් නිශ්ඵල වෙයි. එසේ කරන දෙයින් ඵලයක් ලැබෙතත් ලැබෙන්නේ වියදමට මහන්සියට නොසරිලන අල්ප ඵලයකි.”
වරදවා කරන ප්‍රතිකාරයකින් සමහර විට රෝගියා මිය යන්නාක් මෙන් නො දැන කරන වැඩ වලින් සමහර විට විනාශයක් ද සිදුවේ.
“බුද්ධාගම ඇදහීම වනාහී උසස් ලෞකික ලෝකෝත්තර ඵල ලබනු සඳහා කරන්නකි. ආගම ඇදහීමෙන් ලැබිය හැකි ඒ උසස් ඵල ආගම පිළිබඳව දැනුම නොමැතිව නොමනා ලෙස ආගම අදහන බෞද්ධයාට නොලැබී යන්නේ ය.” “ මෙකල බෞද්ධයන් බොහෝ දෙනෙකුම සෑහෙන පමණට ආගම ධර්මය ගැන නොදත්තවුන්ය. එබැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන් ද නොයෙක් විට පව් සිදු කර ගනිති. සමහර විට පිනය යන අදහසින් පව් කරති.”
“පවය යන හැඟීමෙන් ඇතැම් පින්කම් නො කර හරිති. ඇතැම් බරපතළ පව්කම් ද ලඝු කොට සිතා කරති. බොහෝ වියදම් කොට බොහෝ වෙහෙසී දුබල පිනක් සිදුවන ලෙස දන් දෙති. නොමනා කොට සිල් රකිති. මහන්සිය නිෂ්ඵල වන හැටියට භාවනා කරති. මනාකොට ආගම නොදැනීම නිසා සමහර කරුණු වලදී සමහර විට පැවිද්දන් ද, නොමඟ යනු දක්නට ලැබේ.” (බෞද්ධයාගේ අත්පොත - සංඥාපනය) මෙම සරල කරුණු කීපයට වුව සිත් යොමු කිරීමෙන් හැඟී යන්නේ අද සමාජ විපර්යාසයන් දෙස බැලීමේ දී මෙම අදහස් එදාට වඩා අදට ගැලපෙන බවකි. උන්වහන්සේ දක්වන තවත් අදහස් කීපයකට ඔබගේ සිත් යොමු කරවමි.
“පහන් පූජාව සඳහා දැනට භාවිතා වන “ඝනසාරප්ප දිප්තේන” යනාදී ගාථාව කපුරු දල්වා පිදීම සඳහා කර ඇති ගාථාවකි. ඝනසාරප්ප යැයි කියන්නේ කපුරු වලටය. එබැවින් ඒ ගාථාව කියැවීම මට අපි‍්‍රයය.”
“දැනට මල් පූජාව සඳහා භාවිතා වන වණ්ණ ගන්ධ ගුණෝපේතං යනාදී ගාථාව ද මට අපි‍්‍රයය. පූජා කිරීමේ හොඳම ක්‍රමය යම්කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීමය. ඒ ගාථාවෙන් මල්වල ගුණ මිස බුදුගුණයක් නො කියැවේ. තවද ඒ ගාථාවෙහි ‘සන්තතිං’ යන වචනයෙන් තැනට ගැළපෙන්නක් සේ නොපෙනේ.
මල් පූජාවට භාවිතා කරන ‘පූජේමි බුද්ධං කුසුමේන නේන’ යනාදී ගාථාවෙන් ද යම් කිසි බුදුගුණයක් නොකියැවේ. එහි “පුප්පං මිලායාති යථා ඉදං මෙ” යනාදී ගාථාවේ අපරාර්ථයෙන් කියැවෙන්නේ තැනට අනුචිත කරුණකි.
“ආහාර පූජාව සඳහා භාවිතා කෙරෙන අධිවාසෙතු නො භන්තේ’ යනාදී ගයත් මට කීමට පි‍්‍රය නැති ගාථාවකි. එහි එකම භෝජනය පිළිගැනීම සඳහා ‘අධිවාසෙතු’ – පතිගණ්හාතු යන වචන දෙකක් යෙදී තිබීමත් පරිකප්පිතං යන වචනයෙන් මෙම ගාථාව පි‍්‍රය නැති වීමට හේතුවය. ‘පරිකප්පිතං’ යනු තැනට ගැළපෙන අර්ථයක් දීමට දුෂ්කර වචනයක් වන බැවින් ඇතැමුන් එය හැර අධිවාසෙතු නො භන්තෙ භෝජනං පරිකප්පියං යැයි ද ඇතැමුන් ‘අධිවාසෙතු නො භන්තෙ භොජනං උපනාමිතං’ යැයි ද කියනු ඇසේ. මේ ගාථාව පි‍්‍රය නොවේ. (පුණ්‍යෙීපදේශය - රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර පිටුව 8
අවශ්‍යතාවයට උචිත වූ ගාථාවන් පුණ්‍යොපදේශය සදහම් ග්‍රන්ථයේ නිර්දේශ කර ඇති නිසා එය කියවා බලත්වා!.
එසේම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමට අප නිබඳව භාවිතා කරන ගාථාවන් පිළිබඳව චන්දවිමල නා හිමියන් ඵල කරන මතය ද විමසා බලමු. දෙවියන්ට පින් දීමට දැනට භාවිතා කරන ‘එත්තාවතාච අම්හෙහි’ යනාදී ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිත ගාථාවකි. එහි එත්තාවතා යන වචනය යොදා තිබෙන්නේ එතෙක් පිරිත් කීම සඳහන් කිරීමට ය. මේ ගාථාව දක්නා ලැබෙන්නේ ද පිරිත් පොත්වලය. දානාදී පින්කම් කළ අවස්ථාවන්හිදී දෙවියන්ට පින් දීමට ඊට වඩා සුදුසු ගාථාවක් කළ හැකි බැවින්.
කතං අම්හෙහි මං පුඤ්ඤං
සබ්බ සම්පත්ති සාධකං

සබ්බෙ දෙවානුමෝදන්තු අම්හෙ රක්ඛන්තු සබ්බදා

යන ගාථාව පිළියෙල කෙරිණි. (පුණ්‍යෙපදේශය පිටුව 9 )
දැන් මියගිය ඥාතීන්ට පිං පැමිණවීමට කියන ‘ඉදං මො ඤාති නං හොතු සුඛිතා හොන්තු ඤාතයො’ යන ගාථාර්තය ද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නොව ‘තිරෝකුඩ්ඪ’ සූත්‍රයේ ගාථාවක කොටසකි. එයින් මිය ගිය ඥාතීන්ට පින්දීම කළ හැකි වුවද වඩා හොඳින් ඒ කටයුත්ත කළ හැකි වීමටත් අවිශේෂයෙන් මිය ගිය ඥාතීන්ට පින් දීමටත් මිය ගිය මා පිය පුත්‍ර කලත්‍රාදීන්ට විශේෂයෙන් පින්දිය හැකි වීමටත් ගාථා පෙළක් පිළියෙල කරන ලදී.
(පුණ්‍යෙීපදේශය පිටුව 9 – 10 )
පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නොහොඳකම් අනුවය. තුනුරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම් පිදුම් කළ යුතු වස්තු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනීමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරන්නවුන්ට එයින් උසස් පිනක් නොලැබිය හැකි ය. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමානුකූලව එය කරන තැනැත්තාටය. මේ අදහස් ස්වල්පය මා ගෙන හැර පෑවේ සම්ප්‍රදායට අභියෝග කරමින් උන්වහන්සේ දක්වන සද්ධර්මයට අනුකූල තාර්කික විග්‍රහය කෙරෙහි ඔබ අවධානය යොමු කිරීම උදෙසාය. නිසි ලෙස වන්දනාගාථාදිය ගැන දැන ගැනීමට රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ලියූ පුණ්‍යෙීපදේශය පොත කියවන්න වඩාත් පුළුල් ලෙස කරුණු අවධාරණයෙන් නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව පිණිස රේරුකානේ මා හිමියන් ලියූ පුණ්‍යෙපදේශය ඇතුළු අනෙකුත් පොත් පෙළ ඉතා සංයමයෙන් පරිශීලනය කළ යුතු වෙයි.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 14

ව්‍යාකූල වූ ගැටලු විසැඳීම වෙනුවෙන් චන්දවිමල මහා නා හිමියෝ නිබඳව වෙහෙසුන හ

ප්‍රථමයෙන් 1959 වසරේදී ලියා ඵල කළ ‘ධර්ම විනිශ්චය’ නම්වූ ධර්ම පුස්තකය , 2004 වසර වන විට තවත් හත් වාරයක් මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.

