සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 21

මහා නායක පදවියෙන් පිදුම් ලැබූ ශ්වේජින් නිකාය

රේරුකානේ චන්දවිමල මහා නා හිමි නාමයට මහා නායක නම එකතු වන්නේ උන්වහන්සේ ශ්වේජින් නිකායේ මහානායක වශයෙන් පිදුම් ලැබූ මොහොතේ සිටය. අත්‍යන්තයෙන්ම මහා නා හිමි යන ගෞරවනීය තත්ත්වය ආභරණයක් වී බැබළුනේ නම් එසේ වූයේ මෙවැනි උත්තම සංඝ පීතෘවරුන් නිසා ය. ‘ශ්වේජින්’ යනු බුරුම රටේ ග්‍රාම නාමයකි. එම ග්‍රාමයේ උපත ලද ජාගර නම් භික්‍ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම නිකාය බිහි විය.

මිහිඳු මහ රහතන් වහන්සේ සද්ධර්මයේ සංදේශය රැගෙන ලක්බිමට සපැමිණෙන විට සෝන සහ උත්තර යන මහරහතන් වහන්සේලා මුම්ම දේශයේ කොටසක් වන ස්වර්ණභූමියට වැඩම කොට එහි බුදුසසුන පිහිටුවූහ. එම පෙදෙසට රාමඤ්ඤ රට යැයි ද කියනු ලැබේ. පහත රට බුරුමයේ රාමඤ්ඤ රට පිහිටු වූ බුදුසසුන කාලයත් සමඟ ක්‍රමයෙන් පිරිහෙන්නට විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් දෙසීයක් ගත වන විට එහි උපසම්පදාවක් නැති වී ගිය තරම් පිරිහීම උත්සන්න විය.
ඒ කාලයේ ත්‍රිපිටක ධර්මයේ නිපුණත්වයක් ඇති ශ්‍රද්ධා බුද්ධිසම්පන්න රජවරයෙක් වූ ‘රාමාධිපති’ රජතුමා රට පාලනය කළේ ය. මෙම රජතුමා ශාසන පරිහානිය පිළිබඳව දැඩි කම්පාවෙන් නැවත නිර්මල බුද්ධ ශාසනය ඇති කිරීමට උත්සුක විය. ඒ සඳහා උපසපන් භික්‍ෂූන් වහන්සේ අවශ්‍යය.
මෙයට සුදුසුම රට ශ්‍රී ලංකාව බව දැනගත් රාමාධිපති රජතුමා ශ්‍රී ලංකාව වෙත එහි භික්‍ෂූන් 48 නමක් නැව් දෙකක නංවා අප මාතෘභූමිය වෙත එවන ලදී. මේ වකවානුවේ ශ්‍රී ලංකාවේ මහා විහාර පරම්පරාවේ සංඝයා අතර නිර්මල උපසම්පදාව පැවැතුණු බව රජතුමා දැනගෙන තිබුණි.
එකල ශ්‍රී ජයවර්ධනපුරයේ රජකම් කළේ බුවනෙකබාහු නම් රජ කෙනෙකි. රජතුමාගේ ද අනුග්‍රහයෙන් කල්‍යාණ නදියේ උදකුක්ඛේප සීමාවකදී මහා විහාර පරම්පරානුයාත නිර්මල පැවිද්ද හා උපසම්පදාව උන්වහන්සේලා ලබා ගත්හ.
මෙම උපම්පදාව ලද භික්‍ෂූන් වහන්සේලා බුරුම රටට පෙරළා වැඩියහ. රාමාධිපති රජතුමා උන්වහන්සේලා ලවා කල්‍යාණි සීමා නමින් සීමාවක් සම්මත කරවා එහිදී එරට විසූ සියලුම භික්‍ෂූන්ට මහාවිහාර පරම්පරානුයාත නිර්මල උපසම්පදාව ලබා දුන්හ. එහිදී කලින් පැවැති සෝනුත්තර සංඝ පරම්පරාව කෙළවර වී මහාවිහාර පරම්පරාව ජනිත විය. පසුව මෙම මහා විහාර පරම්පරාවද ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගත්තේ ය.
මේ නිසා ඉමහත් සංවේගයට පත් එක් භික්‍ෂූන් වහන්සේ නමක් දුශ්ශීල භික්‍ෂූන්ගෙන් ඈත් වී ශික්‍ෂාකාමී භික්‍ෂු පිරිසක් ඇතිකරගෙන තමාට සුදුසු වූ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක වැඩ වාසය කිරීමට පිටත් විය. එම භික්‍ෂූන් වහන්සේ වූයේ අප ඉහතින් සඳහන් කළ ‘ජාගර’ හිමියන් ය. උන්වහන්සේගේ උපන් ගම ශ්වේජින් වූ නිසා බුරුම රටේ දී ප්‍රසිද්ධ වූයේ ශ්වේජින් ශයාඩෝ යන නාමයෙනි.
ජාගරාභිධජ සද්ධම්මවංස ධම්මසේනාපති අතුලාධිපති සිරි පවර මහා ධම්ම රාජාධිරාජගුරු මා හිමිපාණන් වහන්සේ නමින් මේ දිගු ගෞරව නාමය උන්වහන්සේට ප්‍රදානය කරන ලද්දේ ‘මෙන්ඩුන්’ නමැති රජතුමාගේ යුගයේ දී ය. මෙන්ඩුන් රජතුමා පස්වන ධර්ම සංඝායනාව කරවා ත්‍රිපිටක ධර්මය සුදුගල් පුවරුවක කොටවා පුණ්‍යකර්ම රාශියකට අනුග්‍රහය දැක් වූ රජතුමෙකි. මෙන්ඩුන් රජතුමා කුමර කාලයේ දී පටන් ජාගර හිමියන් හඳුනාගෙන සිටියේ ය.
එතුමා ‘මණ්ඩලේ’ යන නමින් අභිනව නගරයක් කරවා එහි වෙසෙන කාලයේ දී ජාගර හිමියන් ‘මණ්ඩලේට’ කැඳවා සිය රටේ ශාසන සංශෝධන කිරීමේ අදහසින් ‘මණ්ඩලේ’ පර්වතයට උතුරු දිග් භාගයේ අභිනව සංඝාරම පහක් ඉදිකරවා ඒවා පූජා කොට අනෙක් භික්‍ෂූන් වහන්සේ ද සමඟ ජාගර හිමියන් එහි නවතා ගන්නා ලදී.
උන්වහන්සේ වගන්ති 20 කින් යුත් ධර්මාවාද ලේඛනයක් පිළියෙළ කර ඒ අනුව ඒ ආරාම පාලනය කළහ. උන්වහන්සේගේ පාලන කාලයේ විශිෂ්ටත්වය නිසා ඒ ආරාමයන්හි වෙසෙන භික්‍ෂුහු පර්යප්ති ප්‍රතිපත්ති දෙකින්ම දියුණුවට පත් විය. ජාගර මා හිමියන්ගේ පිරිසෙහි රාජගුරු නම් පූජනීය තනතුර ලැබූ භික්‍ෂූන් වහන්සේ විසි එක් නමක් බිහිවීමෙන් ඒ සංඝ සමාජය තුළ වූ සුවිශේෂී තත්ත්වය මොනවට පැහැදිලි වෙයි.
මෙම තත්ත්වය, වටා පිටාව තුළ ජාගර හිමියන් උසස් සංඝපීතෘන් වහන්සේ නමක් වශයෙන් කීර්තියට පත් වූහ. එසේම වෙනත් විහාරස්ථානයන් හි විසූ භික්‍ෂූන් වහන්සේ ජාගර හිමියන්ගේ සංඝ සමාජය සමඟ එකතු වූහ. ටික කලෙකින් ජාගර හිමියන්ගේ සංඝ සමාජය දහසකගෙන් පමණ ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ ය.
අලුත් නිකායක් ඇති කිරීමේ අදහසක් රජතුමාගේ මෙන්ම ජාගර හිමියන්ගේ හිත තුළ නො පැවතුණි. එහෙත් කාය. වාග් සංවරය හා ශික්‍ෂා ගරුත්වය නිසා ජාගර හිමියන් මෙන්ම එම සංඝ සමාජය රටේ කැපී පෙනෙන ගෞරවනීය පිරිසක් බවට පත් විය. ඒ නිසා රට වැසියෝ නිරායාසයෙන් එම භික්‍ෂූ පිරිස ශ්වේජින් ශයාඩෝ යන ජාගර හිමියන්ගේ නාමය ද පෙරටුකර ගනිමින් නිකායක් වශයෙන් හැඳින්වීමට පුරුදු විය.
එම නිකායේ ‘ශ්වේජින් නිකාය’ වශයෙන් එසේ නම් වූයේ නිරුත්සාහයෙනි. මෙම ශ්වේජින් නිකායට රජතුමා විසින් හෝ සංඝ සමාජය විසින් නායකයකු ද පත් කර නො තිබිණි. එහෙත් රජතුමා ද සංඝයා වහන්සේ මෙන්ම සෙසු අය ද මෙහි නායකයා වශයෙන් ජාගර හිමියන් පිළිගෙන තිබුණි.
නිල වශයෙන් එසේ තනතුරු නොදුන්නාට ජන හදවත් මතින් මෙසේ නිරුත්සාහයෙන් ගොඩනැගුණු ශ්වේජින් නිකායත් එහි මහා නා හිමි පදවියත් ඉතා සුවිශේෂී වන්නේ ය. එය එසේ වන්නේ කුදු මහත් මිනිසුන්ගේ ආත්මීය බැඳීමෙන් මෙම නිකායේ තනතුරු ප්‍රදානයක් සිදුවීමය.
