සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් අපවත්වී අදට වසර 101 යි



කොළඹ මාලිගාකන්ද විද්‍යේදය පිරිවෙන ආරම්භ කරනු ලැබුවේ බෝධිසත්වගුණෝපේත, ත්‍රිපිටක - වාගීශ්වරාචාර්ය, පණ්‌ඩිත ශිරෝමනී පරම පූජනීය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මහා ස්‌වාමීන් වහන්සේ විසිනි. ඒ ක්‍රි.ව. 1873 වසරේ දීය. නොයෙක්‌ භාෂා ශාස්‌ත්‍රයන්හි හසළ දැනීමක්‌ ඇති හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පාලි ත්‍රිපිටකය තිස්‌හය වතාවක්‌ කියවා ඇති බව සඳහන් වේ. උපසම්පදාව ලැබීමටත් පෙර සිට ඉතා ව්‍යක්‌ත ලෙස ශුද්ධ මාගධී, පාලි භාෂාවෙන් කථා කිරීමේ හැකියාව උන්වහන්සේ සතු විය.

පෙරදිග මෙන් ම ඇමරිකාව, ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය ආදී අපරදිග රටවල්හි ජනයා අතර ද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ කීර්තිනාමය පැතිරී තිබිණි. මුළු පෘථිවිතලයේ ම පාලි පඬිවරයා ලෙස ද දකුණු දිග බුදුදහමේ (ථෙරවාදී බුදුදහමේ) නායකයා ලෙස ද මුළු ලෝකයා එක හඬින් පිළිගත්තේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ය. තායි, බුරුම සහ කාම්භෝජ යන රටවල රජවරුන්, රජකුමාරවරුන්, සංඝරාජවරුන් පමණක්‌ නොව එංගලන්තය ආදී යුරෝපා රටවල රාජකීයයන් ද පෝල්ඩාල්කේ, විල්හෙල්ම් ගයිගර්, රීස්‌ ඩේවිඩ්, මැක්‌ස්‌මුලර්, එඩ්වින් ආර්නෝල්ඩ්, කොපල්ස්‌ටන් බිෂොප්, ජෙනරාල් ඇලෙක්‌සැන්ඩර් කනිංහැම්, කර්නල් ඕල්කොට්‌ වැනි ලෝක ප්‍රකට ගිහි, පැවිදි උගතුන් උන්වහන්සේට මහත් වූ ගෞරවය දක්‌වා ඇත. නොයෙක්‌ අවස්‌ථාවල දී පාකිස්‌ථානය, ඉන්දියාව යන රටවල ඇතැම් පුරාණ දාගැබ් කැණීමේ දී හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා ඇතැම් පුරාවස්‌තු හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ට ද පරිත්‍යාග කර ඇත. විෙද්‍යාදය පිරිවෙනේ මහා ධාතු ස්‌තූපය ඉදිකර ඇත්තේ උන්වහන්සේ සතුව තිබූ සියලු සර්වඥ ධාතු නිධන් කර ය. ස්‌වර්ණමාලී මහා සෑය හැරුණු විට ලෝකයේ වැඩිම සර්වඥ ධාතු නිධානයක්‌ සහිත එකම ස්‌තූපය විෙද්‍යාදය පිරිවෙනේ මහා ධාතු ස්‌තූපය යෑයි සැලකේ. සොපාරාහි පුරාණ දාගැබක කළ කැණීමක දී හමූ වූ සර්වඥ භික්‍ෂා පාත්‍ර ධාතු ඛණ්‌ඩයන් ගෙන් විශාල ම හා හොඳ ම ධාතු කොටස බොම්බායේ ආණ්‌ඩුකාරයාගේ උපදෙස්‌ පරිදි හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට ලැබිණි. එම පාත්‍ර ධාතුන් වහන්සේ මේ දක්‌වා විෙද්‍යාදය පිරිවෙනේ ශ්‍රී සුගත ධාතු මන්දිරය තුළ ඉතා ආරක්‍ෂිතව වැඩ සිටිති.