බුද්ධ ධර්මයේ යම් යම් තැන් වැරදි ආකාරයට තේරුම්ගත් ඇත්තන්ට නිවැරැදි පැහැදිලි අවබෝධයක් ලබාදීම උදෙසා වූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස ‘ධර්ම විනිශ්චය’ හඳුන්වා දිය හැකිය. පැන නගින ඇතැම් ගැටලු 100 ක් පිළිබඳව මෙම පොතෙන් පුළුල් විග්‍රහයක් කෙරෙයි.
ඔබට අපට ඇතැම් විට දැනෙන සැක සංකා දුරුකර ගැටලු නිරාකරණය කර ගනිමින් පැහැදිලි අවබෝධයක් උදෙසා ‘ධර්ම විනිශ්චය’ රැගෙන පරිශීලනය කිරීම වඩාත් ඵලදායි වෙතැයි සිතෙයි. ගතානුගතිකත්වය තුළ රැඳෙමින් ඇතැම්විට වැරදි සම්ප්‍රදායයන් තුළ සිරගතවූ ඔබගේ මනස නිදහස් කරගැනීමේ අපේක්‍ෂාවෙන් එහි ඇති ප්‍රශ්න කීපයක් ගෙන ඒවාට උන්වහන්සේ සපයා ඇති දීර්ඝ පිළිතුරු සංෂිප්ත කරමින්, එහෙත් අර්ථ විකෘති නො කරමින් ඉදිරිපත් කරමි.
ප්‍රශ්නය :- බුද්ධ ප්‍රතිමා තනා ඒවාට වැඳුම්පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම කළ සේක් ද?
උත්තරය :– මෙයට දිය යුතු කෙටිම පිළිතුර නම් එවැනි නියමයක් තථාගතයන් වහන්සේ විසින් නො කරන ලද්දේය කියාය. අනුන් ලවා ගරු බුහුමන් කර ගැනීමේ ආශාව බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලාට නැත. අනුන් ලවා ගරු බුහුමන් , වැඳුම්පිදුම් කරවා ගැනීමට උත්සාහ කරන්නේ කෙලෙස් සහිත වූ ලාමක අදහස් ඇති පුද්ගලයන් විසිනි. සියලු කෙලෙස් නසා සිටිනා ආර්යයන් වහන්සේලාට එවැනි ලාමක අදහස් කොයින් ද?
බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේට ගරුබුහුමන් පූජා සත්කාර කරන ලෙස නියෝගයක් හෝ ඉල්ලීමක් නො කරන ලද නමුත් උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් සැදැහැවතුන් කරන ගරු බුහුමන් පූජා සත්කාර පිළිගන්නා සේක. එබැවින් බුදුගුණ දන්නා සැදැහැවත්තු ජීවමාන වූද පිරිනිවියා වූ ද තථාගතයාණන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරති.
ප්‍රශ්නය :– වැඳුම් පිදුම් කිරීමේදි ගාථා කිය යුතුම ද? ගාථා නොකියා වැඳුම්පිදුම් කිරීම වරදක් ද?
උත්තරය :- වැඳුම් පිදුම් කිරීමට ගාථාවක් උවමනා බවක් ත්‍රිපිටකයෙහි හෝ අටුවා ටීකාවල හෝ සඳහන්ව නැත. පැරැණියන් වැඳුම් පිදුම් කළේ ගාථා කීමක් නැතිවය.
බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී උන්වහන්සේ වෙත එන ජනයා ගාථා කියා වඳින්නට පටන්ගත්තා නම් කොතරම් අවුලක් වේද කියා සිතා බැලිය යුතුය. උන්වහන්සේ වෙත පැමිණෙන අය වැඳීම් කළේ ගාථා නොකියා ය. එසේම දැනුදු ගාථා නොකියා වැඳීම හා මල් පහන් ආදිය පිදීම ඇති වරදක් නැත. විහාරයට ,චෛත්‍යයට බෝමළුවට ගොස් පසඟ පිහිටුවා තුෂ්ණිම්භූතව වැන්දාට වැඳීමේ කුසලය අත්පත් වේ. ගාථා නො කීමෙන් වැඳිම පිදුම් සිදු නො වීමක් නැත.
ඇතැම්හු ගාථා කියන්නට වුවමනා යැයි වරදවා සිතාගෙන ගාථා නොදැනීම නිසා වැඳුම් පිදුම් කරන්නට නො යෙති. එය වැරදි හැඟීමකි. ගාථා නොදත් අය විසින් ගාථා නොකියා වැඳුම් පිදුම් කළ යුතුය.
ඇතැම්හු තමන් ගාථා කීමට නො දත් බැවින් වැඳුම් පිදුම් කරන්නට වුවමනා වූ විට ගාථා කියවා ගන්නට තවත් අය සොයමින් වෙහෙසෙති. දේව පූජා වලට කපුවකු සොයන්නාක් මෙන් බුද්ධ පූජා කිරීමට ගාථා කියවීමට අය සෙවීමට වුවමනා නැත. කියවන කෙනකු ඇත්නම් ගාථා කියවා ගත්තාට වරදක් නැත. ගාථා කීමේ සිරිත ඇති වුයේ මෑත කාලයේ ය.
තේරුමක් නොදැන ගාථා කීම එතරම් ඵලක් ඇති දෙයක් නොවේ. ගාථා කියන පින්වතුන් ඒවායේ තේරුම දැන ගැනීමට උත්සාහ කළ යුතුය. වැඳුම්පිදුම් කිරීමේදි සිය බසින් ගෙතුණු තුනුරුවන් ගුණ පාඨ භාවිතා කිරීමේ දී රත්නත්‍රය ගුණ කී පමණට පින් සිදු වන බව සැලකිය යුතුය.
ප්‍රශ්නය :- දානයක් සංඝීක කිරීමට කොපමණ භික්‍ෂූන් වහන්සේලා සිටිය යුතු ද?
උත්තරය :- දානයක් සංඝීක කිරීමට යටත් පිරිසෙන් උපසම්පන්න භික්‍ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේය. එය සංඝීක කිරීමය යන්නෙහි අර්ථය නො දැනීම නිසා ඇති කරගෙන තිබෙන වැරදි හැඟීමකි. සංඝීක කිරීම භික්‍ෂූන්ට අයිති වැඩක් නොවෙයි. දායකයකුගේ දානයක් සංඝීක කිරීම දායකයාගේ වැඩකි. ආහාරපානාදී යම් කිසි වස්තුවක් සංඝීක කළ හැක්කේ ඒ වස්තුවේ අයිතිකරු විසින් පමණකි. අනෙකෙකුට එය නො කළ හැකිය.
දාන සංඝීක කිරීමේදී ‘ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම” යන වගන්තිය භික්‍ෂුවක් විසින් කියවන්නේ සාංඝික කිරීමේදී කිය යුතු ඒ වැකිය දායකයන් කියන්නට නො දන්නා නිසාය. සංඝීක වන්නේ භික්‍ෂුව විසින් ඒ වගන්තිය කියවන නිසා නොව දායකයා විසින් ඒ වස්තුව සංඝයාට පූජා කළ නිසාය.සංඝික යන වචනයේ තේරුම සංඝයාට අයත් දෙය යනුයි. සංඝයාට අයත් ‍ෙදය සාංඝික යැයි කියනු ලැබේ.
යම් කිසිවකු විසින් තමාට අයත් වස්තුවක් ඒ වස්තුවෙහි තමාට ඇති අයිතිය අතහැර එහි අයිතිය සංඝයාට පිරිනමනවා නම් එයට සාංඝික කිරීමක් යැයි කියනු ලැබේ.දාන වස්තුවක් සංඝික කිරීම ඒ වස්තුවෙහි අයිතිකරුට එක් භික්‍ෂුවක්වත් නැති තැනකදී වුවද කිරීමට පුළුවන.
එක් භික්‍ෂුවක් ඉදිරි පිටදීද කළ හැකිය. භික්‍ෂූන් දෙනමක් හෝ තුන්නමක් ඉදිරියේද කළ හැකිය. බොහෝ භික්‍ෂූන් ඉදිරියේද කළ හැකිය.
ප්‍රශ්නය :- එසේ නම් සංඝීක දානයක් දිය යුතු හොඳම ක්‍රමය කෙසේ විය යුතුද?
උත්තරය :- මෙකල සංඝීක දාන දෙන පින්වතුන් දසනම පහළොස් නම විසි නම ආදි වශයෙන් යම් කිසි භික්‍ෂූන් වහන්සේලා ගණනකට ආරාධනා කොට ඒ ආරාධනා කළ භික්‍ෂූන් වහන්සේලාට දෙන බලාපොරොත්තුවෙන් ම ඒ භික්‍ෂූන් වහන්සේලා ගණනටම දන් පිඟන් හා පරිෂ්කාරයන් ද සූදානම් කොට භික්‍ෂූන් වහන්සේලා පැමිණි කල්හි ඒ භික්‍ෂූන් වහන්සේලා ඉදිරිපිට පිළියෙල කළ දානය හා පරිෂ්කාරයන් තබා ඉමං භික්ඛවේ භික්ඛුසංඝස්ස දෙම” යන අපරිච්ජින්නක මහා සංඝයාට දීමේ දී කිය යුතු වාක්‍ය කියා, පසුව ඒ භික්‍ෂූන් වහ්නසේලාට ම ඒ දානය දෙති.
දස නමකට දානයක් දෙන තැනැත්තා බලාපොරොත්තු වන්නේ තමා ආරාධනා කළ දස නමට දීමට නම් දානය පිළියෙල කර ඇත්තේ ඒ දසනමටම නම් කටින් පමණක් මහා සංඝරත්නයට දීමේ වාක්‍යය කීමෙහි තේරුමක් තිබේද? මෙය ගතානුගතිකව අවිචාරවත්ව කරන වැඩක් නොවේද? සංඝික කිරීමය, සංඝයාට දීමය, සංඝයාට පූජා කිරීමය යන වගන්ති තුනෙන්ම කියැවෙන්නේ එකම කරුණකි.
ඒ බව බොහෝ බෞද්ධයෝ නො දනිති. සාමාන්‍යයෙන් බෞද්ධයන් පූජා කිරීම ලෙස සලකන්නේ යම් කිසිවක් තමන්ගේ අතින්ගෙන භික්‍ෂූන් වහන්සේගේ අතෙහි තැබීමය. “ඉමං භික්ඛං භික්ඛූ සංඝස්ස දෙම” යන වාක්‍ය කීම දීමක් හෙවත් පූජා කිරීමක් බව ඔවුහු නො සලකති. එබැවින් ඒ වාක්‍ය කීමෙන් පසු ඔවුහු නැවත ඒ දාන වස්තු වෙන වෙනම පූජා කෙරෙති. අර වාක්‍ය කියන අවස්ථාවේදී ඔවන් සිතිනුත් ඒ වස්තූ®න් පූජා කළා නම් නැවත පූජාවක් කරන්නට ඉදිරිපත් වන්නට අවශ්‍යතාවයක් නැත. නැවත පූජා කිරීමට ඉදිරිපත් වීමෙන් තේරුම් ගන්නට තිබෙන්නේ භික්‍ෂූන් වහන්සේ කියවන නිසා ඉහත වාක්‍ය කියනවා මිස ඔවුන් පූජා කිරීමක් වශයෙන් ඒ වාක්‍ය නො කී බවය. දායකයා විසින් සිතිනුත් ඔහුගේ අයිතිය අතහැර සංඝයාට හිමි කිරීමේ අදහසින් තොරව ඒ වාක්‍යය කීවේනම් එයින් එම දාන වස්තු සාංඝික නොවේ. දැන් කරන පරිදි සංඝීක වාක්‍ය කීමෙන් ඒ වස්තූ®න් සංඝික වනවා ද නැති ද යන බව ද තේරුම් ගැනීම අපහසු කරුණකි. එබැවින් දැනට කරගෙන යන සංඝීක දාන දීමේ ක්‍රමය අවුල් වැඩක් බව කිය යුතුය.
“එත්තකා මෙ භික්ඛුසංඝතො උද්දිසථා ති දානං දෙති අයං ජට්ඨා සංඝගතා දක්ඛිණා” යි දක්‍ෂිණවිභංග සූත්‍රයෙහි වදාරා ඇති පරිදි සංඝයාගෙන් මට මෙපමණ භික්‍ෂූන් වහන්සේලා ලබා දෙන්නය කියා සංඝ ස්ථවිරයන් වහන්සේ නමකට ආරාධනා කොට භික්‍ෂූන් වහන්සේලා ලබාගෙන ඒ පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාට දන්දුන්නාම සවන සංඝීක දානය වේ. එසේ කරන කල්හි ‘ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දෙම’ කියා සංඝීකයක් කිරීමට උවමනාවක් නැත. සංඝයා වෙනුවෙන් වැඩම කළ ඒ භික්‍ෂූන් වහන්සේලාට යම් පමණ ආහාරපාන පරිෂ්කාර දුන්නා නම් ඒ සියල්ල සංඝයාට දුන්නා වන්නේය.
පිළියෙල කළ දාන වස්තූන්ගෙන් යමක් ඉතිරි වූයේ නම් ඒවා සංඝික නොවන බැවින් අවුලක් නැතිව ම ඒ ඒ දායකයන්ට ම අයත්ය. ඒවායින් තමාට ප්‍රයෝජන ගත හැකිය. දැන් දැන් දෙන ක්‍රමයට සංඝික කොට බොහෝ ආහාරපාන විනාශ කෙරෙති. මෙසේ දන් දුන්නාම ඒ ආහාරපාන ද විනාශ නොවේ.
පුද්ගල විභාගයක් නැතිව සංඝයාගෙන් ලබාගෙන එක නමකට වුවද දෙන දානය සංඝික දානය වේ. තමාගේ ශක්ති ප්‍රමාණය අනුව මේ ක්‍රමයට දෙතුන් නමකට වුවද එක නමකට වුව ද බොහෝ ගණනකට වුව ද සාංඝික දානය දිය හැකිය. මෙසේ දන් දීමේදී මහා සංඝරත්නයේ ප්‍රයෝජන පිණිස පුදන ඇඳ පුටු ආදි විශේෂ භාණ්ඩ ඇත්නම් ඒවා පමණක් වාක්‍ය කියා සංඝ ගත කළ යුතුය. ඒවා සියලු සංඝයාට මිස ඒ පැමිණි භික්‍ෂූන් වහන්සේලාට අයත් නොවේ. මේ කිසි අවුලක් නැතිව සංඝීක දානය දෙන ක්‍රමයයි. පෞරාණික දන්දීමේ ක්‍රමයත් මෙයයි.මෙකලත් බුරුම බෞද්ධයන් දන්දෙන්නේ මේ ක්‍රමයටය. අප රටට මේ ආහාරපාන වාක්‍යයක් කියා සංඝීක කිරීමේ පුරුද්ද කවර කලෙක කෙසේ ඇති වූවක් දැයි නො දනිමු.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 15