ජාගර හිමියන් අපවත් වීමෙන් පසුව නාම මාත්‍ර වූ ශ්වේජින් නිකාය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බැවින් සංඝයා වහන්සේ විසින් නිකායේ මහා නායක ධූරයට විසුද්ධාචාර ධජාධිපති පවරමහාධම්ම රාජාධිරාජගුරු මහා ස්ථවිරයාණන් වහන්සේ පත්කර ගන්නා ලදී. උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය පිළිබඳ උසස් දැනුමක් ලද මහා පඬිරුවනකි. ග්‍රන්ථ සම්පාදකවරයෙකි. ඉංගී‍්‍රසි ආණ්ඩුවෙන් මහා නා හිමියන් වෙත අග්ගමහා පණ්ඩිත තනතුර ද ප්‍රදානය කරන ලදී.
පෙරදා පැවැති ජාගර හිමියන්ගේ ධර්මාවවාද ලිපියෙන් නිකාය පාලනය කිරීමට හැකි වුවද , මෙය තවත් ක්‍රමානුකූලව පවත්වාගෙන යාමේ අරමුණින් මහා නා හිමි ඇතුළු අනෙකුත් භික්‍ෂූන් වහන්සේගේ අනුමැතියෙන් වගන්ති තිහකින් සමන්විත නීති මාලාවක් හෙවත් කතිකාවතක් පිළියෙළ කරන ලදහ. දැනට ශ්වේජින් නිකායේ පාලනය සිදු කෙරෙන්නේ එම කතිකාවතට අනුකූලවය. මෙසේ ශ්වේජින් නිකාගේ දියුණුව පැතිර ගියේ විශුද්ධාචාර මහා නා හිමියන්ගේ කාලයේ ය.
එය දැනට සියම සහ ශ්‍රී ලංකාව යන දෙරට තුළට පැමිණ ඇත්තේ ය. මේ අනුව ශ්වේජින් නිකායේ භික්‍ෂු සමාජය බුරුමයේ පහළොස් දහසක පමණ පිරිසකගෙන් සමන්විතය. විහාරස්ථාන දෙදහසක් පමණ ඇත්තේ ය. එසේ ව්‍යාප්ත වූ ශවේජින් නිකායේ උපාධිධාරී බොහෝ පණ්ඩිත භික්‍ෂූහු ඇත්තාහ.
බොහෝ ග්‍රන්ථ කර්තෘවරුන් කර්මස්ථානාචාර්යවරුන් යෝගීන්, ආරණ්‍යකයන් ධුතංගධාරීන් මෙම නිකාය වර්ණවත් කර තිබෙයි. එසේම භාවනා ක්‍රම පිළිබඳව ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළා වූ සතිපට්ඨාන භාවනාව දියත පුරා ව්‍යාප්ත කළා වූ මහා කර්මස්ථානාචාර්ය අග්ගමහා පණ්ඩිත මහා සී සයාඩෝ භදන්ත සෝභන මහා ස්වාමීන් වහන්සේ ද ශ්වේජින් නිකායේ මහා තෙර නමකි. ශ්වේජින් නිකායේ මූලාරම්භක මහා නාහිමියන් වහන්සේ වූ ජාගර මහා නා හිමි 1872 වසරේ දී සිද්ධස්ථාන වන්දනාමාන කරගැනීම සඳහා ලංකාවට වැඩියහ.
ඒ කාලයේ අමරපුර නිකායේ කොටස් තුනක්ව පැවැති බැවින් බලපිටියේ මහා කප්පින වලව්වේ රාජපක්‍ෂ මුදලිතුමා ජාගර මහනා හිමියන්ට ආරාධනා කොට එය නැවත එකතු කිරීමට අපේක්‍ෂා කළේ ය. ජාගර හිමියන් මහා කප්පින වලව්වේ වැඩ වසමින් භික්‍ෂූන් වහන්සේට මෙන්ම දායක පින්වතුන්ට බොහෝ ධර්ම දේශනා කළහ. අනුශාසනා කළහ.
එසේ සංඝයාගේ සමඟිය සඳහා අමරපුර නිකායේ මහා සංඝයාගේ අනුමැතියද ඇතිව අවිවාදයෙන් කාටත් පිළිගත හැකි පරිදි උදකුෙක්‍ඛප සීමාවක් මාදු ගඟෙහි කර වන ලදහ. ජාගර හිමියන්ට ගෞරවයක් වශයෙන් ඒ සීමාවට ‘ශ්වේජින් සීමා’ යන නම තබන ලද්දේ ය. අදත් අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ වාර්ෂික උපසම්පදා උත්සවය පවත්වන්නේ එහි දී වීම විශේෂයක් වන්නේ ය. 1872 වසරේ දී එය සිදු වූයේ ජාගර මහා නා හිමියන්ගේ මූලිකත්වයෙනි. එසේම ජාගර හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් කුල දරුවන් 28 දෙනෙකු පැවිදි බිමට ද ඇතුළත් වූහ.
මෙසේ ජාගර මහා නා හිමියන් ලංකාවෙහි මාස හතක් පමණ නැවතී සිටියහ. උන්වහන්සේ බුරුමයට වැඩම කළ පසුත් ශ්‍රී ලංකාවේ අමරපුර නිකායේ සංඝයා වහන්සේගේ යහපත වෙනුවෙන් ලංකා ශාසන විසුද්ධිකතා යන ශිර්ෂයෙන් දීර්ඝ ලිපියක් ද සකස් කර එවන ලදී. මෙසේ ජාගර මහා නා හිමිපාණන්ගේ පැමිණීම නිසා ලංකාවට ශ්වේජින් නිකායේ ආභාෂය ලැබිණ.
ශ්වේජින් නිකායේ යූ. විනයාලංකාර බුරුම නා හිමියෝ ලංකාවට වැඩියේ ද මෙහි සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා ය. ඒ ආගමනය අවසන් වූයේ උන්වහන්සේ ලංකාවේම නවතා ගැනීමට මෙහි ප්‍රසාදයට පත් ජනතාව තීරණය කිරීම නිසා ය.
ඒ වෙනුවෙන් උන්වහන්සේට පූජා කළ භූමියෙහි විහාරස්ථානයක් ගොඩනැ‍ෙගන්නේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය වශයෙනි. එය ලංකාවේ ඇති වූ ප්‍රථම ශ්වේජින් නිකායික සංඝාරාමය වශයෙන් ඉතිහාසයට එක් වී ඇත. මෙම විහාරස්ථානය බුරුම නා හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය උදෙසා පූජා කෙරෙන්නේ 1907 වසරේ ජනවාරි මස 20 වැනි දිනයේදීය.
මෙසේ ලංකාවේ මුල් බැසගත් ශ්වේජින් නිකාය අමරපුර නිකායෙන් භින්න නොවූ එහෙත් අමරපුර මහා සංඝ සභාවට එක් වූ කුඩා නිකායකි. මෙම නිකායට විහාරස්ථාන 70ක් පමණ හා තුන්සියයක පමණ භික්‍ෂූන්වහන්සේ අයත්ව සිටිති.
1906 වසරේ ජනවාරි 8 වැනි දින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ දී කුල දරුවන් 27 දෙනෙකු පැවිදි දිවියට ඇතුළත් කිරීමෙන් ලංකාවේ ශ්වේජින් නිකායේ භික්‍ෂු පරපුර ජනිත විය. එදින පැවිදිවූ එක් භික්‍ෂූන් වහන්සේ නමක් වූයේ රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ ය.
මෙසේ ලක්බිමෙහි ශ්වේජින් නිකාය ආරම්භ වී ගෙවී ගිය කාල පරිච්ඡේදය තුළ මෙම නිකායේ මහා නායක ධුර හොබවා ඇත්තේ උඩුවේ විමලරංසි මහා නා හිමි ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහා නා හිමි මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නා හිමි, හේනේගම කල්‍යාණසිරි මහා නා හිමි, සහ වත්මන් මහානායක ධුරය දරන ඉඟුරුවත්තේ පියනන්ද මහා නා හිමි යන සංඝ පීතෘන් වහන්සේලා ය.
මෙසේ ශ්වේජින් නිකාය පිළිබඳ හැඳින්වීමක් කළේ රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් ශ්වේජින් නිකායේ මහා නායක තනතුරෙන් පිදුම් ලැබූ බැවින් ශ්වේජින් නිකාය යනු කුමක්දැයි පාඨක ජනතාවට යම් අවබෝධයක් ලබා ගැනීමටය.
ජනක වෙත්තසිංහ