එදා සිටි ලක්‌වැසි බෞද්ධයින් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සැලකුවේ "බුදුන්" ලෙසිනි. එබැවින් ම මඩුවන්වල රටේ මහතා විසින් ප්‍රකාශිත එක්‌ පත්‍රිකාවක හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගැන සඳහන් කර ඇත්තේ "අද ලංකාවට බුදුන් වැනි වූ ත්‍රිපිටකධාරී වූ මහා පණ්‌ඩිත වූ මහා සීලවන්ත වූ කරුණා මෛත්‍රී ගුණයෙන් හෙබියා වූ පින් තෙදින් බබළන්නා වූ රාජපූජිත වූ කොළඹ විෙද්‍යාදය පිරිවෙනේ අධිපති වූ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ..." යනුවෙනි.

වරක්‌ බුරුම රටේ වජිරාරාම මහා නායක හිමියන් ප්‍රකාශ කළේ "යුස්‌මතුන්ලා ගේ රටේ වටිනා මැණික්‌ පහක්‌ තිබේ. ඒවා නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, උතුම් වූ දළදා වහන්සේ, ශ්‍රී පාද පද්මය, ස්‌වර්ණමාලී මහා සෑය සහ අප ඉදිරියේ මේ වැඩ සිටින ත්‍රිපිටකධාරී මහා තේජස්‌ ඇති මේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේ" යනුවෙනි. "සතෝ" නම් වූ ජපන් භික්‍ෂුව හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ජීවමානව වැඩ සිටිය දී වැටුණු උන්වහන්සේගේ දන්තයක්‌ මහත් වූ ගෞරවයෙන් යුතුව ජපන් රටට වැඩම කරවා ගෙන ගොස්‌ ඇත. වරක්‌ සියම් රජු ලක්‌දිවට පැමිණි අවස්‌ථාවක හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් දැක වන්දනා කර ප්‍රකාශ කළේ "ස්‌වාමීනි, ඔබ වහන්සේ ගේ නම අපේ රටේ ඉතා ප්‍රසිද්ධ වී තිබේ. ලංකාවට අයත් ගෞරවවලින් එකක්‌ ඔබ වහන්සේ ය" යනුවෙනි. එසේ ම සියමේ දම්රොම් කුමරු වරක්‌ පැවසුවේ "ස්‌වාමීනි, ඔබ වහන්සේ ගේ නම සියම් රටේ නිතරම කියෑවේ" යනුවෙනි. වරක්‌ ප්‍රංශයේ සිට පැමිණි උගත් කාන්තාවෝ දෙදෙනෙක්‌ නාහිමියන් හමුවී පැවසුවේ "ස්‌වාමීනි, ඔබ වහන්සේ ගේ නම අපේ රටේ ඉතා ප්‍රසිද්ධයි. පෙරදිග ලෝකයේ වැඩ සිටින මහා සෘෂිවරයා ඔබ වහන්සේ යෑයි අපේ රටේ පත්‍රවල පළවිය... අප ආවේ ඔබ වහන්සේ බැලීමට යි" යනුවෙනි. තවත් වරක්‌ රුසියන් කුමාරයකු සමඟින් පැමිණි සයිබීරියන් මහානායක හිමිතුමා ස්‌වාමීනි, අපේ රටේ පවතින්නේ මහායාන බුදුසමය යි. ඒත් අපේ රටේ ශ්‍රී සුමංගල නාමය ඉතා ප්‍රසිද්ධ යි. අපි දැන් ඔබ වහන්සේ දැක බලා ගත්තෙමු. ඔබ වහන්සේ දැකීමට අපේ සිතේ පැවැති බලවත් ආශාව දැන් සම්පූර්ණ විය" යනුවෙන් ප්‍රකාශ කළේය. මේ සියලු කරුණුවලින් පෙනී යන්නේ එදා දෙස්‌-විදෙස්‌, ගිහි-පැවිදි සැම දෙනාම හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේට මොන තරම් මහත් වූ ගෞරවාදරයක්‌ දක්‌වා තිබේ ද යන්න යි. එසේ ම උන්වහන්සේ ගේ ශ්‍රී නාමය ලොව පුරාම පැතිරී තිබූ බව යි.

මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමි, වස්‌කඩුවේ ශ්‍රී සුභූති හිමි, බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමි, වැලිගම ශ්‍රී සුමංගල හිමි, වැලිතර ඤාණතිලක හිමි, දොඩන්දූවේ පියරතනතිස්‌ස හිමි ආදී බොහෝ පැවිදි පඬිවරු හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ඉතා ළඟින් ඇසුරු කළහ. මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් පානදුරාවාදය සිදු කිරීමේ දී උන්වහන්සේට අවශ්‍ය කළ උපදෙස්‌ ගැනීම සිදු කළේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් ගෙනි. "බෞද්ධ ප්‍රශ්නය" නම් වූ කෘතියේ සංඥපනයේ දී වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියෝ මෙසේ සඳහන් කරති. "මේ කියන ලද පානදුරාවාදයේ දී කොළඹ විෙද්‍යාදය පරිවේණාධිපති හික්‌කඩුවේ ශ්‍රී සුමංගල ශ්‍රීපාදේ නායක ස්‌ථවිරයන් වහන්සේගෙන් මට බොහෝ ආධාරෝපකාර ලැබුණා පමණක්‌ නොව, මෙම පොත සංශෝධනය කිරීම පිණිසත් උපකාර ලැබුණු බව නොමසුරුව කියමි."

බෞද්ධ කොඩිය තැනීමේ දී මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කිරීමේ දී හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මුල් වී ක්‍රියා කළහ. උපදෙස්‌ ලබා දුන්හ. බුද්ධගයාව බේරා දුන් මහා ධර්මදූත බෝධිසත්ත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ගේ ද ලක්‌දිව මහා ධර්මදූත බෝධිසත්ත්ව ගුණෝපේත ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා ගේ ද ගුරුවරයා වූයේ පරම පූජනීය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මහා ස්‌වාමීන් වහන්සේ ය. ශ්‍රී පාදස්‌ථානයේ අධිපති ධුරය ද හෙබවූ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ශ්‍රී පාදස්‌ථානයේ අභිවෘද්ධිය සඳහා නොයෙක්‌ අයුරින් කටයුතු කළහ. අප නාහිමියෝ දන් දීමට දැක්‌වූයේ ඉතා කැමැත්තකි. වරක්‌ තමන් වහන්සේ වෙත පැමිණි අන්ත අසරණ දුගියෙකුට ඉතා වටිනා ඇතිරිල්ලක්‌ පරිත්‍යාග කළහ. තවත් වරක්‌ තමන් වහන්සේ වෙත පැමිණි සිව්පසයෙන් අන්තයටම පිරිහී ගිය භික්‍ෂුන් වහන්සේ නමකට දීමට දෙයක්‌ අසලක නොවූ නිසා තමන් වහන්සේ පොරවා ගෙන සිටි සිවුර පරිත්‍යාග කළහ. මේ වනාහී උන් වහන්සේ සතුව තිබූ බෝසත් ගුණ වේ. ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මහා සංඝරාජයන් වහන්සේ ගෙන් පසුව ලක්‌දිව පහළ වූ ශේ්‍රෂ්ඨතම පැවිදි මහා පඬිරුවන පරම පූජනීය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මහා ස්‌වාමීන් වහන්සේ බව බොහෝ දෙනාගේ අදහසයි. උන් වහන්සේගේ අසිරිමත් චරිතය මැනවින් අධ්‍යයනය කරන ඕනෑම අයකුට එය ඒකාන්තයෙන් ම සත්‍ය බව පසක්‌ වේ.

මෙසේ මුළුමහත් ලෝකයාගේම මහත් වූ වන්දනාවටත් ගෞරවාදරයටත් පත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය පිණිස දිවා රාත්‍රී වෙහෙස නොබලා මහත් වූ සේවාවක්‌ සිදු කළ බෝධිසත්ව ගුණෝපේත, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය පරම පූජනීය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මහා ස්‌වාමීන් වහන්සේ ක්‍රි.ව. 1911 අප්‍රේල් මස 29 වැනි දින විජම්පෙළ අසමින් මනා සිහි නුවණින් යුතුව අපවත් වූ සේක. උන් වහන්සේගේ ශාරීරික ධාතු සහිත භෂ්මාවශේෂවලින් ප්‍රධාන කොටස නිධන් කර තැබූ දාගැබ කොළඹ මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනේ මහා ධාතු සෑයට නුදුරින් දක්‌නට ලැබේ.

ගයාන් චානුක විදානපතිරණ
කොළඹ මාලිගාකන්ද විද්‍යේදය පිරිවෙනේ ආචාර්ය, 
කැලණිය විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ 
බාහිර කථිකාචාර්ය


free counters

දහම් රස වින්දෝ