චන්දවිමල මහා නා හිමි පින් ඵල හටගන්වන පින් කෙතක්ම ය

ප්‍රශ්නය :– සිල්වත් භික්‍ෂූන් සොයා ඔවුන්ට දන් දීමය, පුද්ගල විභාගයක් නොකොට සංඝයාට දන් දීමය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද?
පිළිතුරු:- සංඝික දානය, පෞද්ගලික දානය යි, දාන දෙකොටසකි. පුද්ගලයන් තේරීම් කළ යුත්තේ පෞද්ගලික දානය දීමෙහි දීය. “ සීලවතො ඛො මහාරාජ, දින්නං මහප්ථලං නො තථා දුස්සීලො “ යනුවෙන් “මහරජ සිල්වතාට දීම මහත්පල වන්නේය. දුශ්ශීලයන්ට දීම එසේ නොවේ ය” යි තථාගතයන් වහන්සේ කොසොල් රජතුමාට වදාළ සේක. එබැවින් පෞද්ගලික දානය දෙන තැනැත්තාට සිල්වතුන් සොයා සිල්වතුන්ට දීම යහපත් බව කිව යුතුය. සංඝීක දානයක් දෙනවා නම් සිල්වතුන්ට කියා කොටසක් තෝරා ඔවුනට දෙන්නට බලාපොරොත්තු නොවිය යුතුය.
තෝරා කොටසකට දෙන දානය සාංඝීක දානයක් නොවේ. සංඝීක දානයක් දෙන තැනැත්තා විසින් කොටසක් වෙන් නො කොට සම්පූර්ණ සංඝරත්නයට දෙමිය කියා දිය යුතුය. සංඝීක වන්නේ එසේ දෙන දානයය. “ නත්වෙවාහං ආනන්ද, කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලිකං දානං මහප්ඵලතරං වදාමි” යි ආනන්දය කවර ආකාරයකින්වත් මම සංඝීක දානයට වඩා පෞද්ගලික දානය මහත් ඵලතරයයි නො වදාරමි. දක්‍ෂිණ විභංග සූත්‍රයෙහි වදාරා ඇති බැවින් සිල්වතුන් සොයා ඔවුනට දෙන පෞද්ගලික දානයට වඩා පුද්ගල විභාගයක් නොකොට සංඝයාට දන්දීම යහපත් බව කිව යුතුය. දිනක් තථාගතයන් වහන්සේ ලී වෙළෙඳකු අමතා මෙසේ වදාළහ.
” ගෘහපතිය සංඝයාට දන් දෙව. සංඝයාට දන් දෙන කල්හි නුඹේ සිත පහදන්නේය. එයින් නුඹ මරණින් මතු ස්වර්ගයෙහි උපදින්නේය.
තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත. සංඝරත්නයට දෙන තැනැත්තා දෙන්නේ සිල්වතුන්ට ය. සංඝයාට දෙන දානය දුශ්ශීලයන්ට අසුවුවත් එයින් දායකයා ගේ පිනට හානියක් නැත. මක්නිසාද ? දායකයා දෙන්නේ දුශ්ශීලයන්ට නොව සංඝයාටය , සංඝයා සිල්වත් ය.
එසේම දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවේ කියැවෙන පරිදි සංඝයාට ගරු කළ හැකි තැනැත්තාට රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා සඟින් ලබාගත් දුශ්ශීලයකුට දෙන දානය මහත්ඵලය. එය එසේ වන්නේ එය සංඝීක දානයක් වෙන බැවිනි.
රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ලියූ” ධර්ම විනිශ්චය” මහඟු ග්‍රන්ථයෙන් මෙසේ ඉතා ව්‍යාකූල ලෙස අප සිතන ගැටලු සහගත ධර්ම කරුණු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය අවබෝධය ධර්මයට අනුකූලව දක්‍ෂිණවිභංග, දාරුකම්මික ආදී සූත්‍ර අනුසාරයෙන් පෙන්වා දෙති.
ධර්මය ඉතා මැනවින් තේරුම් ගැනීමටත්, -පවිත්‍ර වූ සිතින් දානාදී පින්කම් ආදියේ නිසි පරමාර්ථය දැන නිවැරදි ලෙස කරනා ක්‍රියා පිළිවෙත් ආදිය පිළිබඳව සැබෑ බෞද්ධ සිත පැහැදුල් නිරවුල් කිරීම වෙනුවෙන් චන්දවිමල මහා නා හිමියන් නිබඳව වෙහෙසී ඇතිබව මෙවන් ප්‍රශ්න සහ ඒවාට උන්වහන්සේ ලබා දී ඇති පිළිතුරු අනුසාරයෙන් අපට ඉතා පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි වෙයි. ඒ අවබෝධය තුළ සද්ධර්ම කෙම්බිමෙහි යන අපගේ ගමන් මගේ ව්‍යාකූලතා පැන නො නගී. ඒ ගමන් මඟ නිරවුල්ය. පැහැදිලිය.
චන්දවිමල මහා නා හිමියන් තුළ වූ මහා පුළුල් ධර්මාවබෝධය මෙන්ම ඒවා තම අධ්‍යාත්මය තුළ පෝෂණය කර ගැනීමෙන් උන්වහන්සේගේ සසර ගමන ඉතා කෙටි වූවා හෝ මේ භවයේදීම නැවතුණා හෝ විය හැකි යැයි බොහෝ අයගේ විශ්වාසය වෙයි.
”භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඉතා මැනවින් ගුණ ධර්ම පිළිපැදීම නමැති ආර්ය මාර්ගයට පිළිපන්නේ වෙයි.ඇද නැති ඍජු ධර්ම මාර්ගයේ ගමන් කරන්නේමය. නිවන් මගට පිවිසෙන්නේමය. නිවන් දැකීමට සුදුසු ප්‍රතිපත්තියට සපැමිණෙන්නේමය. ලෝ වැසියන්ට උත්තම පින් ඵල හට ගන්වන පින්කෙතක්මය” සැබෑ බුද්ධ පුත්‍රයන් පිළිබඳ අර්ථ විවරණය කර ඇත්තේ එලෙසය.
උතුම් සංඝරත්නය තුළ වන මේ සමර්ථතා විමසන විට රේරුකානේ චන්දවිමල මා හිමියන් එම සංඝ රත්නයේ සැබෑ ලක්‍ෂණ විද්‍යාමාන කළ පින් ඵල හටගන්වන පින් කෙතක්මය. බෞද්ධයෝ වන අපි නිතර ධර්ම දේශනාවන්ට සවන් දෙමු. එහෙත් ඒවා නිසි ලෙස පිළිපදින්නට පෙළඹෙන්නේ ඉතා ස්වල්පයකි. මෙතරම් බුදු බණ අසන රටක් ධර්ම දේශනා කරන රටක් ලොවේ වෙන කොහේවත් නොමැති බව හැඟෙයි. එහෙත් බහුතරයක් වූ අපි නිවැරදි ධර්ම මාර්ගයට අවතීර්ණ වී හිඳිමුද?
අපි පින් කම් වල නියැලෙමු. අවසානයේ යම් කිසි පුණ්‍ය කර්මයක් සිදුකර මෙතේ බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරන්නෙමු. එය නිතර සුලබව අසන්නට ලැබෙන ප්‍රාර්ථනාවකි. අපි කවුරු කවුරුත් අපේක්‍ෂා කරන්නේ පරම පිවිතුරු වූ නිවන් අවබෝධ කර ගැනීමටය.
ඒ නිසාම කෙනෙකු මරණයට පත් වූ විට කොඩි බැනර් ආදිය ප්‍රදර්ශනය කරමින් අහවල් උපාසක මහතාට උපාසිකාවට ‘ නිවන් සුව අත්වේවායි’ ප්‍රාර්ථනා කරමු. අවමංගල්‍යය සභාවේදී භික්‍ෂූන් වහන්සේගේ පුණ්‍යානුමෝදනාවේදීත් ගුණ කථනාදියේ දීත් ශීතල වු චිතකය අසල රැඳෙමින් අපි සැම උණුසුම් ලෙස වාග් චාතුර්ය පාමින් අවසානයේ අභාවප්‍රාප්ත වූ අසවල් තැනැත්තාට අජරාමර වූ නිර්වාණ සුවය අත්වේවා! යන්න ප්‍රාර්ථනා කරමු. ප්‍රතිඵලදායක වුවත් නැතත් ප්‍රාර්ථනය නම් හොඳය.
එහෙත් මේ කෙටි දිවි මගේදී විශාල ලෙස නොයෙකුත් දුරාචාරයන්හි නියැලුණු කෙනකුගේ හෝ ජාවාරම්කාරයකුගේ හෝ එවන් දුර්ගුණයන් පිරුණු මිනිසකුගේ හෝ ඔහු මිය ගිය දාට බෞද්ධයන් වන අපට මැරුණු මිනිසා සත් ගුණවත් උපාසකයෙකි. එවන් මිනිසුන්ට නිර්වාණය මොනතරම් දුර දැයි සිතා ගැනීමත් අපහසුය. අද නිර්වාණය – විමුක්ති සුවය ආදි වශයෙන් අරුත් ගැන්වෙන මෙම පරම පිවිතුරු අති පූජනීය තත්වය වචනාර්ථයෙන් බොහෝ සරල තැනකට ලඝු වී තිබේ.
මෙම පරමාර්ථාර්ථයේ ඇති උත්තරීතර ගැඹුරු ගාම්භීර බව පිළිබඳවකිසිදු හැගීමක් නැති තරම් ය. බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරන අපිට ඇත්තෙන්ම පහසුවෙන් ලෙහෙසියෙන් නිවන දැකිය හැකිවේද? මෙතේ බුදුන් දැකිය හැකිද?
වර්තමාන සමාජයේ මෙවන් කතා ක්‍රියා දකින විට මෙනෙහි කරන විට හැඟෙන්නේ අපි මෙවන් දේවල් කරන්නේ යථාවබෝධයෙන්ද යන්නයි. චන්දවිමල හිමියන් ලියූ “චතුරාර්ය සත්‍ය” ග්‍රන්ථයේ උන්වහන්සේගේ හැඳින්වීමෙහි මෙසේ සඳහන් වෙයි.
වර්තමාන බෞද්ධයෝ විහාර දාගබ්, බෝ කොටු සංඝාවාස ළිං පොකුණු ආදිය කරවා බණ පිංකම් පිරිත් පින්කම් කොට දන්දී සිල් රැක ඒවායේ අනුහසින් පමණක් මතු බුදු වන මෛත්‍රය බුදුරදුන් දැක උන්වහන්සේගෙන් බණ අසා නිවන් දකින්නට බලාපොරෙත්තු වෙති. ඒවායින් ඔවුන්ට සමහර විට මෛත්‍රය බුදුරජුන් දකින්නට නම් පුළුවන් විය හැකිය. ඒ බුදුරජුන්ගෙන් බණ අසන්නටද ලැබිය හැකිය. එහෙත් නිවන් දකින්නට නම් ඒ පින් ප්‍රමාණවත් නොවන්නේය.
බුදු කෙනෙකුන් දුටු පමණින් කෙනෙකුගෙන් දහම් ඇසූ පමණින් සෑම සත්වයකුටම නිවන් දකින්නට හැකි වන්නේ නොවේ. බුදුවරයන් දෙසන ධර්මය අසා බොහෝ සත්වයන් එකෙනෙහි ම සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පැමිණ නිවන් දක්නා බව නම් ඇත්තකි. එහෙත් පිපෙන තරමට නො වැඩුණු නෙළුම් මල හිරු රැස් පහස ලදත් නො පිපෙන්නාක් මෙන් මාර්ග ඵල ලැබීමට හේතු සම්පත් නැත්තෝ බුදුරජුන්ගෙන් දහම් ඇසුවාහු ද මගපල ලබා නිවන් නො දකිති. බුදු රජුන්ගෙන් දහම් ඇසූ කල්හි මාර්ගඵල ලැබීමට පාරමිතා සම්පූර්ණ වි තිබිය යුතුය.
ගසක තිබෙන මිහිරි ඵලයක රසය බුදිනු කැමැති පක්‍ෂියාට එය බුදීමට නම් ගසට යාමට පියාපත්ද ඵලයට කොටා සිදුරු කර ගැනීමට තුඩද තිබිය යුතුය. පියාපත්ය. තුඩය යන දෙකින් එකක් හෝ නොමැතිව එකකින් පමණක් පක්‍ෂියාට කිසි කලෙක ඵල රසය වැළඳිය නොහේ. එපරිද්දෙන්ම මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වළඳනු කැමති පුද්ගලයන්ට ද ඒ අමෘත රසය වැළඳිය හැකි වීමට අමෘත ඵල දරන රුකක් බඳු වූ බුදු කෙනකුන් වෙත යා හැකි වීමට පියාපත් බඳු වූ පාරමිතා කොටසක් තිබිය යුතුය.අමෘත ඵල රසය වැළඳීමට පක්‍ෂියාගෙ තුඩ බඳු වු පාරමිතා කොටසක් ද තිබිය යුතුය.
සුගතියෙහි උපදවන පින් කොට සුගතියෙහි ඉපිද සිටියහොත් ඒ පුද්ගලයාට ලෝකයෙහි බුදු කෙනෙකුන් පහළ වුවහොත් ඒ බුදුන් දැකිය හැකිය. උන්වහන්සේගෙන් දහම් ඇසිය හැකිය. එබැවින් දන්දීම් ආදි පින්කම් බුදුන් දකින්නට උපකාරවන කරණු වෙති. ඒවා ඵල රසය වළඳනු කැමැති පක්ෂියාගේ පියාපත බඳුය.
පියාපත් බඳු පාරමිතා කොටස පමණක් සම්පූර්ණ කොට පක්‍ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටස සම්පූර්ණ නැති පුද්ගලයන්ට බුදුන් දකින්නට දහම් අසන්නට ලැබෙතත් ධර්මය අවබෝධ කොට මාර්ගඵල නිර්වාණයට පැමිණිය හැකි නොවේ. කුමක් හෙයින්ද? බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නා වූ පරමාර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ චතුරාර්ය සත්‍යය ධර්මය අති සූක්‍ෂම වූ අති ගාම්භීර වූ ධර්මයකි.
එය අවබෝධ වන්නේ පෙර ජාති වලදී ස්කන්ධාදී ධර්ම විභාගයන් උගෙන ප්‍රඥාව දියණු කරගෙන සිටියා වූ සත්වයන්ට පමණකි. ස්කන්ධාදී ධර්ම විභාගයන් උගෙන දියුණු කරගත් නුවණක් නැත්තා වූ පුද්ගලයන්ට එය අවබෝධ නොවේ. එබැවින් ඔවුහු ඒ ධර්මය ඇසුවත් මාර්ග ඵලයකට නොපැමිණෙති.



රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 16

අති දුෂ්කර කාර්යයක මහත් ඵලය

චන්දවිමල මහා නා හිමියන් සාම්ප්‍රදායික දෘෂ්ටි ගත ගතානුගතිකත්වයෙන් මිදී තමා තුළ වූ පුළුල් නිරවුල් දැක්ම මත පිහිටා ධර්ම කරුණු බොහොමයක් පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහයක් ඉදිරිපත් කළ සේක. එවන් වූ ව්‍යාකූ®ලතා සහිත ගැටලු කීපයක් පිළිබඳව පෙර දිනවලදි අපි සාකච්ඡා කළෙමු.
උන්වහන්සේ වර්තමාන භික්‍ෂු අධ්‍යාපනය ක්‍රමය පිළිබඳවද කතා කිරීමට අමතක නොකළහ. ඒ පිළිබඳව මහා නා හිමියන්ගේ අදහස නම් මේ රටේ භික්‍ෂූන් වහන්සේ සඳහා සකස් වී ඇති භික්‍ෂු අධ්‍යාපනය ක්‍රමය කොහෙත්ම නො ගැළපෙන බවය.
භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය වන්නේ භික්‍ෂු ජීවිතයට අවශ්‍ය වන්නාවූ සියලුදේ හොඳින් දැනගැනීම සහ ත්‍රිපිටක ධර්මය මනාසේ ඉගෙන ගැනීම බව මහා නා හිමියන්ගේ අදහසය. එය ඉගෙනගත යුත්තේ ආරාමයේදීය. බුරුම රටේ ආරාමික ජීවිතයේ ඇති සුවිශේෂත්වය නම් මෙම ඉගැන්වීම් ඉතා හොඳින් එහිදී සිදු කෙරෙන බවය.
අපේ රටේද විහාරස්ථානයන්හි මේ මෑතක් වනතෙක් තිබුණු එම ආරාමික අධ්‍යාපනය මේ වන විට බොහෝ දුරට ශීඝ්‍රයෙන් ඈත් වී ගෙන යන බව මා හිමියන්ගේ අදහසය.
සිංහල පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ විශාරද පඩිවරු හිටියේ පන්සල්වල බව උන්වහන්සේ පවසති.
ඒ කාලයේ ආරාමික අධ්‍යාපනය තුළින් හොඳ සාමණේර භික්‍ෂුවක් සකස් වූ බවත් තමන්ගේ ගුරු භික්‍ෂූන් වහන්සේ සමීපයේදී මහණ දිවියට අවශ්‍ය සියලු දේ ඉගෙන ගෙන අංගසම්පූර්ණ පැවිදි ජීවිත සකස් කරගත් දැන උගත් පැවිද්දන් මේ රටේ සෑහෙන ප්‍රමාණයක් සිටි බවත් උන්වහන්සේගේ අදහසය. එකල ආරාමික අධ්‍යාපනයට ගැළපෙන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සකස්වී තිබුණු බවද උන්වහන්සේ පවසති. තවදුරටත් ඒ පිළිබඳ තම අදහස් චන්දවිමල මා හිමියෝ මෙසේ ප්‍රකාශ කර සිටිති.
‘ආරාමික අධ්‍යාපනයේදි කට පාඩම් කරන පොත පත පිළිබඳව වැඩිපුර ඉගෙනීමක් ලැබුනේ පිරිවෙන තුළින, ඒ නිසා හරි කදිමට මේ දෙක ගැළපී සිටියා. ඒ වගේම බාධාවකින් තොරව ශිෂ්‍යයන් ඉදිරියට ගියා.දැන උගත් පැවිද්දන් බිහි වුණා. ඒ නිසා භික්‍ෂූන් වහන්සේලා සඳහාම යුගයට ගැළපෙන හොඳ අධ්‍යාපන ක්‍රමයක් සකස් වෙන්නට ඕනෑ. එය භික්‍ෂූන් වහන්සේලා සඳහාම සකස් වූ ත්‍රිපිටකය මුල්කරගත් භික්‍ෂු අධ්‍යාපන ක්‍රමයක් විය යුතුයි. නමුත් එවැනි අධ්‍යාපන ක්‍රමයක් සකස් වන බවත් පේනතෙක් මානයේවත් දකින්නට නැහැ. මේ එක්කම මා කියන්නට ඕනෑ ලංකාවේ සියලුම සංඝයාට බලපාන විදියේ ක්‍රමවත් භික්‍ෂු සංවිධානයක්ද ඉතාමත්ම අවශ්‍ය බව”
“අද පැවිදිවීමේ මූලික පරමාර්ථ බොහෝ දුරට වෙනස් වී ඇති බවක් පේනවා. ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ජි කරණත්ථාය’... කියා පැවිද්ද ඉල්ල හිටිය ද අද බොහෝ විට ඒ පරමාර්ථ නැහැ. බොහෝ තරුණ ඇත්තන්ගේ අදහස වී තිබෙන්නේ උපාධියක් සමත්වීම හා ඒ අනුව මුදල් ඉපැයීමේ රැකියාවක් ලබා ගැනීමයි. ඉගෙනීමත් බොහෝ විට ප්‍රථම උපාධියෙන් අවසන් කර ගන්නවා. වැඩිපුර ඉගෙනීම සඳහා උනන්දුව ඉතාම අඩුයි. අප මොන දේ කළත් මූලික පරමාර්ථවලින් සහමුලින්ම පිට පනින්න හොඳ නෑ”
අද ගුණධර්මවලින් විශාල පිරිහීමක් දකින්නට තියෙනවා. නමුත් ඒක පුදුම වෙන්න දෙයක් නොවෙයි. කකුසඳ, බුදුහාමුදුරුවන්ගේ ශාසනයත් කලක් තිබිල පිරිහිලා ගියා. කෝණාගම බුදුහාමුදුරුවන්ගේ ශාසනයත් ඉක්මනින්ම පිරිහිලා ගියා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයත් ඒ වාගේම පිිරිහිලා ගියා. ගෞතම බුදුහාමුදුරුවන් ගේ ශාසනයත් කාලයක් තිබිලා පිරිහිල යාවි. දුක්වෙලා වැඩක් නැහැ . ඇතිවෙනවා දියුණුවෙනවා පිරිහිලා යනවා නැතිවෙනවා. ඒක තමයි ලෝක ස්වභාව ධර්මය. සියල්ල ඇතිවෙලා, පැවතිලා, පිරිහිලා, නැතිවෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ද ඒ බව දකින්න කියන්න අහන්න ලැබෙනවා “
“පිරිහීම සිදුවන්නේ ස්වභාවධර්මය අනුවය. කවුරු මොන තරම් උත්සාහ ගත්තත් මේ ශාසනය මුලින් තිබුණු තත්ත්වයට පත් කරන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. බුද්ධ කාලයේ තත්ත්වය නොවෙයි අද පවතින්නේ. අනුරාධපුර යුගයේ තත්ත්වයට වත් මේ ශාසනය නැවත ගන්න බැහැ “
චන්දවිමල මාහිමියන් පවසන්නේ ස්වභාවධර්ම න්‍යායට ලොව පවතින සියලු දේම නතුවන බවය. සද්ධර්මය පවා එයට ඇතුළත්වීම ධර්මතාවය බවය. ක්‍රමයෙන් ලෝකය විනාශය කරා පත්වන විට පැවැත්මේ පිරිහීමද විනාශයද ළඟා වෙයි.
චන්දවිමල මා හිමියන් ඒ පිළිබඳව තව දුරටත් විග්‍රහයක යෙදෙමින් මෙසේද පවසති.
“යමක් පරණ වුණාම සුළු සුළු අලුත්වැඩියාවක් කරලා ඒක පාවිච්චි කරනවා. ගෙවල් ,මෙන්ම ඇඳුම් පැලඳුම් පරණවුණාම අලුත්වැඩියා කරලා එසේත් නැතිනම් අණ්ඩ දමලා තව ටික කලක් ප්‍රයෝජනයට ගත හැකියි. එසේ බුද්ධ ධර්මය පරණ නූනත් ශාසනික වැඩපිළිවෙල දැන් හුඟක් පරණ වෙලයි තියෙන්නේ”
එසේ මොන තරම් පරණ වුණත් නුවණ තියෙන එක්කෙනාට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්”
“එසේ වූවත් අද ඉන්න පැවිද්දන් මහ රහත් තත්ත්වයට පත් කරන්න බැහැ. අද මාර්ගඵල ලැබීම අපහසුයි. මාර්ගඵල නැතැය කියා අද ඉන්න ඇත්තන්ට නින්දා කිරීමත් දෙස් කීමත් වැරදියි” වර්තමාන සමාජයේ මහණකම කියන එක හරිම දුෂ්කරයි.
“ දවසක් ජම්බුඛාදක කියන පිරිවැජියා අග්‍රශ්‍රාවක ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟට ඇවිදින් අහනවා.
ස්වාමීනි ලෝකයේ දුෂ්කරම කාර්යය කුමක්ද කියා.
ඒ වේලාවේදී සැරියුත් මහරහතන් වහන්සේ කියනවා ලෝකයේ දුෂ්කරම කාර්ය මහණකම බව .
ඊළඟට පිරිවැජියා අසනවා මහණවුණු තැනැත්තාට දුෂ්කරම කාර්යය කුමක්ද කියල එයට සැරියුත් මහරහතන් වහන්සේ මෙසේ පවසනවා. මහණ වුණ තැනැත්තාට දුෂ්කරම කාර්යය තමයි ඒ දෙයට සිත අලවගෙන ඉඳීම කියල. මහණකමට සිත අලවගෙන ඉන්න කෙනාට දුෂ්කරම දේ මොකක්ද කියල ඊළඟට පිරිවැජියා අහනවා.
මහණකමට හිත අලවගෙන ඉන්න කෙනාට ඊළඟට දුෂ්කරම දේ තමයි ධර්මානුකූලව පිළිපැදීම බව සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා.
මේ ප්‍රකාශයෙන් හැඟෙන්නේ භික්‍ෂූත්වය මහත් දුෂ්කර කාර්යයක් බවයි. භික්‍ෂු ජීවිතය මෙන්ම විශේෂයෙන් භික්‍ෂු ආධ්‍යාත්මය නිසි අයුරෙන් පවත්වාගෙන යෑම මේ විෂම සමාජ ක්‍රමය තුළ අති දුෂ්කර ව්‍යායාමයක් බව මෙයින් සනාථ වෙයි. මේ පිළිබඳව අවසාන වශයෙන් චන්දවිමල මහා නාහිමියෝ මෙසේ ප්‍රකාශ කරති.
“මහණකම ඉතාම දුෂ්කර එකක්. අන්න ඒ දුෂ්කර දේ මේ රටේ දහස් සංඛ්‍යාත පිරිසක් කරනවා. ඒ පිරිස විසිපන් දහසක් විතර වන බව සමහරුන් පවසනවා. මේ දුෂ්කර වැඩේ කිරීම ගැන ඒ ඇත්තන්ට නැවතත් මා ප්‍රශංසා කරනවා. මහණකම නොකරන එක්කෙනාට වඩා හොඳයි කරන එක්කෙනා. ඒ නිසා මේ රටේ පොදු ජනතාවගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි. පැවිද්දන්ට අවමන් කරන්න එපා. ඒ අය කරන්නේ දුෂ්කර අමාරු වැඩක්. මුල් කාලෙට වඩා ශාසනයේ පිරිහීමක් ඇතිවී තිබෙන එක ස්වභාවිකයි. සියල්ල අනිත්‍යයි.
බුද්ධ ශාසනයද නිත්‍ය දෙයක් නොවෙයි. මේ ශාසනය චිරාත් කාලයක් පැවැත්වීමට නම් ගිහියන්ගේ ආධාරය ඕනැ කරනවාමයි. ගිහියන් භික්‍ෂූන්ට දොස් කියන්න කියන්න වඩා ඉක්මනට පිරිහෙනවා.
චන්දවිමල මහා නා හිමියන් භික්‍ෂු සමාජය පිළිබඳව මෙවැනි අදහසක් ප්‍රකාශ කළේ මීට වසර 18 කට පමණ පෙරය.
සමාජ සාරධර්මයන්හි මෙන්ම ආර්ථික, සාමාජීය, සංස්කෘතික ,ආරාමික ගිහි වැනි දේසයේ සමස්ත ව්‍යුහයේම පරිවර්තනයන් වී ඇත්තේ සුබ පක්‍ෂයට නොව අසුභ දිශාවටය. ඒ පිළිබඳව උන්වහන්සේ මීට වසර 18 කට පමණ පෙරදී පල කළ අදහස් හි සත්‍යතාවය අද වඩාත් පැහැදිලි ලෙස දැනෙන සෙයකි.
මේ පිළිබඳව අප කම්පා විය යුතුද නොවේ. පැවැත්ම පිරිහීම හෝ වැනසීම අභිමුව කෙලින් සිටගෙන සිටීමේ ශක්තිය නිරවුල් මාර්ගයේ ගමන් කිරීමට අවැසි ආලෝකය පිවිතුරු බුද දහමින් අපට උගන්වනු ලබයි. එවන් දහමක් පසක් කරගත් මෙවන් උතුම් භික්‍ෂූන් වහන්සේලාගේ පරමාදර්ශි චරිත තුළින් ගත හැකි ආදර්ශයන් මත ජීවිතයේ සැබෑ යථාර්ථය අපට හොඳින් අවබෝධකර ගත හැකිවෙයි.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 17