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 22

චන්දවිමල හිමියන්ට මහාචාර්ය පදවියක්

බොහෝ ඇත්තන් බැබළෙන්නේ තනතුරු, නම්බුනාම, පට්ටම්, නිලතල වල රශ්නයෙනි. ඒ සියල්ල පාමුල ගිලිහී වැටෙන විට ඒ ඇත්තන් බහුතරයක් තටු සිඳුණු පක්‍ෂීන් හා සමාන ය.
බුරුමයේ ශ්වේජින් නිකාය බිහිවූයේ එවකට රටේ පැවැති ආගමික, ශාසනික, පිරිහීමට නිශ්චිත පිළිතුරක් වශයෙන් යුගයක අවශ්‍යතාවයේ මහා හිදැසක් පිරවීමට ය. එහි නිර්මාතෘ ‘ජාගර’ නම් සංඝ පීතෘවරයාණන් මහා නායක පදවියෙන් පිදුම් ලැබුවේ නිල වශයෙන් ලැබුණු තානාත්රයක් නිසා නොව ජාගර හිමියන් ශාසනය වෙනුවෙන් පිවිතුරු අරමුණෙන් කළ කාර්යභාරය නිසා රට වැසියන්ගේ හද පත්ලේ මහා නායක පදවිය නිතැතින් ලියැවුණු නිසා ය.
රාජ අනුග්‍රහයෙන් තනතුරක් නො ලැබුණ ද එවන් තනතුරක් දස දහස් ගණනක් මිනිසුන්ගේ හද පත්ලෙන් ප්‍රදානය කෙරෙන්නේ නම් එවන් ගරු බහුමානයක වටිනාකම මිල කළ නොහැක. එවන් තනතුරක් අමිල ය, පිවිතුරු ය. ඒ නිසාම බුරුමයේ ශ්වේජින් නිකාය ද ජාගර හිමියන් ලද නිල නොලත් මහානායක පදවිය ද උත්තරීතර ය. ආචාර්ය, මහාචාර්ය, මහා නායක පදවි බැබළෙන්නේ එම නිල පදක්කම් නිරායාසයෙන් පැළඳවෙන උතුම් මිනිසුන් මෙන්ම එවන් සංඝ පීතෘවරුන් දියත ආලෝකවත් කරනා දිනකර මෙන් විහිදුවන ප්‍රභාශ්වරය නිසා ය. ඝන කළුවර අගාදයට ඇද වැටුණු වුන්ගේ හිස් මත මේ තානාන්තර තැබූව ද ඒවායේ දීප්තිය දැක ගැනීමට අවැසි ආලෝක කිරණයක් ඇතුල්වීමට මෙවන් කළුවර කුටිවල කිසිදු කවුළුවක් නොමැත.
රේරුකානේ චන්දවිමල හිමියන්ට ශ්වේජින් නිකායේ මහා නායක පදවිය ප්‍රදානය කිරීම එම තානාන්තරය ලද ගෞරවයකි. පරමාදර්ශී චරිතයක් නිසා තනතුර බැබළෙන්නේ නිරුත්සාහයෙනි. එවිට එම තනතුර උත්තරීතර වෙයි. අප මහා නා හිමියන්ට බහුතරයක් තනතුරු ගරු නාමයන් ලැබුණේ උන්වහන්සේ විසින් ලියා ඵලකළ ධර්ම ග්‍රන්ථයන්හි ඵලදායීතාවයේ විශිෂ්ටත්වයට ගෞරවයක් වශයෙනි. තවත් කෙනෙකුට කළ නොහැකි තරම් වූ මෙවන් අති මහත් වූ ව්‍යායාමය වෙනුවෙන් ගෞරව බුහුමන් පිදීම අතිශය සාධාරණ ය.

උන්වහන්සේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ආරම්භක මහාචාර්යවරුන් අතරට ආරාධනා ලැබ වැටුප් නොගෙන සේවය කළ සේක. සාහිත්‍ය චක්‍රවර්තී සම්මාන උපාධිය ප්‍රදානය කළේ ද විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙනි. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ පණ්ඩිත උපාධිය ද අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ ප්‍රවචන විශාරද සම්මානය ද අමරපුර මහා සංඝ සභාවේ අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන ගරු නාමය ද විද්‍යාලංකාර (පිරිවෙන) සභාවේ ශ්‍රී සද්ධර්ම ශිරෝමණී ගෞරවනාමය ද පිවිතුරු සංඝ පීතෘවරයකු වෙනුවෙන් පිදූ පූජාවන් සේ අගය කළ යුතු වෙමු. අප එසේ අගය කළ ද චන්දවිමල මහා නා හිමියන්ට ඒවා කඩදාසි කැබැල්ලකට පමණක් සීමා වූ ඒවා ය.
මේ ගෞරව උපාධි පදවි තානාන්තර ලැබීම පිළිබඳව රේරුකානේ මහා නා හිමියන් ඵල කරන්නේ මෙවන් අදහසකි. “ඉස්කෝලේ දෙවන පන්තියට ගිය මට මොන පදවියක්වත් උපාධියක්වත් ලැබේවි කියලා කවුද හිතුවේ.” නමුත් ඉතින් ඔය ලැබී තියෙන්නේ මං ඉතින් අර බුරුම රටේ දී ලබා ගත් ඉගෙනීම අනුව ත්‍රිපිටක ධර්මය පිළිබඳවත් පාලි භාෂාව පිළිබඳවත් තරමක දැනුමක් ලබා ගත්තා. ලංකාවට ආවට පස්සේ එක එක්කෙනාගේ ඉල්ලීම අනුව පොත් කීපයක් ලීවා. ඉන් පස්සේ තමයි ඔය පදවි ලැබෙන්නට පටන් ගත්තේ. ඉස්සර වෙලාම මට ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් සම්මාන පණ්ඩිත උපාධියක් ලැබුණා. ඊළඟට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ අභිධර්මය පිළිබඳ මහාචාර්ය පදවිය ලැබුණා. ඇත්තවශයෙන්ම මං ඒක භාර ගත්තේ කැමැත්තකින් නොවෙයි. සතියකට එක දවසක් හරි වඩින්න කියලා මට ආරාධනාවක් ලැබුණා. අපේ යක්කඩුවේ නායක ස්ථවිරයන් වහන්සේගෙන්. ඒ නිසයි මං ඒක භාර ගත්තේ. ඉගෙන ගත්ත දෙයක් කාට හරි හොඳට උගන්වන්න ලැබෙනව නම් එක සතුටක්. මං විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමෙන් කිසිම වැටුපක් බලාපොරොත්තු වුණෙත් නෑ. මට ලැබිච්ච මුදලින් කොටසක් විද්‍යාලංකාරේ දියුණුව සඳහාම පරිත්‍යාග කළා.”
“1963 වසරේ මට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍ර වර්තී උපාධිය ලැබුණා. 1976 වසරේ දී ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක පදවියත් මට ලැබුණා. 1995 දී අමරපුර මහා සංඝ සභාව එක් වීමෙන් පසු ‘අමරපු මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන’ යන නම සහ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ප්‍රවචන විශාරද යන නමත් මට ලැබුණා. මේ පදවි – උපාධි පිරිනමන්නට ඇත්තේ මගෙනුත් මේ රටට ජාතියට සම්මා සම්බුද්ධ ශාසනයට යම්කිසි සේවයක් සිදුවී ඇති නිසා වෙන්න පුළුවන්.”
චන්දවිමල නා හිමියන් ලද තවත් සම්මානයක් පිළිබඳව උන් වහන්සේ ඵල කළේ මෙවන් අදහසකි.
“ ‘ප්‍රවචන විශාරද’ කියන ගෞරව නාමය පිරිනමන්නට සම්මත කරලා ලිපියක් එවා තිබුණා. මං ඉතින් ඒ ගැන හොඳ ලිපියක් ලියා යැව්වා. ඒ ලිපිය අවසානයේ ජාතක පාලියේ නාම සිද්ධි ජාතකයේ එන ගාථාව තුත් ලියා යැව්වා, මතක යි.
ඒ ජාතක කතාවේ තියෙන්නේ ‘පාපක’ නම් මානවකයා තමන්ගේ නම හොඳ නැති බව කියා දිසාපාමොක් ආචාරීන්ගෙන් හොඳ නමක් ඉල්ලා සිටීමයි. දිසාමොක් ආචාර්යවරයා මේ ගෝලයාට ජනපදයේ ඇවි ද හොඳ නමක් සොයා ගෙන එන ලෙස කීවා. එවිට ‘ජීවක’ නම් තැනැත්තා මැරී ඇති බවත් ධනපාලී නම් ඇත්තී දුප්පත් වී ඇති බවත් පන්ථක (මාර්ගය දන්නා තැනැත්තා) නම් ඇත්තා මං මුලාවී ඇති බවත් දැන ආපසු ඇවිත් නමෙන් ඇති වැඩක් නෑ. තියෙන නමම හොඳයි කියා දිසාපාමොක් ආචාරීන්ට කීවා. දිසාපාමොක් ආචාරීන් ඔහුගේ ඒ සිදුවීම ගළපා මේ ගාථාව කිව්වා.
ජීවකංච මතං දිසාවා 