සංඝ සමාජය දිදුලුවා ලූ නීල මාණික්‍යය

ලෝකය දුකින් පිරුණු තැනකි. දුක් අඩුකරගත් අය මිස සර්වප්‍රකාරයෙන් දුකින් මිදුණු පුද්ගලයෙක් පුහුදුන් ලොව කොතනකවත් නැත. මිනිසා කොහි සැඟව සිටියත් කෙසේ පරෙස්සම් වී සිටියත් දුක් කරදර ඔහු සොයා ගෙන ඔහු කරා එන්නේ ය. මිනිසා නොපතන මිනිසාට එපා වූ දුක් කරදර මෙසේ මිනිසා සොය සොයා එන නමුදු මිනිසා පතන සොයන සම්පත්තිය එසේ ඔහු කරා නො එන්නේ ය. එය ඔහුට පෙනි පෙනී දුවන්නේ ය. අමාරුවෙන් අල්ලා ගත්තද නො සිට පලා යන්නේ ය. එය ලෝකයේ ස්වභාවය වෙයි. එවැනි ලෝකයක උපන්නා වූ මිනිසාට පැමිණි දුක් ඉක්ම වීම ය, පැමිණිය හැකි දුක් වළක්වා ගැනීමය, නොලැබුව සම්පත් ලබා ගැනීමය, ලැබූ සම්පත් නොනැසෙන සේ පවත්වා ගැනීමය, මරණින් මතු අපාගත නොවී සුගතිගාමී වීමය, යන කරුණු පස සිදුකර ගැනීම ඉතා දුෂ්කර ය.
එය සිදුකර ගත හැකි වීමට බොහෝ නුවණ තිබිය යුතු වේ. නුවණ මද තැනැත්තා දෙලොවින්ම පිරිහෙන්නේ ය. මෙලොව පමණක් දක්නා තැනැත්තා පරලොවින් පිරිහෙන්නේ ය. මිනිසකුට ඒ කරුණු පස සිදු කරගත හැකි වීමට දතයුතු කරුණු බොහෝ ඇත්තේ ය. පිළිපැදිය යුතු උපදෙස් බොහෝ ඇත්තේ ය. ඒවාට නීති යැයි කියනු ලැබේ.
උභය ලෝකාර්ථය සිදු කරගත හැකි වන්නේ නීතිය දත් තැනැත්තාට ය. ලොව යෙහෙන් වෙසෙනු කැමැති සෑම දෙනා විසින්ම නීතිය උගත යුතු ය.
තථාගතයන් වහන්සේ විසින්ද නීතිය ප්‍රකාශ කරන ලද්දේ ය. බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සදුපදේශ ම මිස එක දුරපදේශයකුදු නොමැත. කෑම-බීම, පා සේදීම, මුවසේදීම, නෑම, මළ මුත්‍රා පහ කිරීම, කෙළ ගැසීම ආදී සුළු කරුණුවල දී පිළිපැදිය යුතු උපදෙස් පවා බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කර තිබෙයි. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිව යුතු ය.
සුපිරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිළිපදින්නා වූ තැනැත්තා තමාගේ උභය ලෝකාර්ථය ම සිදු කර ගන්නේ ය. පරාර්ථය ද සිදු කරන්නේ ය.”
1952 වර්ෂයේදී රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් විසින් ලියා පළ කරන ලද “බුද්ධ නීති සංග්‍රහය” නම් ග්‍රන්ථයේ සංඥාපනයෙන් ඉහත ප්‍රකාශය උපුටා ගන්නා ලදී. මෙය ඔබ සරලව කියවාගෙන ගියා විය හැකිය. නමුත් වඩාත් අවධාරණයෙන් එහි අදහස් හිතට ගෙන ඒ අනුව ජීවිතය සකසා ගන්නේ නම් තම එදිනෙදා දෛනික ජීවිත ඉතා යහපත් ලෙස පවත්වාගෙන යාමට ඉන් ලැබෙන්නේ මහත් පිටිවහලකි.
එවිට මිනිසා හික්මවීමට ඇතැම්විට බලයෙන් පටවන ලද රටක පවතින නීතිය අපට අවශ්‍ය නොවේ. දඬුවමට යටත් වීමට බිය නිසා අප බොහෝ දෙනා නීතිය පිළිපදිනව හැර ඉඩක් නිදහසක් ලද විට නීතිය පිළිපැදීමට වඩා එය නොපිළිපැදීමට පෙලඹේ.
බුද්ධ නීතිය එසේ නොවේ. එය මිනිසාගේ ආධ්‍යාත්මික සංවරභාවය ඇති කරවන්නේ නිසි අවබෝධය තුළිනි. අප සැබෑ බෞද්ධයන් නම් එම බුද්ධ නීති පද්ධතිය මනාසේ නුවණින් දැන ඒ අනුව ජීවිත මඟ සකසා ගැනීමට උත්සාහවත් විය යුතුය. එයින් මේ ලෝකයේදී පමණක් නොව මතු භවයද සුගතිගාමී වන බව ඉහත ප්‍රකාශය අනුව පසක් වෙයි.
එසේ නම් මේ නීති පොත අපට අවශ්‍ය වන්නේ නීති උල්ලංඝනය කර යටත් වූවකු ඉන් මුදා ගැනීමට නීතිමය ක්‍රියාදාමයකට අවශ්‍ය තර්ක ගොඩනැගීමට අධිකරණයකට ගොඩවීමට නොවේ.
එය අවශ්‍ය වන්නේ උභය ලෝකාර්ථ සැබෑ බෞද්ධයකු වී දුකින් මිදීමේ පරම පූජනීය තත්ත්වය ළඟා කර ගැනීම උදෙසාමය.
එසේ නම් මේ නීතිපොත සෑම බෞද්ධයකු විසින්ම මනා සේ පරිශීලනය කළ යුතු වෙයි.
ඒ පිළිබඳව ඔබට තවත් අවබෝධය වර්ධනය කිරීම උදෙසා - රේරුකානේ මහා නා හිමියන්ගේ “බුද්ධනීති සංග්‍රහයේ” සංඥාපනය වෙතට නැවතත් ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.
‘බුද්ධ නීතිය උභය ලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ සුපරිශුද්ධ නීතියක් වුව ද එය එක් තැන් නොවී පාලි සාහිත්‍යයේ විසිරී පවත්නක් වී තිබෙන බැවින් සෑම දෙනාටම එයින් ප්‍රයෝජන නොගත හැකි වී තිබේ. එබැවින් බෞද්ධයෝ ද සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබිය දී නීති ශාස්ත්‍රය උගෙනීමට ‘හිතෝපදේෂ’ ‘පඤ්චතන්ත්‍රවාදී’ අබෞද්ධ ග්‍රන්ථ භාවිතයට පටන් ගත් හ. බෞද්ධයන්ට සුපරිශුද්ධ බුද්ධ නීතිය පහසුවෙන් ඉගෙනීමට ක්‍රමයක් නැතිකමේ පාඩුව නොයෙක් වර අපට පෙනුණු බැවින් ‘බුද්ධ නීති සංග්‍රහය’ නමැති මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිණ. වාක්‍ය වශයෙන් හා ගාථා වශයෙන් දේශිත බොහෝ බුද්ධ නීති පාලි සාහිත්‍යයේ ඇත්තේ ය. ඒ සියල්ලම එක් තැන් කළහොත් ඉතා විශාල ග්‍රන්ථයක් වන්නේ ය. ග්‍රන්ථය විශාල වීමත් පරිශීලනය කරන්නවුන්ට කරදරයක් බැවින් අප විසින් වාක්‍ය වශයෙන් දේශිත නීති නොගෙන ධාරණයට පහසු වූ ගාථා වශයෙන් දේශිත නීති පමණක් එක්තැන්කොට භාව සන්නයක් ද ලියා මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙහි දීඝ නිකාය, මජ්ඣිම නිකාය සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ජාතක පාලිය, ධම්ම පදය, උදානය,ඉතිවුත්තකය, සුත්ත නිපාතය යන පොත්වලින් උපුටා ගන්නා ලද ගාථා 550ක් ඇත්තේය. මේ ග්‍රන්ථය භාවිතා කරන තැනැත්තා හට සෑම කටයුත්තකට ම බුදුන් වහන්සේගේ උපදෙස් ලැබිය හැකි වනු ඇත. මෙය බෞද්ධයනට හස්තසාර වස්තුවක් වශයෙන් නිතර ළඟ තබා ගෙන කියවීමට සුදුසු ග්‍රන්ථයකි. ධර්ම කථිකයන් වහන්සේලාට හා අන්‍ය කථිකයන්ටද ගුරුවරුන්ට ද ඉතා ප්‍රයෝජනවත් පොතකි. පිරිවෙන් සහ පාසල්වල ගුරුවරුන්ටද යෝග්‍ය පොතකි.”
බුදුන් වහන්සේ දේශනා කර ඇති ධර්මයේ ඇති නීති පිළිපැදිය යුතු කොටස් ත්‍රිපිටකයේ විවිධ තැන් හි විසිරී පවතී. ඒවා එක් තැනකට රැගෙන මෙසේ බුද්ධ නීති සංග්‍රහ සම්පාදනය කිරීමට ලේඛකයකුට මහත් උත්සාහයක් ගත යුතුව ඇත. එසේම මනා පරිචයක්ද අවශ්‍ය වෙයි. එවන් උදාර කටයුතු වෙනුවෙන් මහා නාහිමියන් කාලය - ශ්‍රමය - ඥානය වැය කර ඇත්තේ හුදී ජන පහන් සංවේගය උදෙසාමය.එම ප්‍රයත්නය මොනතරම් වටින්නේ දැයි හැඟෙන්නේ මෙවැනි මිලකට ලඝු කළ නොහැකි වටිනා පොත් විමසිල්ලෙන් කියැවීමෙනි.
උන්වහන්සේගේ පරමාදර්ශී ජීවිතය ගොඩනැඟෙන්නේ ‘බුද්ධ නීති සංග්‍රහයට’ අනුකූලවය. ඒ නිසාම මේ යුගයේ උදාර මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ මා හිමියන්ගේ වටිනාකම කියා නිමකළ නොහැක.
උන්වහන්සේ අද අප අතර නොසිටියද ‘රේරුකානේ චන්දවිමල’ නාමය කිසිදා මිය නොයන්නේ උන්වහන්සේ කළ මෙවන් වූ අමිල මෙහෙවර නොනැසී පවතින නිසාම ය.
එසේම ලෝක යථාර්ථය මනාසේ තේරුම් ගත් සැබෑ බෞද්ධයාගේ උත්සාහය නිර්වාණය අවබෝධ කර ගැනීමය. නිවන යනු සම්මුති අර්ථයෙන් ගත් කළ නිවීමය. අප මෙය පසක් කර ගෙන නොමැති නිසා ප්‍රඥාවේ දැන උගත්කමේ මට්ටම අනුව අවබෝධය ද විවිධ විය හැකි වේ.
රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ ‘නිර්වාණ විනිශ්චය’ නම් ග්‍රන්ථයේ සංඥාපනය වෙතට සිත් යොමු කිරීමෙන් ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකි වෙතැයි සිතේ.
“අති සූක්ෂම වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය මන්ධ බුද්ධිකයන්ට අප වැන්නන් විසින් නොව සර්වඥවරයකු විසින් ද අවබෝධ කරවිය නොහේ.
අපගේ ව්‍යායාමය මධ්‍යම ප්‍රමාණයේ ඥානයක් හා තීක්ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිසය. මධ්‍යම ප්‍රමාණ ඥානයෙන් යුක්ත වූවන්ට තේරුම් ගත හැකි වන පරිදි ග්‍රන්ථය හැකිතාක් උත්සාහයෙන් ලිහිල්කොට සම්පාදනය කළෙමු. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්ත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වන තුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතු ය.”