ඔපපාලිඤ්ච දුග්ගතිං

පන්ථකඤච වනෙ මූළහං 

පාපකො පුතරාගතොති

ඔන්න ඔය ගාථාව ඒ ලියුමේ ලියලා යැව්වා. ඒ අය මොනවා හිතුවද දන්නේ නෑ.”
තවත් එවැනිම හාස්‍ය උත්පාදනය පිළිබඳව ප්‍රබන්ධ කළ කතාවක් උන්වහන්සේ මෙනෙහි කළේ මෙසේ ය.
“එක්තරා පන්සලක ලොකු හාමුදුරුවෝ ළිඳක වැටිලා තියෙනවා. මේ හාමුදුරුවන්ගේ නම හුගක් දිග එකක්. (එසේ නම දික් වී ඇත්තේ පදවි තානාන්තර නමේ මුලට යෙදී තිබුණ නිසය) පන්සලේ ඇබිත්තයා දුවගෙන දුවගෙන ගිහිල්ලා ගමේ දායකයන්ට මෙම සිදුවීම කියන්නට සූදානම් වෙලා ළි‍ෙඳ් වැටුණ හාමුදුරුවන්ගේ නම කියාගෙන යන කොට නම දිග වැඩි නිසා අමතක වෙනවා. ආයිමත් මුල පටන් නම කියන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට ඇබිත්තයාට හාමුදුරුවන්ගේ නම කියන්නට බැරිව හාමුදුරුවන් ළිඳෙන් ගොඩ ගන්න නොහැකි වෙලා තියෙනවා. අනවශ්‍ය පදවි තානාන්තර ලැබුණු විට ඒවායේ බර දරා ගැනීමට නොහැකි වූ නිසා ඒ හාමුදුරුවන්ට සිදු වූයේ දියේ ගිලී මිය යාමට ය.
මේ කතාවලින් පෙනී යන්නේ මෙවන් අනවශ්‍ය පුහු ආටෝපයන් හිස් දේවල් බවය. පරිපූර්ණ වූ ජීවිතයකට, පරමාදර්ශී චරිතයකට කිසිදු නම්බු නාමයක් අවශ්‍ය නොවේ. කුදු මහත් මිනිසුන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වන්නේ එම තැනැත්තා සතු උසස් ගුණ කදම්භයක බලයේ ශක්තියෙනි. ආධ්‍යාත්මික පෝෂණයේ සුවඳිනි. එවන් වූ මිනිසුන් කිසිදා නොමියන මිනිසුන් ය. චන්දවිමල මා හිමියන් සම්මානයට පාත්‍ර වී ඇත්තේ හුදී ජන හද පහන් කළ නිසා ය.
එවන් සම්මානයට ගරු බහුමානයට පාත්‍ර වන මිනිසුන් අල්ප ය. ඒ නිසාම එවන් මනුෂ්‍යත්වයට මිලක් නියම කළ නොහැකි ය. මිලක් ගැසීමට නොහැකි මැණික් ගලක් මෙන් චන්ද විමල මහා නා හිමි නාමය යහපත් මිනිසාගේ හද පතුලේ රැඳී ඇත්තේ පූජනීයත්වයෙනි.
ජනක වෙත්තසිංහ

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 23

අනූපමේය භික්‍ෂු ජීවිතයක පවිත්‍රත්වය

නායක හාමුදුරුවන්ගේ ලිවීමේ තවත් විශේෂයක් තමයි එය දෙවරක් නොලීම. එකවර ලියන එකමයි මුද්‍රණයට යවන්නේ. ලියන දෙයක් කපා වෙනස් කර තියෙනවා නම් එසේ වන්නේ ඉතාමත් කලාතුරකිනුයි. නායක හාමුදුරුවන් කළේ පොත් ලිවීම පමණයි. මුද්‍රණය කරවීම ආදි වූ අනෙක් සියලු කටයුතු කළේ අපියි. පොතක් මුද්‍රණය කරලා ගෙනත් දුන්නාම උන්වහන්සේ සතුටු වෙනවා. ඒ පොත් කියවල යම් යම් දෙනා ඇවිදින් නායක හාමුදුරුවන්ට පින් දෙනවා ඒ වෙලාවට උන්වහන්සේ වඩ වඩාත් සතුටට පත්වෙනවා

චන්දවිමල මහා නා හිමියන් මව් බස මෙන්ම පාලි භාෂාව ඉගෙන ගත්තේ ස්ව උත්සාහයෙන් වුවද ඉංගී‍්‍රසි භාෂාව ඉගෙන ගැනීමට වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. ඒ වකවානුවේ භික්‍ෂූන් වහන්සේලා ඉංගී‍්‍රසි භාෂාව ඉගෙන ගැනීම පිළිබඳව දායක කාරකාදීන් දැක්වූයේ දැඩි විරුද්ධත්වයක් බව උන්වහන්සේ පවසති.
ඉංගී‍්‍රසි භාෂාව ඉගෙන ගන්න භික්‍ෂූන් වහන්සේට සිදුවන්නේ ඔවුන්ගේ ඇනුම් බැනුම් වලට මුහුණදීමටය. එයට ද යම් හේතුවක් තිබිණ. ඒ කාලයේ ඉංගී‍්‍රසි භාෂාව ඉගෙන ගන්නේ රක්‍ෂාවක් බලාපොරොත්තුවෙනි. ගමේ පන්සලේ හාමුදුරුවන් රැකියාවක් කිරීම භික්‍ෂූත්වයට අකැප දෙයක් වශයෙන් දායකයන් සිතුවා විය හැකිය. චන්දවිමල මා හිමියන් ඒ පිළිබඳව දරන්නේ මෙවැනි අදහසකි. “ඉංගී‍්‍රසි භාෂාවේ අගයක් අපට නොතිබුණ නිසාත් එය ශ්‍රමණ ධර්මයට අවශ්‍ය නොවන නිසාත්, අප ඉංගී‍්‍රසි භාෂාව ඉගෙනීමට උත්සාහ කළේ නෑ”

ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳව තවදුරටත් උන්වහන්සේ මෙසේද පවසති. ‘ඉංගී‍්‍රසි හෝඩිය හදල තියෙන්නේ දක්‍ෂයෙක් නො වෙයි. ඉංගී‍්‍රසි හෝඩියේ තියෙනවා අකුරු හතර ජාතියක්, අපේ හෝඩියේ තියෙන්නේ එක අකුරු ජාතියයි “ ‘අපේ හෝඩිය ඉගෙන ගත්තාම අපේ භාෂාව කියවන්නට පුළුවන්, ඒ වුනත් ඉංගී‍්‍රසි හෝඩිය ඉගෙන ගෙන ඒ භාෂාව කියවන්න බැහැ. වචනෙන් වචනය කියන පිළිවෙළ වෙන වෙනම ඉගෙන ගන්න ඕනෑ’
නභබ ‘පුට්’ නම් ඕභබ ‘බට්’ වෙන්නේ කොහොමද? ඒ වගේම මට ඉංගී‍්‍රසි ඉගෙන ගන්න ඕනෑකමක්වත් උත්සාහයක්වත් තිබුණෙත් නැහැ “ මහා නා හිමියන්ගේ ශිෂ්‍යයකු වූ ශාස්ත්‍රපති පණ්ඩිත කල්‍යාණධම්ම හිමියන් උන් වහන්සේ ගේ මුල්ම උපස්ථායකයා ය. කල්‍යාණධම්ම හිමියන් තම ගුරුවරයාණන් සමීපයේ බොහෝ කලක් සිටි බැවින් උන්වහන්සේගේ ඇවැතුම් පැවතුම් පිළිබඳ කල්‍යාණධම්ම හිමියන්ට ඇත්තේ හොඳ අවබෝධයකි.
උන්වහන්සේ චන්දවිමල මහා නාහිමියන්ට පෙර අපවත් වූහ. එහෙත් කළ්‍යාණධම්ම හිමියන් වැඩ සිට අවදියේදී තම ගුරු භික්‍ෂූන් වහන්සේ පිළිබඳව ඵල කළ අදහස් කීපයක් සටහන් කිරීම, වැදගත් වන්නේ චන්දවිමල මහා නාහිමියන්ගේ ජීවන ප්‍රවෘත්තියේ පැවැති විශේෂතා හඳුනා ගැනීමට එයින් අපට අවස්ථාවක් සැලසෙන බැවිනි. මහා නා හිමියන් ගමන් ගත් ජීවන මගේ දැල්වුණු පහන් පෙළ වූයේ උන්වහන්සේගේ උදාර චරිතයේ වූ කැපී පෙනෙන ගුණයන්ය.
ඒ පිළිබඳව කල්‍යාණ ධම්ම හිමියන්ගේ මතකය අවදි කිරීමට දැන් ඉඩ හසර පාදා ගනිමු. ‘අපේ නායක හාමුදුරුවන්ගේ ජීවිතයේ දකින්නට ලැබුණු විශේෂිතම ගුණයක් තමයි විකාල භෝජනය නොකිරීමට, දවල් 12 න් පස්සෙ කවරදාකවත් පිටිකිරි ටිකක්වත් පානය කළේ නැහැ. කාලෙකට පෙර අපේ නායක හාමුදුරුවන්ට උණ රෝගයක් වැළඳුනා. දවස් හයක් විතර කිසිම ආහාරයක් ගත්තේ නැහැ. නායක හාමුදුරුවන්ගේ ශක්තිය හීන වෙන නිසා බොහෝ දෙනා මට කිව්වා හෝර්ලික්ස් එකක්වත් හදල දෙන්න කියල. ඉතින් මමත් හෝර්ලික්ස් එකක් හදල හවස හතරට විතර නායක හාමුදුරුවන්ට පිළිගැන්වූවා. අසනීපයෙන් උන්වහන්සේ කොතරම්ම දුර්වල වෙලා සිටියත් අවේලාවේ පිළිගැන්වූ නිසා එය පානය කළේ නැහැ “ “දැන් අපේ නායක හාමුදුරුවන්ගේ ඇස් දෙකම පෙනෙන්නේ නැහැ. උන්වහන්සේට රැයක දවාලක වෙනසක් නැහැ” චන්දවිමල මහා නා හිමියන්ගේ දෑස් නො පෙනීම නිසා කාල ගමනේ නිවැරදි වෙනස හඳුනා ගැනීමට නොහැකි වෙයි. ඒ නිසාම මහා නා හිමියන් තම ශිෂ්‍ය භික්‍ෂූන් වෙත නීති පනවා තිබේ. තම ගෝලයින්ට උන්වහන්සේ පවසා ඇත්තේ කිසිම අවසථාවක අවේලාවේදී උන්වහන්සේ වෙත භික්‍ෂු ශික්‍ෂාපදය කැඩෙන කිසිවකින් සංග්‍රහ නොකළ යුතු බවය.
මෙවන් තත්ත්වයක් ජීවිතයට උදාවූයේ නම් බොහෝ දෙනා කරන්නේ එය තම වාසියට හරවා ගැනීමය. කාලවේලාවන් නිසි ලෙස සොයා පහදා ගැනීමට සිතට නො හැකි විටක බඩගින්නට – පිපාසයට තම බඩ වියතට යමක් වැටෙන්නේ නම් නිසොල්මනේ එය වැළඳීමෙන් ඒ තැනැත්තාට වරදක් පැටවීමට වෙනත් අයකුට පුළුවන් කමක්ද නැත. වැටහීමක් නොමැති නිසා එය සුළු වරදක් ලෙසවත් කෙනෙකු සිතන්නේ ද නැත. එහෙත් ලෝකයාගේ ඇපයෙන් බේරීමට නොව තම හෘද සාක්‍ෂයට එකඟව වැරදීමකින්වත් රහසින්වත් වරදක් නොකිරීමේ උදාර ගුණය මෙවන් අවස්ථා තුළින් පවා ප්‍රත්‍යක්‍ෂ වීමෙන් හැඟී යන්නේ චන්දවිමල මහා නා හිමියන්ගේ භික්‍ෂු ජීවිතයේ පැවැති පවිත්‍රත්වය නොවන්නේ ද? ගුරුවරයාගේ් නියමයට ගරු නොකරමින් උන්වහන්සේව රැවටීමට උපස්ථාන කළ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේට අවස්ථාව සැලසුනද උන්වහන්සේලා තම ගුරුවරයාගේ නියමය අකුරටම පිළිපැද්දේ ගුරු දේවයන්ට කළ ගෞරවයක් වශයෙනි.
අනෙක් පසින් නිසි ලෙස අවවාද අනුශාසනා දෙමින් සෑදූ ගෝලයන්ගේ අගයද මෙයින් හඳුනා ගැනීමට හැකි වෙයි.
පොත් ලිවීම චන්දවිමල මහා නා හිමියන්ගේ ආත්මය හා බැඳි පැවතුණකි. ඒ ගැන කල්‍යාණධම්ම් හිමියෝ මෙසේ පවසති.
නායක හාමුදුරුවෝ පොත් ලිව්වේ මොකවත් බලාගෙන නොවෙයි. පාන්දරින් අවදිවෙලා . ඒ කටයුතු අවසන් කරලා දානෙ වළඳලා ටික වේලාවක් විවේක ගන්නවා. ඉන් පස්සෙ සීමාව ළඟ සිට ඝණ්ඨාර කුලුන දක්වා කීප වරක් එහාට මෙහාට සක්මන් කරලා ඇවිත් ඉස්සරහ පුටුවේ වාඩිවෙලා ලෑලි කෑල්ල (උන්වහන්සේ පොත් ලිවීම වෙනුවෙන් සකසා ගත් කුඩා ලෑල්ල) අරගෙන ලියන්න පටන් ගන්නවා. ලියන අතර වාරයේ කවුරුහරි ඇවිත් කතා කළොත් වචනයකින් කොටසක් ලියමින් සිටියත් එය නවතා ආ කෙනා සමඟ කතා කරනවා. ඒ තැනැත්තා ගිය පසුව නැවතූ තැන් සිට නැවත ලිවීම ආරම්භ කරනවා. කොහොම වුණත් දවසට ලියන්නේ බොහොම ටිකක් පමණය. මෙසේ ලියන්නෙත් උදේ, දවල්, හෝ සවස් කාලේදියි. සවස හයෙන් පස්සේ යමක් ලියන්නේවත් කියවන්නේ වත් නැහැ. මං මේ පන්සලට ආවට පස්සේ කවරදාක වත් රාත්‍රියේදී ලියනවා හෝ කියවනවා මා දැකලා නැහැ.
නායක හාමුදුරුවන්ගේ ලිවීමේ තවත් විශේෂයක් තමයි එය දෙවරක් නොලීම. එකවර ලියන එකමයි මුද්‍රණයට යවන්නේ. ලියන දෙයක් කපා වෙනස් කර තියෙනවා නම් එසේ වන්නේ ඉතාමත් කලාතුරකිනුයි. නායක හාමුදුරුවන් කළේ පොත් ලිවීම පමණයි. මුද්‍රණය කරවීම ආදි වූ අනෙක් සියලු කටයුතු කළේ අපියි. පොතක් මුද්‍රණය කරලා ගෙනත් දුන්නාම උන්වහන්සේ සතුටු වෙනවා. ඒ පොත් කියවල යම් යම් දෙනා ඇවිදින් නායක හාමුදුරුවන්ට පින් දෙනවා ඒ වෙලාවට උන්වහන්සේ වඩ වඩාත් සතුටට පත්වෙනවා.
අප බොහෝ දෙනා ලේඛන කලාව ප්‍රගුණ කර තිබුණත්, යම් නොවැදගත් දෙයක් වුණත් ලියන විට වෙනස්කම් කිරීම් කැපීම් ආදිය සිදු කිරීම සාමාන්‍ය සිරිතකි. එසේ නම් දහස් ගණනකගේ අතට පත්වන පොතක් ලිවීමේදි නිරවද්‍යතාවය පිළිබඳව අපට සියවරක් සිතන්නට සිදුවෙයි. සිතලුවක් නොවන යමක් ලිවීමේදි පොත්පත් පවා පරිශීලනය කිරීම සාමාන්‍ය සිරිතය. එසේ කරන්නේ සුළු හෝ වැරදීමක් සිදුවීමට ඉඩ ඇති බැවිනි. ගැඹුරු ධර්ම කාරණා වැනි දෙයක් ලියන්නේ නම් තව තවත් ප්‍රවේශම් විය යුතු වෙයි. නමුත් චන්දවිමල හිමියන් සතු වූ මේ සුවිශිෂ්ට තාවය එක අතකින් විශ්මිත ගුණයකි.
එයින් හැඟී යන්නේ චන්දවිමල නා හිමියන්ගේ දැනුම් ගබඩාවෙහි වු සුපොහොසත්කමය. කියවීමෙන් නොනැවතී එය තමා සතු ඤාණයෙන් ගැඹුරෙන් ප්‍රත්‍යක්‍ෂ කර ගත් අයකුට හැර මෙවන් විශේෂිත ගුණයක් මතු කර ගැනීමට නොහැකි බව හැඟෙයි.
සිරුරට එන්නත් කළ ඖෂධයක්සේ ගැඹුරු දම් ඔසුව ඉතා සරලව පාඨක අධ්‍යාත්මයට කා වැද්දීමට සමත්වූ මේ යතිවරයාණන් වහන්සේගේ අත්‍යග්‍ර වූ ගුණ ලක්‍ෂණය තවත් කෙනකුගේ තුළ නො පිහිටන තරම් වූ ඉතා විරල නිපුණතාවයකි.
ලබා ගත් සදහම් දැනුම ප්‍රත්‍යක්‍ෂ කළ මානසිකත්වයේ පුළුල් බව, බහුශ්‍රැත බව මෙවන් කරුණු තුළින් ප්‍රකට කරනා සෙයකි.
උන්වහන්සේ ආත්මීයව රැගෙන ආ මෙවන් විශේෂතා මතින් චන්දවිමල මහා නා හිමියන්ගේ අධ්‍යාත්මීය අතිගුණය අපට චන්දවිමල මහා නා හිමියන්ගේ අනුපමේය භික්‍ෂු ජීවිතය පිළිබඳ බොහෝ දේ සිතන්නට අවැසි පසුබිමක් සකසා දෙනු ලබයි.
ජනක වෙත්තසිංහ

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 24

පරම ලාභය නිරෝගි සැපත ය


රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ වසර සියයක් පමණ ජීවත් වූහ. එය දීර්ඝායුෂ විඳීමකි. පරම ලාභය නම් නීරෝගි සැපතය. චන්දවිමල මහා නා හිමියන් දීර්ඝායු ලද්දේ පරම ලාභයද වින්දනය කරමිනි.
තම ජීවිතයේ ශතවර්ෂාධික දීර්ඝ කාලය තුළදී උන්වහන්සේ කිසිදු බරපතළ රෝග පීඩාවකින් නොපෙළඹුණු බව සත්‍යයකි.
ඒ පිළිබඳව මහා නා හිමියන් පවසන්නේ මෙසේය. ‘මා හුඟක් වෙද පොත් කියවලා තියෙනවා. ඒ වුණාට මං වෙදකම් කරන්නේ නෑ. මට අවශ්‍ය පුංචි පුංචි බෙහෙත් ඉඳල හිටල කාට හරි කියල හදාගෙන පාවිච්චි කරනවා. මට බොහෝ දෙනාට තියෙන සීනි අමාරුව, ලේ ගමනේ අඩු වැඩිකම වැනි රෝග නෑ. හිත හුඟක් සැහැල්ලු තරමට ලෙඩ රෝගත් අඩුවෙනවා. මට යම් කිසි අමාරුවක් ඇති වුවහොත් ඒකට ප්‍රතිකාරයකුත් මටම හිතෙනවා. මගේ ජීවිත කාලයේ දී තද බල අසනීප වෙලා වැඩිදින ගණනක් ඉස්පිරිතාලවල ඉඳලා නෑ. මං කවදත් ආහාර ගත්තේ ටිකයි “
චන්දවිමල මහා නා හිමියන් වහන්සේ යම් තරමකට වෙදකමද හදාරා තිබෙයි. එහෙත් එවැනි විෂයක් වුව කිරීම සැබෑ භික්‍ෂූන් වහන්සේට කැප නොවෙන බව චන්දවිමල හිමියන් පවසන්නේ සම්බුද්ධ දේශනාවට අනුකූලවය.
භික්‍ෂූන් වහන්සේගේ නිවැරදි භූමිකාව නිසි අයුරෙන් දැන සිට පරමාදර්ශී චරිතයක් වශයෙන් හඳුනාගත හැකි අප මහා නා හිමියන් වහන්සේ යුග යුග පවතින මහා භික්‍ෂු චරිතයක් බවට පත් වී අදත් ගෞරව බහුමානයට පූජනීයත්වයට පත්ව ඇත්තේ කය දිරූවද නාමය නොදිරන ලෙස තම ජීවිතයේ පවිත්‍රත්වය නොකෙලෙසන ලෙස උත්තරීතර භික්‍ෂු ජීවිතයක් ගත කළ නිසාය. උන්වහන්සේගේ ශතවර්ෂයක් පමණ වූ ඒ අසහාය ජීවන මඟ සරලය. අධ්‍යාත්මය සුපෝෂිත වූ නිසාම සැහැල්ලුය. ධනය – බලය පදවි –තානාන්තර ගරු නම්බු නාම පසුපස හඹා නොගිය බැවින් අල්පේච්ඡය. එසේ සරල සැහැල්ලු, අල්පේච්ඡ උතුම් භික්‍ෂූත්වය ඒ පරමාදර්ශී බව යහපත් මිනිස් දිවියකට අවැසි උපදෙස් කාව්‍යයක් සේය. ආශාවන් පසුපස හඹා නොයමින් රසනහර නොපිනවමින් තණ්හාවෙන් වියුක්ත වෙමින් සරල ආහාරයකින් යැපෙමින් ගෙවු සැහැල්ලු ජීවිතය නිසාම මේ ජීවන මගේ සියවන සැතැපුම් කනුව දක්වා ජයග්‍රාහීව යෑමට චන්දවිමල හිමියෝ සමත් වූ සේක. එසේම මේ පිරිපුන් භික්‍ෂු ජීවිතයෙන් ගත හැකි ආදර්ශයන් අති මහත්ය.
භික්‍ෂූන් වහන්සේට බරක් වන්නේ සිරුර දරන චීවරය පමණි. එය උපමා කර ඇත්තේ ගගනත සරණ පක්‍ෂියකුගේ පියාපත හා සම කරමිනි.
සංසාර විමුක්තිය උදෙසාම පැවිදි දම් මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන් සසරදුක නිවීම වෙනුවෙන් අවවාද අනුශාසනා කරනා ආදර්ශවත් භික්‍ෂූන් වහන්සේට තම දිවි පැවැත්මට නොසරිලන සියලු වස්තූන් භික්‍ෂු ජීවිතය ඈත් කරවන බාධා වැටකඩොලු බව බොහෝ අවස්ථාවලදි දහම ගුරුකොට ගනිමින් උන්වහන්සේ පවසා තිබේ.
බැඳිම් වරපට ලිහා දැමූ විට දැනෙනා අපමණ සුවය සැබෑ නිදහස වින්දනය කළ මේ සංඝ පීතෘ වහන්සේ මේ භවයේදී දීර්ඝ චාරිකාවක යෙදුනේ දිගු සංසාර ගමන කෙටි කර ගැනීමේ පරම පවිත්‍ර වූ චේතනාවෙන් මය. උන්වහන්සේ දන් පින් කළේ අධ්‍යාත්මික සුවය සඳහාමය.
තණ්හාවෙන් වියුක්තවීමෙන් පරිත්‍යාග සිදු කළ යුත්තේ ඒ බව ලෝකයට හැඟවීමට නොව හදවතින් තණ්හාවෙන් මඳකට හෝ ඈත්වීම සඳහාය. හැර දමන සිතකට තමා පරිත්‍යාග ශීලියකු බව හඬනගා කීමට බෝඩ් ලෑලි අවශ්‍ය නොවේ. අප අද පන්සලකට ගොඩ වැදුනොත් දකින්නේ ඉදිකිරීමකට වඩා වියදම් කර සාදා ඇති නම්ගොත් වග වාසගම් සහිත නාමපුවරුය.
යමකුගේ ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන් සකසා ගත යුතු බොහෝ තැන් උදෙසා මෙවන් උතුම් භික්‍ෂූන් වහන්සේලාගේ චරිතාපදානයන් මතින් නිසි පිළිතුරු සොයාගත හැකිව තිබේ.
චන්දවිමල හිමියෝ මුදල් පරිහරණයෙන්ද සම්පූර්ණයෙන්ම වැළකුණූ සේක. මහා නා හිමියන් පවසන්නේ ‘මා රැස්කළ විශාල ධනය පිරිසුදු පැවිදි ජිවිතය ‘ බවය.
මහා නා හිමියන්ගේ පශ්චිම යාමයේ ප්‍රධාන උපස්ථායක වූ කිරිඔරුවේ ධම්මානන්ද හිමියෝ මහා නාහිමියන් පිළිබඳ මතකය අවදි කරමින් මෙසේ පවසති. ‘අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තුළ තිබූ විශේෂ ගුණයකි සියල්ලන්ටම එකසේ සැලකීම. දුප්පතාටත් පොහොසතාටත්, පාලකයාත් එකසේ පිළිගත් සේක. ඒ ඒ පුද්ගලයන්ට තරාතිරම බලා කතා කළා මිස කිසිම විටෙක විශේෂ සැලකිල්ලක් නො දැක්වූ සේක. යමකුට යමක් කිව යුතු අවස්ථාවේදි නිර්භීතව ඉදිරියේදි කීහ. අනුන්ගේ නැති ගුණ කියමින් ස්තුති නො කළහ.එසේම අනුන්ගේ අගුණ සොයා ඒ ඒ අය වෙන්කිරීමක් ද නොකළ උන්වහන්සේ යමකු තුළ තිබෙන එක ගුණය වුණද එය අගය කොට සලකා ක්‍රියා කළ සේක”
දන් දෙන අයට අනුශාසනා කරන්නේ කා හට හරි යමක් දෙන විට ඒ තැනැත්තාගේ තිබෙන දුර්ගුණ නො සිතා තියෙන එක ගුණයක් හෝ සලකා හිත පහදවාගෙන දෙන ලෙසය’ අනුන්ගෙන් යමක් ඉල්ලීම අතිශයින්ම පිළිකුල් කළ උන්වහන්සේ දීමට අතිශයින්ම පි‍්‍රය වූහ “
ඒ ගැන මහා නා හිමියන් පවසන්නේ ‘මම පැවිදි කළ මගේ ගුරුවරයාගෙන් වත් මා මොකුත් ඉල්ලා ගෙන නෑ ‘
‘උන්වහන්සේ දිනපතා දන් දුන් අතර ජන්ම දිනයෙදි විවිධ මාදිලියේ පින්කම් කළහ.අන් අයටත් තමාගේ උපන් දිනයේදි කුමක් හෝ කුසල ක්‍රියාවක් කරන ලෙස අනුශාසනා කළ සේක. ‘උන්වහන්සේ දන්දෙන අවස්ථා වලදි කාගෙන්වත් ඉල්ලා දීම සිදු නොකළහ. ඒ මොහොතේ තමන් වහන්සේට තිබෙන දෙයක්ම දුන් සේක. උන්වහන්සේ පෞද්ගලිකව දන්දෙන අවස්ථාවක හො දන්දීමක් සංවිධානය කරන අවස්ථාවකදි කවුරුන් හෝ පැමිණ ‘නායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දානයට මොනවද අඩු? කියා ඇසුවොත් ‘දානයට මොකුත් අඩුවක් නෑ දානය කියන්නේ තමාට තියෙන හැටියට දීමයි’ යනුවෙන් එයට පිළිතුරු දුන් සේක.
ධම්මානන්ද හිමියන් චන්දවිමල මා හිමියන්ගේ ඒ පිළිවෙත දකින්නේ මෙසේය. ‘උන්වහන්සේ දන්දීම පිළිබඳ කරන ප්‍රකාශය ඉතා වැදගත්ය. දුප්පතුන්ට දන්දීමේ වැදගත්කම පහදා දී තමාට තියෙන හැටියට දන්දීමක කිරීමට අනුශාසනා කරන හැටි අපි දුටුවෙමු’ ධම්මානන්ද හිමියෝ තවදුරටත් මෙසේ පවසති. රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ, උන්වහන්සේට අවශ්‍යකරන දේ ඒ ඒ අවස්ථාවට ලැබීමේ පුදුම භාග්‍යයක් තිබූ උතුමෙකි. උන්වහන්සේ ලියූ පොත් වලින් එකම සතයක්වත් උන්වහන්සේ ප්‍රයෝජනයට අරගෙන නැහැ. එය පරම සත්‍යයකි. එනමුත් උන්වහන්සේට සිව් පසයෙන් කිසිම අඩුවක්ද නොවීය. මේ පිළිබඳව ධම්මානන්ද හිමියන්ට මතක ඇති අපුරු සිද්ධි කීපයක් සිහිපත් කිරීම වටියි.
එක් දිනක දවල් දානය වැළඳීමට ආසන්න මොහොතක මහා නා හිමියන්ගේ දකුණු අතේ ඇඟිල්ලක් පිහියකට කැපීම නිසා දානය වැළඳීම අපහසු විය. ඒ නිසා උන්වහන්සේ සිතුවේ පාන් වැළඳීමට ඇත්නම් එය පහසුවක් බවය.
ඒ මොහොතේ කවදාවත් නො දැකපු මනුෂ්‍යයෙක් පාන් ගෙඩියක් රැගෙන විත් එය මහා නාහිමියන්ට පූජා කළේය.
තවත් දිනයක මලබද්ධයට ප්‍රතිකාරයක් වශයෙන් අමු ගස්ලබු ලැබුණොත් තම්බා වැළඳීමට හොඳ බව ධම්මානන්ද හිමියන් සමඟ පවසන විට ඊට සුදුසු අමු ගස්ලබු ගෙඩි කීපයක් රැගෙන පැමිණි සිල්මාතාවක් උන්වහන්සේ වෙත ඒවා පූජා කළාය.
මහා නාහිමියන් වියපත් වීම නිසා කන් ඇසීම දුර්වල විය. දිනක් උන්වහන්සේ මෙසේ පැවසූහ. ධම්මානන්ද කන් ඇසීමත් දැන් දුර්වල නිසා ඇසීම වැඩිකරන උපකරණයක් ගත්තොත් හොඳයි නේද? ඒකට ලොකු මුදලකුත් ඕනෑවෙයි ‘ කියාය
එදාට පහුවෙනි දින හිටපු අග්‍ර විනිශ්චකාරවරයෙකු වු පාලින්ද රණසිංහ මහතා පැමිණියේ නායක හාමුදුරුවන්ගේ සුවදුක් බැලීමේ අපේක්‍ෂාවෙනි. ඒ මහතා සුවදුක් විමසා යන්නට සූදානම් වී නායක හාමුදුරුවන්ට අවශ්‍ය දෙයක් ගන්න කියා ධම්මානන්ද හිමියන්ට මුදලක් පරිත්‍යාග කළේය. ඒ නිසා ශ්‍රවණ උපකරණය ගැනීමට එම මුදලින් හැකි විය.