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 18

භාෂාවේ වචන හිඟකම නිසා අභිධර්මය පැහැදිලි කර ගැනීම අපහසුයි

“නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නේ එයට පැමිණියා වූ ආර්යයන් වහන්සේලා පමණි. පෘථග්ජනයන් විසින් උන් වහන්සේලාගේ වචනානුසාරයෙන් දත යුතු වේ. උන්වහන්සේලාට එය පෘථග්ජනයන්ට සුවසේ අවබෝධ වන පරිදි ප්‍රකාශ කිරීමට වචන නැත්තේ ය. කුමක් හෙයින්ද යතහොත් ලෝක ව්‍යවහාරයෙහි ලෝකයා විසින් නො දන්නා ලද අර්ථයන් ප්‍රකාශ කිරීමට වචන නැති බැවිනි. ලෝක ව්‍යවහාරයෙහි වූ වචන වනාහී පළමු කොට අර්ථය දැන දන්නා ලද අර්ථය ප්‍රකාශ කිරීම සඳහා පෞරාණිකයන් විසින් සම්මත කරන ලද්දාහු වෙති. නිර්වාණයෙහි වූ ගුණයන් ප්‍රකාශ කළ හැකි වචන වනාහී ලෝක ව්‍යවහාරයේ බොහෝ වෙති. එබැවින් ආර්යන් වහන්සේලා ඒ ඒ නිර්වාණ ගුණයන් නිමිත්ත කොට ගුණ වාචක ශබ්ද වලින් ගුණීභූත නිර්වාණය ප්‍රකාශ කළහ. උන්වහන්සේලා විසින් ඒ සඳහා ප්‍රකාශිත වචන බොහෝ වෙති.
මේ වචනවලින් පෘථග්ජනයන්ට ඒ ඒ ගුණ අවබෝධ වන නමුත් ගුණීභූත නිර්වාණය අවබෝධ නොවේ. ඒ වනාහී පරම්පරාභතාචායෝර්පදේශානුගමනය කොට පෘථග්ජනයන් විසින් දත යුතු වෙයි. නිර්වාණය ප්‍රකාශ කරන්නා වූ පාල්‍යාර්ථකථා ටීකාවන්හි අර්ථය විපරීතාකාරයෙන් ගෙන නා නා වාද ඇති කර ගැනීමට හේතුව ද මේ වචනාර්ථ දුරවබෝධාත්ත්වයම ය. පරම්පරා භතාචාර්යෝපදේශ නොමැතිව තමාම, පොත් බලා උගෙනීම කළා වූ ද එබඳු ආචාර්යෝපදේශ ඇසුරු කළා වූ ද ඇතැම්හු අපේ රටේ නානාකාරයෙක් නිර්වාණය ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබේ. චන්දවිමල මහා නා හිමියන් වහන්සේ මෙම ගැඹුරු විෂය පිළිබඳව නිර්වාණ විනිශ්චයේ සංඥාපනයෙහි සටහන වෙත ඔබගේ අවධානය යොමු කළේ. ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දීම උදෙසාය.
නිර්වාණය නමැති ඒ සදා සුව ඇති පිවිතුරු තත්ත්වයකට පත් වූවකුට හැර ඒ තත්ත්වය, ස්වභාවය පිළිබඳ විග්‍රහ කිරීමට නොහැකිය. එයට යොදා ඇති භාෂාවේ වචනයේ ඇත්තේ ඒ නිසා ම සම්මුති අර්ථයකි. සුවය, සැනසීම, පිවිතුරුභාවය යන්නෙන් පවා අපි අනුමාන වශයෙන් වචන හසුරවමු.
මෙම සන්නිවේදනය ඉතා සංකීර්ණ තත්ත්වයක් නොවන්නේදැයි ඔබට වැටහී යනු ඇත. අප ඔබ සැබෑ බෞද්ධයෝ නම් නිර්වාණ විනිශ්චය වැනි ග්‍රන්ථ ඉතා අවධාරණයෙන් කියවිය යුතුව ඇත.
ඒ නිසාම උන්වහන්සේ සඳහන් කර ඇති පරිදි මෙවැනි පොත් වරක් කියවා පැත්තකට දමා නොතැබිය යුතුය. නිතර නිතර පරිශීලනය කරමින් අවබෝධ කර ගත යුතු වෙමු.
උන්වහන්සේ ලියා පළ කළ ග්‍රන්ථ ඒ වායේ ඇති අන්තර්ගතය ගැඹුරින් පරිශීලනය කරමින් අවබෝධ කර ගනිමින් අපගේ ආධ්‍යාත්මය පෝෂණය කර ගැනීමට අපට හැකි නම් මේ මිත්‍යාවන් පසු පස හඹා යන බොහෝ දෙනා රැඳී සිටින්නේ බැඳී සිටින්නේ කොතැනදැයි ඔවුන්ටම අවබෝධ වනු ඇත. පිවිතුරු බුදු දහම මනා දැනුමකින් එම දර්ශනයට අනුගත වෙමින් මහා බහුශ්‍රැත ඥානයකින් ක්‍රියාකාරීව ලබා ගත් දැනුම් සම්භාරයෙන් පෙරළා සරල ආකාරයට අප වෙත සන්නිවේදනය කළ මේ අසහාය භික්‍ෂූන් වහන්සේ සංඝ සමාජය දිදුලුවා ලූ නීල මාණික්‍යයක් හා සමාන බව පසක් කර ගැනීමට උන්වහන්සේ විසින් ලියා පළ කළ පොත් පෙළ සාක්ෂි දරනු නියත ය.
අද අප රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් පිළිබඳ වෘතාන්තය ලියන්නේ,උන්වහන්සේ ජීවමාන කාලයේදී ඇසුරු කර හෝ ඇසින් දැක හෝ නොවෙයි. මහා නා හිමියන් සමඟ දොඩමලු වීමට හෝ අවස්ථාවක් නොලැබීම එක් පසෙකින් අභාග්‍යයක් යැයි සිතේ.
චන්දවිමල මහා නාහිමියන් ගේ චරිතාපදානය ‘රේරුකානේ චන්දවිමල මහා නා හිමි’ යන නමින් පොතක් ලෙස මුද්‍රණය වන්නේ 1996 වසරේදී ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමියන් අතිනි. රේරුකානේ චන්දවිමල හිමියන් ගේ චරිතාපදානය ඉත්තෑපාන ධම්මාලංකාර වැනි බහුශ්‍රැත නා හිමිපාණන් කෙනෙකු අතින් ලියැවීම ඇත්තෙන්ම අප සමාජය වෙත තිළිණ කළ මහත් ත්‍යාගයක්සේය. එය මහත් වූ පුණ්‍ය කර්මයක්මය. ධම්මාලංකාර අනු නා හිමියන්ට චන්දවිමල මහා නාහිමියන් සමග ඇසුරු කිරීමට අවස්ථාව සහ භාග්‍ය සැලසී ඇත. ඒ අනුව ගොඩනැගෙන සුහද සංවාදයක එක් අවස්ථාවකදී ධම්මාලංකාර අනු නාහිමියෝ චන්දවිමල මහා නාහිමියන්ගෙන් මෙසේ අසති.
දැනට මේ රටේ වැඩ සිටින අභිධර්ම විශාරදයා ඔබ වහන්සේ බව බොහෝ දෙනා පවසනවා.
නමුත් චන්දවිමල මහා නාහිමියන් පවසන්නේ උන්වහන්සේ ඒ බව නොදන්නා බවය.
එහෙත් බුද්ධ දේශනාවේ ඇති ගැඹුරුම විෂය වූ අභිධර්මය පොදු ජනතාව අතර ජනපි‍්‍රය කරවීමේ ගෞරවය නිතැතින්ම හිමි විය යුතු වන්නේ චන්දවිමල මහා නාහිමියන්ට බව බහුතරයකගේ මතය බව ධම්මාලංකාර අනු නාහිමියෝ නැවත ප්‍රකාශ කරති.
“ඒ ගැන මොකවත් මා දන්නේ නැහැ . මං කළේ ‘අභිධර්ම මාර්ගය ‘අභිධර්මයේ මූලික කරුණු වගේ පොත් දෙකක් ලිවීමයි. ඒ පොත් දෙකෙන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම යම් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නට ඇති බව මගේ විශ්වාසයයි. මේ පොත්දෙක ලියන්නට පෙරත් අභිධර්ම විෂය පිළිබඳව පොත් ලියැවිලා තියෙනවා. නමුත් ඒවා කියැවීමෙන් බොහෝ දෙනෙකුට එම ගැඹුරු විෂය පැහැදිලි ලෙස තේරුම් කරගන්නට නො හැකි වූ බවයි මාගේ හැඟීම වුණේ. ඒ නිසා මේ පොත් මා ලියුවේ, තේරුම් කර ගැනීමට හැකි විදියට සරල කරලයි, නමුත් අභිධර්මය සරල කරල ලිවීම මහත් දුෂ්කර කාර්යයක්. අභිධර්මයෙන් කියවෙන අරුත තේරුම් කර ගැනීමට අවශ්‍ය සිංහල වචන තෝරා බේරාගෙන අරුත් පැහැදිලි කර ගැනීම හරිම අපහසුයි.
උදාහරණ වශයෙන් කීවොත් කෙනෙකු පිච්චුනොත් ඇතිවන වේදනාව, වගේම කෙනෙකුව කෙනිත්තුවොත් එසේ නැතිනම් යමක් ඇනුනොත් ආදී වශයෙන් ඇඟට දැනෙන වේදනාවන්ගේ ස්වරූපය විවිධයි. නමුත් ඒ වෙනස් වේදනා, ඒ විදියටම ප්‍රකාශ කිරීමට භාෂාවේ වචන නැහැ.
මේනිසා තමයි මහත් දුෂ්කරතාවයක් ඇතිවන්නේ “ අභිධර්මය නම් ගැඹුරු විෂය සන්නිවේදනය කිරීම පිළිබඳව ඇතිවන ව්‍යාකූ®ලතාවය ගැන මහා නාහිමියෝ එසේ ප්‍රකාශ කරති. එසේ නම් මහා නාහිමියෝ අභිධර්මය නම් ගැඹුරු විෂය පිළිබඳව අවබෝධය ලබාගෙන ඇත්තේ කෙසේද?
චන්දවිමල මහා නාහිමියන් ඒ ගැන පවසන්නේ මෙසේය. “මා මේ දැනුම ලබා ගත්තේ පොත් කියවීමෙන් සහ කල්පනා කිරීමෙන්. උන් වහන්සේ විවේකය ලද හැම විටම වාගේ ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කරන බව පවසති. විශේෂයෙන් රාත්‍රි කාලයේදී මේ පිළිබඳව වඩාත් සිතන්නට පෙළඹී තිබේ. විෂය පරිශීලනය කිරීමට අමතරව උන්වහන්සේ මෙය තේරුම්කරගෙන ඇත්තේ තමා විසින්ම දියුණු කරගත් මානසික තත්ත්වය නිසා ය.
සත්‍යාවබෝධයට අභිධර්මය අවබෝධකරගැනීම අත්‍යවශ්‍ය බවත් එය අවබෝධයෙන් තොරව සත්‍යාවබෝධය කරගැනීමට නොහැකි බවත් උන්වහන්සේ පවසති. මේ සංකීර්ණ විෂය අවබෝධය කරගැනීම උදෙසා මහත් පරිශ්‍රමයක් දැරිය යුතුවෙයි. තවදුරටත් එය පැහැදිලි කරමින් චන්දවිමල මහා නාහිමියෝ ඒ පිළිබඳව මෙසේ අවධාරණය කරති.
‘කල්පනා කරල බලන්න වචන හැදෙන පිළිවෙල ගැන.පොල්ගෙඩියක් ඇසට පෙණුනහම ඒ අනුව ලකුණක් කරගන්නවා. ඒ අනුව තමයි වචනය සෑදෙන්නේ. ඒ වචනය එහි අර්ථය වැටහෙන්නේ ඒ කියන එක්කෙනාට විතරයි. මොනම භාෂාවක්වත් නොතේරෙන කෙනෙකුට ගලක් පෙනුණා යැයි සිතන්න. එයා ඒ ගල දැකලා හිතින් ලකුණක් කර ගන්නවා. අන්න ඒ අනුවයි එයට වචනයක් සෑදෙන්නේ. එයා ගල කීවාම අරුත වැටහෙන්නේ ඔහුට විතරයි. එය වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. ගල දැකලා ගල හඳුනන්නේ නැති කෙනාට ගල ගැන කොච්චර කීවත්, එය මොකක්ද කියලා තේරුම් කර ගන්නට බැහැ. ඉතින් මේ ලෝක ව්‍යාවහාරය තියෙන්නේ යම් යම් දෙනා යම් යම් දේ දැකලා ඒ අනුව තියා ගන්න ලකුණු, අනුව ඒවා හැඳින ගැනීම පිණිස යොදා ගත්ත වචනයි. ඒක ඒ වචන හදාගත්ත කෙනාට වචනය කීවාම ඒ දෙය මෙය යැයි හැඟෙනවා. නමුත් අනෙක් කෙනාට තේරෙන්නේ නැහැ.මේ වගේ භාෂාවේ වචන හිඟකම නිසා අභිධර්මය පැහැදිලි කර ගැනීම අපහසුයි. අප මේ එක වචනයක් කතා කරන විට බුදුන් වහන්සේ වචන 64 ක් පමණ කතා කරනවා.
බුද්ධ ධර්මයේ නියම අර්ථය දැක්වෙන දේශනාව තමයි අභිධර්ම දේශනාව කියන්නේ.
අභිධර්මය බුද්ධ දේශනාවක්මය යන මැයෙන් ‘රේරුකානේ චන්දවිමල මහා නාහිමි’, නමින් ඉත්තෑපාන ධම්මාලංකාර අනු නාහිමියන් ලියූ පොතේ ඇති ‘අභිධර්මය බුද්ධ දේශනාවක්මය’ යන මැයෙන් ලියා ඇති ලිපියට ඔබගේ අවධානය යොමු කරවමි.
එහි මෙසේ සඳහන්ව තිබේ.
බුදුන් වහන්සේගේ ලොකුම දේශනාව අභිධර්ම දේශනාවයි. අනිත් ඔක්කොම දේශනා මේ අභිධර්මයෙහි ඇතුලත්ව තියෙනවා. බුදුරජාණන් වහනසේ නමක් ලොව පහළ වීමෙන් ලැබෙන විශිෂ්ට ධර්මය අභිධර්මයයි.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 19

නිරවුල් ලෙස ධර්ම දේශනාවක් කරන්න අභිධර්මය ඉගෙන ගන්න ඕනෑ

අභිධර්මය බුද්ධ දේශනාවක් නොවෙයි කිව්වොත් බුද්ධ චරිතයේ සමහර කාරණා වෙනස් කරන්න වෙනවා නේද? මව්තුමියට සලකන්න තව්තිසා දෙව්ලොවට වැඩම වීම වාගේ කොටස් අයින් කරන්නත් වෙනවා නේද? අභිධර්මය බුද්ධ දේශනාවක් නොවෙයි කියන්නේ ඒ ඒ අය ලබාගෙන තිබෙන දැනුම අනුවයි.