ජනක වෙත්තසිංහ

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 25

මහා නා හිමියන් පින්කම් කළේ නිහඬවය

රේරුකානේ මා හිමියන්ගේ බොහෝ ජන්ම දින පින්කම් සිදුවූයේ අත්‍යවශ්‍ය වූ අවශ්‍යතාවයන් වෙනුවෙනි. එසේම බොහෝ දාන පින්කම් සම්ප්‍රදායෙන් ගතානුගතිකත්වයෙන් මිදුණු ප්‍රායෝගික අවශ්‍යතා සැපිරූ පින්කම් බවට පත්වීම නිසා මෙම පින්කම් ඉතා වටිනා පින්කම් බවට පත්විය. උන්වහන්සේගේ මේ වෙනස් එසේම ප්‍රායෝගික පින්කම් කිරීම ඉතා විචිත්‍රවත් විය. බොහෝ අය නොසිතා නැවුම් දෙයක් කිරීම ඊට හේතුවයි

චන්දවිමල මහා නා හිමියන් පින්කමක්, දානයක් ආදිය කරනවා යැයි බොහෝ දෙනකුගේ කන වැකුනේ නම් එයට අවශ්‍ය අඩුම කුඩුම ලොරි ගණනින් ගොඩ ගැසෙන බව සත්‍යයකි. ඒ තරමට උන්වහන්සේට රට පුරාම දහස් ගණනින් සැදැහැවතුන් ඇළුම් කරන ඇත්තන් සිටි බව නොරහසකි. එහෙත් මහා නා හිමියන් පින්කමක් කරන විට රටට අඬ බෙර ගැසුවේ නැත. පින් පත්තර අතින් අතට යැව්වේ ද නැත.
තනතුරු පැමිණියේ මහා නා හිමියන් ට පිටු පසිනි. මහා නා හිමියන් වැඩ සිටියේ තනතුරුවලට ඉදිරියෙනි. 1947 වර්ෂයේ සිට තම ජන්ම දින පින්කම ඉතා හොඳින් කිරීමට උන්වහන්සේ පෙළඹුණේ තමාට ඇති හැකි ප්‍රමාණය හඳුනා ගනිමින් ය.
චතුරාර්ය සත්‍යය පොත ලීවත් මුද්‍රණය කිරීමට මුදල් කීයක් වත් නායක හාමුදුරුවන් අතේ නොවීය. එම නිසා මුද්‍රණය කිරීමට කීප දෙනෙක් ණයට මුදල් ලබා දුන්හ. පොත මුද්‍රණය කිරීමෙන් අනතුරුව ලැබුණු මුදලින් ණය ගෙවා දැමූ විට රු. 500 ක් ඉතිරි විය. ඒ කාලේ විදියට රු. 500 ක් කියන්නේ සැලකිය යුතු මුදලකි. එම මුදලින් නායක හාමුදුරුවෝ කැලණි විහාරස්ථානයේ දී ලොකු පින්කමක් සිදු කළහ. තවත් ජන්ම දින සැමරුමකදී අනුරාධපුරයට වැඩම කර රුවන්වැලි සෑය අභියස විදුලි ආලෝක පූජාවක් මල්, පහන්, ගිලන්පස පූජාවන් ඉතා සාර්ථක අන්දමින් පැවැත්වූහ. තවත් වර්ෂයක අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ද විශාල පින්කමක් සිදු කරන ලදහ.