මේ පිරිසුදු ධර්මය බුදු සසුනෙන් පිටත වෙන කොතනකවත් දකින්නට නැහැ. සූත්‍ර පිටකයේ තිබෙන බොහෝ කරුණු අභිධර්ම පිටකයේ තිබෙන ඒවා. ඒ වුණාට ඒ ධර්ම අභිධර්ම පිටකයේ මෙන් විස්තර කරල නැහැ. ක්‍රමානුකූලව විභාග කරලත් නැහැ. පැහැදිලි කරලත් නැහැ. ඒ නිසා බුද්ධ ධර්මය ගැන සම්පූර්ණ දැනුමක්, නිරවුල් දැනුමක් සූත්‍ර පිටකය පමණක් ඉගෙනීමෙන් ලබා ගන්න බැහැ. ධර්ම කථිකයෙකු වන්න, නිරවුල් ලෙස ධර්ම දේශනාවක් කරන්න අභිධර්මය ඉගෙන ගන්න ඕනෑ. ධර්ම දේශනාවක වරද නිවරද සොයා ගැනීමට ඇද කුද සොයා ගැනීමට අඩුවැඩිකම සොයා ගැනීමට ඇති නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්මයයි. අභිධර්මය නොදැන කරන ධර්ම දේශනාව දිග් නූල, ලඹය, මට්ටම් ලෑල්ල, කෝදූලීය පාවිච්චි නොකොට හදන ගෙයක් වගෙයි.
අභිධර්මය බුද්ධ දේශනාවක්මයි යන මැයෙන් ලියූ ඒ ලිපියේ තවදුරටත් මෙසේ සඳහන් වෙයි. යම් කෙනකු යම් ධර්ම කාරණයක් ඇසුවාම ඒක හරියට කියා දෙන්න පුළුවන් අභිධම්මිකයනට බවයි සඳහන්ව තිබෙන්නේ.
ලෞකික ලෝකෝත්තර ධර්මයන්ගෙන් තත්ත්වය ප්‍රකාශවන අභිධර්මය තථාගතයන් වහන්සේ බුදුබවට පැමිණ සතරවන සතියෙහි බෝ මැඩට පශ්චිම දිසාවෙහි වැඩ සිට සතියක් මුළුල්ලේ සම්මර්ශනය කළ බව බුද්ධ චරිතයේ සඳහන් වෙනවා , අභිධර්මය ප්‍රකරණ වශයෙන් හතකට බෙදෙනවා. එයින් ධම්මසංගණී ආදි ප්‍රකරණ සය සම්මර්ශනය කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් නික්මුණේ නැහැ. අනන්ත නය සමන්වාගත මහා පට්ඨාන ප්‍රකරණයට පැමිණියාම තථාගතයන් වහන්සේගේ සිත අතිශයින්ම ප්‍රසන්න බවට පත් වුණා. සිත ඇසුරු කළාවූ ලේ ධාතුව එයින්ම පිරිසුදු වුණා. ලේ ධාතුව පිරිසුදු වූ විට තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් නීල පීතාදී ෂට් වර්ණ බුද්ධ රශ්මීය නික්මෙන්නට පටන් ගත්තා. සතියක් මුළුල්ලෙහි තථාගතයන් වහන්සේ සිතින් මෙනෙහි කළ ධර්මය වර්ෂ සියයක් දහසක් දේශනා කළත් අවසන් නොවන තරම් විශාල වෙනවා. තවදුරටත් එම ලිපියේ මෙසේ සඳහන් වෙයි.
බුදුබවට පත්වී සවන සතියෙහි තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දස දහසක් සක්වලින් පැමිණි දිව්‍ය, බ්‍රහ්මයන්ට ඒ ධර්මය හකුළුවා තුන් මසකින් දේශනාකොට වදාළා. තථාගතයන් වහන්සේගේ තොල් දෙක මනාසේ ස්පර්ශ වෙනවා. දිව ඉතාමත් මෘදුයි. ඒ නිසාම වචන පිටවීම ඉතාමත් වේගවත්. පැමිණි පිරිසට වදාරන්නාවූ අනු මෙවෙනි බණ මඳක් වැඩි කොට දේශනා කරතොත් බණ වර හැට හතරකින් යුක්ත වූ දීඝ නිකාය තරම් වෙනවා. සවස් කාලයෙහි විහාරයට බණ ඇසීමට පැමිණෙන අයට දේශනා කරන්නාවූ එක බණක් අංගුත්තර , සංයුක්ත නිකාය දෙකට සමාන වෙනවා. ස්වල්ප කාලයකින් දේශනා කරන ධර්මය මේ තරම් විශාල නම් තෙමසක් මුළුල්ලේ නොනවත්වා පවත්වන ලද අභිධර්ම දේශනාව, කෙතෙක් දීර්ඝ වේ දැයි සිතාගන්නට පුළුවන්. එය පොත්වල ලීවේ නම් කොතරම් විශාල පොත් ගොඩක් ලැබේද?
තුන් මසක් මුළුල්ලේ නොනවත්වාම පවත්වන ලද මෙපමණ මහත් දේශනාවක් අහන්නට මිනිසුන් සමර්ථ වන්නේ නැහැ. ඒ නිසාම මේ ධර්මය දෙවියන්ට දේශනා කළා. දෙවියන්ට දහම් දෙසන අතර තථාගතයන් වහන්සේ දහම් දෙසීමට බුදුරුවක් නිර්මාණය කොට දිනපතාම ආහාර කෘත්‍ය සඳහා මිනිස් ලොවට වැඩම වූ බවත් සඳහන් වෙනවා. බුද්ධෝත්පස්ථානය සඳහා දම් සෙනෙවි ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පැමිණියාම දෙවියන්ට දෙසූ මේ ධර්මය උන්වහන්සේට ඉතා සංක්ෂේපයෙන් දේශනා කරනවා. ශාරිපුත්‍ර හාමුදුරුවන් ඒ ධර්මය නය දහසින්, නය ලක්‍ෂයෙන් තේරුම් ගන්නවා. එහෙම දැනගත් අභිධර්මය උන්වහන්සේ තමන් වහන්සේගේ පන්සියයක් පමණ අතවැසි භික්ෂූන්ට උගන්වනවා. අද පවත්නා මේ අභිධර්මය තථාගතයන් වහන්සේ විසින් ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේට දේශනා කොට වදාළ, උන්වහන්සේ විසින් ස්වකීය අතවැසි පන්සියයක් භික්‍ෂූන්ට උගන්වා වදාළ ඒ ශ්‍රේෂ්ඨ ධර්මයයි. එය තථාගත දේශනාවක්මයි.
බුදු දහමෙයි ඉතා ගැඹුරු විෂයක් වූ අභිධර්ම පිටකයේ ඇති වටිනාකම කොතෙක්දැයි ‘රේරුකානේ චන්දවිමල නාහිමි’ චරිතාපදාන පොතේ ඇති ඉහත ලිපියෙන් ඉතා හොඳින් පැහැදිලි වෙයි.
නූතන යුගයේදී මෙවන් බහුශ්‍රැත ධර්මාවබෝධ යෙන් පූර්ණ වූ චන්දවිමල මහා නා හිමියන් නොවන්නට එවන් විෂයක් පොදු බොදු ජනතාවගේ විෂය පථයෙන් බොහෝ දුරකට ඈත් වන්නට ඉඩ තිබුණි. විශේෂයෙන් බොහෝ ආරණ්‍ය සේනාසනයන්හි සංසාර විමුක්තිය සොයා යන යෝගාවචර භික්‍ෂූන් වහන්සේ බහුතරයකට චන්දවිමල නා හිමියන්ගේ ධර්ම සන්නිවේදන කාර්ය විමුක්තිය සොයා යන ගමන් මඟට ආලෝකයක් වූ බව නොරහසකි.
එසේම අභිධර්මය වැනි ඉතා ගැඹුරු විෂයක් නිරවුල්ව තේරුම් බේරුම් කර ගනිමින් මෙන්ම ධර්මානුකූල පිවිතුරු පැවිදි ජීවිතයක් ගත කළ චන්දවිමල මහා නා හිමියන් වැනි උත්තම සංඝ පීතෘවරයකු පරම පිවිතුරු වූ නිර්වාණය සාක්ෂාත් කර ගන්නට ඇතැයි කෙනෙකු සිතන්නේ නම් ඒ සිතිවිල්ල අසාධාරණයක් නොවෙයි.
චන්දවිමල හිමියන් අභිධර්ම විෂය තේරුම් ගැනීම පිළිබඳව දක්වන ආකල්පය ඊට හොඳ නිදසුනකි.
උන්වහන්සේගේ වදනින්ම එය පැවසුවොත් මෙසේය.
“මං නිකං සිටින සැම වේලාවකම වාගේ ගැඹුරු ධර්ම කාරණා ගැන කල්පනා කරනවා. රාත්‍රී කාලයේදීත් බොහෝ විට මා එය කරනවා. මගේ දැනීම මා විසින් දියුණු කර ගත්ත එකක්. අභිධර්මයේ ඇත්තේ සත්‍යමයි. අභිධර්මය අවබෝධ වුණොත් තමයි සත්‍ය අවබෝධ වන්නේ “ සත්‍යාවබෝධය උන්වහන්සේ විසින්ම සාක්‍ෂාත් කරගත් බවක් එම ප්‍රකාශයෙන් සනාථ නොවන්නේද?
1994 පෙබරවාරි, මාසයේදී ආරම්භ කරන ලද රේරුකාන “චන්දවිමල මහා නාහිමි ‘පොත ලියා අවසන් කරන්නේ 1996 වසරේ මාර්තු මාසයේය.
මේ වන විට චන්දවිමල මහා නා හිමියන්ගේ වයස අවුරුදු 97 ක් පමණය. මේ යුගයේදි එවන් දීර්ඝායුෂ අත්විඳින්නට ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට පමණය. එසේ දීර්ඝායුෂ විඳින්නට ලැබුණත් අවසන් කාලය බොහෝ ඇත්තන් ගත කරන්නේ දුර්වල වූ මානසිකත්වයකිනි. සිරුරද දුර්වල වන විට බොහෝ අයගේ කල්පනා ශක්තියද හීනවීම ස්වභාවිකය. එපමණක් ද නොවේ ඒ බොහෝ අයගේ සිතීමේ ශක්තිය දුර්වල වී ඔවුන් කටයුතු කරන්නේ අව සිහියෙන් මෙන්ය. එවන් වු වයසකදී චන්දවිමල හිමියන්ගේ මනස ක්‍රියා කළ ස්වභාවය පිළිබඳව හැඟීමක් ලබා ගැනීමට උන්වහන්සේ ඵලකළ අදහස් කීපයක් ඔබ හමුවේ තබමි.
“මම ඉතින් ලොකුවට ලෝකයට කියන්න කැමති නෑ. දැන් මගේ මුළු කාලයම භාවනාවට ගත කරනවා කියල. කවදත් සිහියෙන් කල්පනාවෙන් තමයි මා කටයුතු කරන්නේ. නිතර නිතර මා ත්‍රි ලක්‍ෂණය මෙනෙහි කරනව. අලුත් අලුත් භාවනා පටන් ගත්තටම වැඩක් නැහැ. ඒවා කරවන අයත් යම් කිසි ප්‍රමාණයකටවත් භාවනාවෙන් දියුණුව ලබා ගෙනයි ඒක පටන් ගන්නට ඕනෑ. අද නම් බැලුවාම ඒ තත්ත්වය හුඟක් අඩුයි. සමහර විට තමනුත් මුලාවී අනුනුත් ඒ තත්ත්වයට දැමීමක් වශයෙනුයි මට පෙනෙන්නේ. ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියල මට නම් කියන්න බැහැ.”
“ මට බරක් නැහැ. මා විහාර පන්සල් පරිපාලන කටයුතු වල යෙදීමක් නැහැ. කවදාවත් කාගෙන්වත් කිසිම දෙයක් මා ඉල්ලුවෙත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. යමක් නැතිනම් ඒ නැතිකම මට යහපතක් කියලයි මං හිතන්නේ. නැති වුණාම නො ලැබුණාම තමයි හරියට ප්‍රතිපත්තිය පිරෙන්නේ. මට කියල මගේ කියල කිසිවක් මෙතන නැහැ. මේ කුටියේ තමයි මං ඉන්නේ. මේ කුටියේ ඇතුළු දොර අවුරුදු පහළොවකින්වත් වහපු බවක් මට මතක නැහැ. යතුර තියෙන්නේ හැමදාම දොරේමයි.”


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 20

ලෝකයේ සිටින ලොකුම දුප්පතා

“කියවන්න මේ වදන් පෙළ හොඳින්. උන්වහන්සේ මෙය පවසන්නේ ශතවර්ෂයකට ආසන්න වූ වයෝවෘද්ධ වයසක සිටය.ඒවන විටත් උන්වහන්සේ සතු කල්පනා ශක්තිය චින්තන ශක්තිය සහ ප්‍රඥාවේ මහිමය දෙස බලන්න. එමෙන්ම කිසිවක ඇල්මක් ඇලීමක් නොමැති පිවිතුරු දිවියක විශේෂ ගුණය දෙස බලන්න. සරල අල්පේච්ඡ, සැහැල්ලු පැවිදි දිවියක ප්‍රායෝගික යථාර්ථයේ බලය දෙස බලන්න. ධන නිධානයන්ගෙන් ආඪ්‍යව වත්පොහොසත්කම් භුක්ති විඳිනා කෙනකුට හරියට ප්‍රතිපත්ති පිරීම අපහසු බව මොනතරම් නම් සත්‍යයක්ද? ඒවා නැතිවුණාම අප බොහෝ දෙනා කරන්නේ දුක්වීමය. නොලැබීම ගැන පසු තැවීමය.
ඒවා තමා වෙත පැමිණි ආශිර්වාදයක් ලෙස සිතන්නේ නම් ඔහු භෞතික වශයෙන් දුප්පතකු වුව ද මනසෙන් පොහොසතෙකි. අල්ලා බදාගෙන හිඳිනා විට අපේක්‍ෂාවෙන්ද වැඩිවී තණ්හාවෙන් ඔද්දල් වී අපව සංසාරයේ තව තවත් ඇද බැඳ තබනවා නොවේ ද? භෞතික වශයෙන් ආරක්‍ෂා කිරීමට කිසිවක් නොමැති තැන ගෙය හට නොගනියි. ඒ නිසා උන්වහන්සේ සිටින කුටියේ දොරගුළු දැමීමට අවශ්‍ය නොවේ. වසර පහළොවකින් දොරගුළු නොදැමුණු කුටියක ගෙනියන්නට සොරකම් කර ගන්නට කිසිදු දෙයක් නොමැත. කිසිදු ධනයක් නැති හිඟන්නාට පදික වේදිකාවේදී පවා නිදහසේ නින්දයන්නේ ඒ නිසාය. හිඟන්නාට දැනෙන්නේ ඒ භෞතික පක්‍ෂයේ ශූන්‍යතාවය ය. එහෙත් ඔහු නැතිකම නිසා තැවෙනවා විය හැක. ඒ නිසා ඔහුගේ අධ්‍යාත්මය ද දුප්පත් ය.
එහෙත් රේරුකානේ මාහිමියන්ගේ අධ්‍යාත්මය අතිශය පොහොසත්ය. ඒ යථාර්ථය ප්‍රඥාවෙන් දකින්නට උන්වහන්සේට පුළුවන් වූ නිසාය. උන්වහන්සේ තවත් අවස්ථාවක මෙවැනි ප්‍රබල අදහසක් ප්‍රකාශ කර සිටියි. මෙම ප්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ මහා දර්ශනයකි. ඇත්තෙන්ම එය ථේර ගාථාවක් වැනිය. උන්වහන්සේගේ තියුණූ මනස පිළිසිඳගත් ඒ උදාන වාක්‍යයට දෙසවන් යොමුකරලමු.
‘මං හිතන්නේ ලෝකයේ ඉන්න ලොකුම පොහොසතාත් දුප්පතාත් මම කියලයි. දුප්පත්කම යනු සෑහීමකට පත් නොවීමයි. එසේත් නැතිනම් ඇතිවීමක් නැතිකමයි. මදිකමයි, මම සෑහීමකට පත් වෙලා ඉන්න කෙනෙක්. ලද දෙයින් සතුටුවෙලා ඉන්නවා. සෙවීම පිළිබඳව උත්සාහයක් නැහැ. ඒක නිසා මං ලෝකයේ ලොකුම පොහොසතා කියල සිතනවා. දුප්පත්කම කියන්නේ නැති කමයි. හිඟන්නා දුප්පතෙකි. හිඟන්නාට තියෙන පොල් කටුව හැරමිටිය උනත් මගේය කියලා හිතෙන් අල්ලාගෙනයි ඉන්නේ. ඒක නිසා ඔහු යමක් ඇති කෙනෙක්, මට මොනවා තිබුණත් ඒ කිසිවක් හිතින් අල්ලාගෙන නැති නිසා කිසිවෙක් නැති කෙනෙකු හා සමානයි. ඒක නිසා තමයි ලෝකයේ ඉන්න දුප්පත්ම පුද්ගලයාත් මමයි කීවේ.”
රේරුකානේ මහා නා හිමියන් බොහෝ වෙදපොත් කියවා තිබුන නිසා වෙදකම් පිළිබඳව පැවතියේ හොඳ අවබෝධයකි. ඒ වාගේම නක්‍ෂාස්ත්‍රය පිළිබඳ දැනුම ද එසේම විය. මා හිමියන්ට සාමාන්‍ය අසනීපයක් සෑදුන අවස්ථාවන්හිදී ඊට අවශ්‍ය ප්‍රතිකාර තමා විසින්ම සලසා ගත්තේ වෙදකම පිළිබඳ තිබූ ඒ අවබෝධය නිසා ය.
මහා නා හිමියන් සිවුරු මැසීමට ද බොහෝ දක්‍ෂය. එසේම පොත් බැඳීමේ කලාව මෙන්ම තම පරිහරණයට අවශ්‍ය මේස පුටු ආදිය අවශ්‍යතාවයට සරිලන සේ සරලව සැලසුම් කිරීම ද උන්වහන්සේට හැකියාව තිබුණි. එසේම මේසන්, වඩු ශිල්පීන් වෙත උපදෙස් දෙමින් විහාර කර්මාන්තාදියේ දී සැළසුම් සකස් කරමින් ඉංජිනේරුවරකු සේ තාක්‍ෂණ ඥානය මඟ පෙන්වීම ලබාදීමට තරම් වූ බුද්ධියක් මහා නා හිමියන් තුළ පැවතීම විශේෂ කුසලතාවයකි. නමුත් මේ කිසිවක් වෘතියක් වශයෙන් කිරීමට කිසිවිටෙකවත් චන්දවිමල මා හිමියන් පෙළඹුණේ නැත. ඊට හේතුව එවැනි දේ පිවිතුරු භික්‍ෂූත්වයට අකැප බැවිනි.
දුතියම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො

අනවජ්ජපිණ්ඩො හොත්තබ්බො නච කොචු පරොධති

රේරුකානේ මහා නා හිමියන් ලියූ ශාසනාවතරණය පොතේ හැඳින්වීමේ එක් තැනක ඉහත ගාථාව සටහන්ව තිබේ. ‘අරින්දම’ නම් වූ බරණැස් රජතුමා ඔහුගේ උයනෙහි වැඩසිටි පසේබුදුවරයකු වෙත පැමිණ කළ සංවාදයකදී එම පසේ බුදුන් වහන්සේ වදාළ ධර්මදේශනයේ එක් ගාථාවකි එසේ ඉහත සටහන් කර ඇත්තේ.
එහි අරුත නම් පැවිද්දා විසින් වෙදකම් කිරීම, කේන්ද්‍ර බැලීම, යන්ත්‍ර මන්ත්‍ර කිරීම්, කුහකකම් කිරීම ආදී නොදැහැමි ක්‍රමවලින් ප්‍රත්‍යය නො සොයා දැහැමින් ලද ආහාරය වැළඳිය යුතු ය. එසේ නිවැරදි ආහාරයක් වළඳන්නා වූ පැවිද්දා හට ලෝභාදී ක්ලේශයන්ගෙන් කවරක් හෝ ඉපිද පීඩා නොකරන්නේ ය. එබැවින් ගෙයක් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දාට දෙවනුවත් හොඳය. සැපය.
මෙයින් කියැවෙන්නේ කුමක්ද? පැවිදි දිවිය ගත කරන සැබෑ භික්‍ෂුවකට රැකියාවක් වශයෙන් කුමන වෘත්තියක් හෝ කිරීම අකැප බවය. එසේ රේරුකානේ චන්ද විමල හිමියන් සැබෑ භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් තම පැවිදි දිවිය පිවිතුරුව ගත කළහ. ඒ නිසා අද භික්‍ෂු සමාජය දෙස බැලීමේ දී උන්වහන්සේ ඉතා විරළ ගනයේ භික්‍ෂූන් වහන්සේ නමක් බව විවාදයකින් සැකයකින් තොරව පැවසිය හැකිව තිබේ.
උන්වහන්සේ මේ අකැප සියල්ලෙන් මිදී පිවිතුරු භික්‍ෂූත්වයට තම ජීවිතය පරිත්‍යාග කළේ බොහෝ බාහිර දේ පිළිබඳ ඇති අවබෝධය නිපුණතාවයන්, කුසලතාවයන්ගේ සීමාවන් දැන එය අනවශ්‍ය විදියට තම භික්‍ෂු ජීවිතයට ඈඳා නො ගැනීමෙනි.
මේ කිසිදු දේකින් සීමාව ඉක්මවා නොයෑමට තරම් උන්වහන්සේ ප්‍රවේශම් විය. අද දේශපාලන, ආර්ථික, වෘත්තීය ක්‍ෂේත්‍රයන්ට යොමු වී ඇති බොහෝ භික්‍ෂූන් වහන්සේට චන්දවිමල මහා නා හිමි චරිතයෙන් ගත හැකි ආදර්ශයන් බොහෝ වෙතැයි සිතේ. උත්තම පුරුෂ ඒක වචනයෙන්ම පැවසිය හැකි වූ පරමාදර්ශී මෙවන් යුග පුරුෂයාගේ අගය තවතවත් තීව්‍ර ලෙස දැනෙන්නට පටන් ගන්නේ, සමාජයේ භෞතික සංවර්ධධනය වර්ධනය වී අධ්‍යාත්මික සංවර්ධනය ශීඝ්‍රයෙන් පරිහානියටම ඇද වැටෙමින් පවතින නිසා ය. පිරිහීමත් සමඟ සමාජ දේහයද රෝගාතුර වී ඇත. එහෙත් උන්වහන්සේගේ ජීවිත කාලය තුළ දී දියවැඩියාව, අධික රුධිර පීඩනයෙන් වැනි තදබල රෝගයකින් පීඩා විඳ නොමැත.
මෙයට බොහෝ සේ හේතු වී ඇත්තේ මහා නා හිමියන් ගෙවූ සරල, ජීවන රටාව ය. එසේම චෛතසිකයේ නිරවුල් පිවිතුරු බව මෙන්ම සැහැල්ලුවෙන් ජීවිතය පවත්වාගෙන යාම ය. එසේම අල්පේච්ඡතා ගුණය නිසා අනවශ්‍ය කායික හෝ මානසික ව්‍යාකූලත්වයක් ද නො වී ය.
එසේම දියුණුකරගත් චිත්ත ඒකාග්‍රතාවයේ අධ්‍යාත්මික සුවය කායික සුවයට ද බොහෝ සේ බලපාන්නට ඇත. ස්වභාව ධර්මයට අනුකූලව වියපත් වන විට කායික දුබලතා ඇතිවීම කිසිවකුටත් වැළක්විය නොහැක. එහෙත් ජීවිතයේ අවසානය දක්වාම මා හිමියන්ගේ මනස නිරවුල්ව ක්‍රියාත්මක විය. භාවනාදිය වඩමින් දියුණු කරගත් මනස අපවත් වන මොහොත දක්වාම රෝගාතුර නොවූයේ සංසාර රෝගය නිවාරණය කර ගැනීමට අවශ්‍ය ඔසුව මේ ප්‍රඥාසම්පන්න වූ මනස විසින්ම ප්‍රත්‍යක්‍ෂ කළ නිසා විය හැකි ද?
මාහිමිපාණන් වහන්සේ පිවිතුරු බුද්ධ ධර්මයේ අග්‍ර ඵලය වූ නිර්වානය නිර්වචනය කර ඇත්තේ මෙසේ ය. ‘රාගාදී කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා මරණා දී දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛස්වාභාවය නිර්වාණය’ බව ය. එම සුඛස්වාදය සාක්සාත් කර ගැනීමට හැකි වූවා යැයි සිතීමට අවැසි කරුණු කාරනා ඒ පිවිතුරු ජීවන මගේ දී අපට දැක ගැනීමට ලැබෙයි.
නිවැරදිව ගණන් සදා බැලුවහොත් චන්දවිමල මහා නා හිමියන් වහන්සේ වසර 99 යි මාස එකොළහකුත් දින පහළොවක් ජීවත් වී ඇත. වසර සියයක් නැති නම් ශත වර්ෂයක් සම්පූර්ණ කිරීමට තවත් ඉතිරිව තිබුණේ දින 15 ක් පමණි.
නමුත් සාමාන්‍ය වශයෙන් පවසන්නේ නම් එම කාලය වසර සියයක් වශයෙන් ගණන් ගැනීමට පුළුවන. චන්දවිමල මහා නා හිමියන් හද්දා පිටිසර ග්‍රාමයක එහෙත් සොඳුරු ඉසව්වක ජන්ම ලාභය ලැබුවේ 1897 වර්ෂයේ ජූලි මාසයේ 04 වැනි දින ය. අපවත් වී වදාළේ 1997 වසරේ ජූලි මාසයේ 19 වැනි දිනය. ජන්මලාභය ලද මාසයේ දීම අපවත් වීමද සිදුවීම විශේෂයක් ය.
අප කවුරුත් ජන්ම ලාභය ලැබුව ද ඒ ලැබීම ලාභයක් නොවන්නේ මේ අතිමහත් වූ දීර්ඝ සංසාර චක්‍රය පුරාම පවතින්නේ දුක වේදනාවම බැවිනි. සදා නිර්මල සත්‍ය මත පදනම් වූ බුද්ධ දේශනාවේ පැවසෙන්නේ මේ පංචස්කන්ධය වූ ලෝකය පවතින්නේ දුක මත බවය.
සංසාරයේ දීර්ඝ කාලයක් පිරූ පාරමී බලය දෑතේ මිට මොළොවා ගනිමින් අපේ මහා නා හිමියන් ජන්ම ලාභය ලද දින සිට ගෙවූ වසර සියක ජීවන මගේ අසිරිමත් වූ අවසන් නිමේෂය වෙත අප දැන් ක්‍රමයෙන් පැමිණෙමින් සිටිමු. ඒ මොහොත ඔබ වෙත ළඟා කර දීමට ප්‍රථමයෙන් උන්වහන්සේගේ ජීවන චරිතාපදානයේ තවත් විශේෂිත කරුණු කීපයකට අවධානය යොමු කිරීමට අවසර පතමි.


free counters

දහම් රස වින්දෝ