කතරගමට වැඩම කර දිළින්දන් උදෙසා ආහාර පාන වස්ත්‍රාදිය පරිත්‍යාග කිරීම සමහර වර්ෂ වලදී සිදුකළහ. එවැනි ජන්ම දිනයකදී හොරණ සහ මත්තේගොඩ මහලු නිවාසයන්හි වැඩිහිටියන් වෙනුවෙන් දාන පින්කම් කළහ. තවත් වර්ෂයකදී කොළඹ මහ රෝහලේ භික්‍ෂු වාට්ටුවේ සිටින ගිලන් වූ භික්‍ෂූන් වහන්සේලාට දාන මානාදියෙන් සංග්‍රහ කර රෝහලට අවශ්‍ය රෝද පුටු මෙන්ම රෝගීන්ට අවශ්‍යය ඇඳන් කීපයක් ද පරිත්‍යාග කළහ.
එවන් උපන් දින සැමරුම් කීපයකදී තුලාභාර දාන කීපයක් ද සංවිධානය කිරීම විශේෂයකි. ‘තුලාභාර’ දානය යනුවෙන් අදහස් කරන්නේ තමාගේ බර ප්‍රමාණයට සහල් ආදී පාරිභෝගික ද්‍රව්‍ය කිරා ඒවා දන්දීම ය. තවත් එක් ජන්ම දින සැමරුමකදී කුඩා දරුවන් සිටින දිළිඳු අම්මලාට, කිරි පිටි, සීනි, තේ කොළ, සබන් සහ වස්ත්‍රාදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළහ. දරුණු නියඟය පැවැති කාලයක අනුරාධපුරය මිහින්තලය ආදී ප්‍රදේශයන්හි වෙසෙන ගර්භණී මාතාවන්ට අත්‍යවශ්‍ය දේ විමසා බලා ඒවා පරිත්‍යාග කෙරිණි.
එසේම කලා වැව ප්‍රදේශයේ ගංවතුරෙන් අනාථ වූවන්ට අවශ්‍ය ද්‍රව්‍ය සපයා දෙන ලදී.
මේ අතරවාරයේ තවත් ජන්ම දින පින්කම් කීපයකදී පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්‍ෂූන් වහන්සේලාට ද පරිත්‍යාගයන් සිදු කළහ. එසේම ඇතැම් වර්ෂයන්හිදී විහාරස්ථානය වෙත භික්‍ෂූන් වහන්සේ වැඩම කරවා දානය දෙන ලදී.
අප නිවසක විහාරස්ථානයක දාන දෙන විට එම දෙන තැනැත්තාගේ පරිත්‍යාගශීලීත්වය පිළිබඳව ගුණ කථන කිරීමට පෙළඹීම සිරිතක් වී තිබේ. තණ්හාව අත්හැරීමේ ප්‍රායෝගික ක්‍රියාවක් වශයෙන් දානයක් දෙන පින්වතාට වචනයකින් දෙකකින් පුණ්‍යානුමෝදනාවක් කළාට එය හිතට මදිකමකි. බඩකට පුරවා ලූ ආකාරයට හිතත් පිරෙන්නට ගුණ ගායනා ප්‍රශස්ති අවශ්‍යමය. නැතිනම් පින්කළ හිත කනස්සල්ලට පත්වෙයි.
එහෙත් තම විහාරස්ථානයට වැඩම වූ භික්‍ෂූන් වහන්සේට දානයක් දීමෙන් පසුව චන්දවිමල මහා නාහිමියෝ වචන කීපයක් කියා දානය පිරිකර ආදිය පරිත්‍යාග කළ අතර මුලින් හෝ අගින් කිසිම අනුශාසනාවක් කිරීමට නොපෙළඹෙති. තමා පිළිබඳ කෙරෙන ගුණ කථනයන් කාරුණිකව ප්‍රතික්‍ෂේප කරති. එමනිසා ඉතා අත්‍යවශ්‍ය දේ අඩංගු වූ මෙවැනි දානමය පින්කමක් ඉතා සරල එහෙත් අංගසම්පූර්ණ ආකාරයෙන් නිම වේ.
එසේම මහා නා හිමියන්ගේ ජන්ම දිනයේ දී එදිනට එළඹෙන වයසේ වසර ගණනට සමාන දිළිඳු අය කැඳවා ඔවුන් වෙත වියළි ආහාර පරිත්‍යග කිරීමට ද උන්වහන්සේ පෙළඹුණහ.
තවත් වර්ෂයකදී මඩකඩ ආරණ්‍යයට පුංචි විහාරයක් ද ඉදිකරවා දීමට ද නායක හාමුදුරුවෝ කටයුතු කළහ. දැනට විනයාලංකාරාරාම විහාරස්ථානයේ ඇති සීමා මාලකය ද සෑදුවේ එවැනි ජන්ම පින්කමකදී ය. මේ අතර ළිං පොකුණු කීපයක් සාදවා දීමට ද භික්‍ෂූන් වහන්සේලාගේ වාසයට අවශ්‍ය ආවාස කුටි කීපයක් සාදවා දීමටද ඒ දඬු පාලම් වෙනුවට කොන්ක්‍රීට් දමා දෙපා පාලම් ආදිය සකස් කිරීම මෙන්ම තවත් භික්‍ෂූන් වහන්සේලාට සොයා බලා අවශ්‍ය සිවුරු පාත්‍රා, ඇඳන් පරිත්‍යාග කිරීම මෙන්ම කන්‍යාවන් වෙනුවෙන් දෙන ලද දානයන් ද විශේෂ වෙයි.
ඇත්තෙන්ම රේරුකානේ මා හිමියන්ගේ බොහෝ ජන්ම දින පින්කම් සිදුවූයේ අත්‍යවශ්‍ය වූ අවශ්‍යතාවයන් වෙනුවෙනි. එසේම බොහෝ දාන පින්කම් සම්පද්‍රායෙන් ගතානුගතිකත්වයෙන් මිදුණු ප්‍රායෝගික අවශ්‍යතා සැපිරූ පින්කම් බවට පත්වීම නිසා මෙම පින්කම් ඉතා වටිනා පින්කම් බවට පත්විය. උන්වහන්සේගේ මේ වෙනස් එසේම ප්‍රායෝගික පින්කම් කිරීම ඉතා විචිත්‍රවත් විය. බොහෝ අය නොසිතා නැවුම් දෙයක් කිරීම ඊට හේතුවයි.
ඉහත අප සඳහන් කළ පරිදි මාහිමියන් මෙවැනි පින්කම් සංවිධානය කළේ වෙනත් කෙනකු හෝ අඩු තරමින් තමා සමීපයේ සිටි හිතවත් දායකයකුවත් අපහසුතාවයට පත් කිරීමෙන් නොවේ. තමා වෙත පෙර පින් බලයෙන් හෝ නිරායාසයෙන් ලද කීර්තිනාමය වෙනුවෙන් හෝ ලැබුණු යමක් වුණි නම් ඒ ලැබුණු දෙය අනුව දානයද සංවිධානය කළහ. එම නිසාම සමීපයේ සිටි කිසිවකුටත් පීඩාවක් ඇති නොවී ය. ලැබෙන දේ බෙදා දීමෙන් මෙවැනි උසස් පින්කම් කිරීමට උන්වහන්සේට හැකි වූහ. පරිත්‍යාගයේ සැබෑ අරුත ද මනාව දැන සිටි නිසා එයට අනුගතව චන්දවිමල හිමියන් කළ පින්කම් ඉතා උසස් පින්කම් බවට පත් විය.
එවන් යහපත් වඩාත් උචිත ප්‍රායෝගික අත්දැකීම් ඇසීමට ලැබීමෙන් ද අප සැමට ද සාර්ථක දන් පින්කම් ආදිය කිරීමට සුදුසු පසුබිමක් සකස් කර ගැනීමට අවශ්‍යය අවබෝධය ජීවිතයට උකහා ගත හැකි ය. මෙවන් දාන පිළිබඳ කතා කිරීමේ දී කල්‍යාණවංශ හිමියන් තම නායක හිමියන් විඳි අත් දැකීම් කීපයක් ද මෙනෙහි කරයි. “දවසක් මේ ළඟම තිබෙන මීමන කියන ගමේ ගෙදරක දානයක් සූදානම් කරලා අපේ නායක හාමුදුරුවන්ට ආරාධනාවක් කළා. දානය සියක් නමක් වෙනුවෙන් සකසා තිබෙන බවත් ඒ වෙනුවෙන් මැටි පාත්තර සියයක් දානය වැළඳීමට සූදානම් කර ඇති බවත් දායක පිරිස පැවසුවා.”
“එවිට අපේ නායක හාමුදුරුවන් දුන්නේ අපූරු උත්තරයක්. ඇත්තන්ම එය හොඳ පැහැදිලි කිරීමක්. මැටි පාත්තරේ හරි යකඩ පාත්තරේ හරි පිඟානක හරි වැළඳුවාට එහි කිසිම වෙනසක් නැහැ. මැටිපාත්තරේම වැළඳිය යුතු යැයි කියනවා නම් දානෙ බාර ගන්න අපහසුයි.”
“මේ වචන ටික ඇසීමෙන් පසුව දානය දීමට සිතාගෙන සිටි ඇත්තන් දොස් කියමින් යන්නට ගියා. ආයේ කවදාවත් පන්සල පැත්තේ ආවේ නැහැ.”
මෙයින් අදහස් කෙරෙන්නේ එවන් පින්කම් කිරීමේ දී සුදුසු ලෙස ක්‍රියාකරනවා හැර බලකිරීම් පීඩනයන් නොකළ යුතු බවකි. තම තමාට රුචි ආකාරයට අවශ්‍ය සීමාවන් තුළ කටයුතු කරනවා හැරෙන්නට නිශ්ඵල ක්‍රියාවන්ගේ ඵලය ද නිශ්ඵලමය.
චන්දවිමල මා හිමියන් සෑම විටම කටයුතු කළේ ධර්මානුකූල සත්‍ය මතම පදනම් වෙමිනි. යමකු කරන ක්‍රියාව ඊට අනුකූල නොවන්නේ නම් එය නොවළහා පහදා දීමට ඒ වෙනුවෙන් තම අදහස කෙලින් ප්‍රකාශ කිරීමට කිසිවිටෙකවත් මහා නාහිමියන් පසුබට වුණේ නැත. තමාගේ සමීපයකු හෝ එවැනි දේකින් කළකිරේවි යැයි අමනාපවේ යැයි සිතා නිවැරදි දේ පැවසීමෙන් පාඩුවක් සිදු වුවද වැරදි දෘෂ්ඨීන් හිත් තුළ රඳවා තබා ගැනීමට ඉඩ දී උන්වහන්සේ මුනිවත රැක්කේ ද නැත.
එසේම කවුරුන් හෝ තමා වෙත පහදවා ගැනීමට ඇඳ බැඳ තබා ගැනීමට සත්‍යයෙන් පිට පැන කිසිම දෙයක් නොකරණ, නිවැරදි දෘෂ්ඨියකින් හරිදේ පමණක් කිරීම මහා නා හිමියන් සතු වූ උදාර ගුණයක් බව කල්‍යාණවංශ හිමියෝ පවසති.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 26

තිගැස්මෙන්, කම්පනයෙන් තොර මනසක්

රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් තිගැස්මක්, කම්පනයක් හෝ දුක්ඛදායක අවස්ථාවක, කඳුළු සැලීමක් හෝ ඒ පිළිබඳව ශෝක වීමක් නොවුණු බව කල්‍යාණධම්ම හිමියෝ තම මතකය අවදිකරමින් කියා සිටිති. යම් කෙනකුගේ ජීවිත ගමනේදී එළඹෙන විවිධ සිද්ධීන්ට අනුකූලව කම්පාවීම, ශෝකවීම් වැනි අවස්ථාවන් ඇතිවීම ස්වභාවිකය. එය පුහුදුන් පුද්ගල චර්යාවන් හා බැඳී පවතින සාමාන්‍ය පොදු ධර්මතාවයකි.

එහෙත් චන්දවිමල මහා නා හිමියන් තුළ පිහිටියා වූ මේ සුවිශේෂ ලක්‍ෂණයන් විමසා බැලීමේදී හැඟී යන්නේ එය සාමාන්‍ය පුද්ගල චර්යාවන් අබිබවා ගිය දියුණු මානසික තත්ත්වයක දුර්ලභ ඵලයක් බවය.
කෙනෙකුට ජීවිතයේ දැඩි ව්‍යසනයකදී හෝ හැඬීම් ශෝකවීම් වැනි තත්ත්වයකින් වැළකී සිටීම අපහසු වුවද ඇතැමෙකුගේ තද සිතකට එය සමහර විටක දරා ගැනීමේ ශක්තිය මත එවන් අවස්ථාවකට මුහුණ දිය හැකි බව යම් යම් පුද්ගල චරිත දෙස විමසිලිමත් වීමේදී අපට දැක ගත හැකිය. එහෙත් ඒ බොහෝ අය එම දරා ගැනීම ඇති කර ගන්නේ ළයේ පවතින තෙත්ගුණයක් නොමැති බැවිනි. නැතිනම් සංවේදි හිතක් නොමැති සිතේ පවතින දැඩි බව නිසාය.
එහෙත් මානුෂීය ගුණයෙන් පිරිපුන් වූ සංවේදී කාරුණික වූ මෛත්‍රී සහගත වූ සොඳුරු පිවිතුරු සිතක් ඇති මානවකයෙක් තුළ මෙවැනි ගුණයන් පිහිටන්නේ නම් ඔහු මනැස රිසිසේ පදම්කරගත් අයෙකි. ජීවිතයේ සත්‍ය යථාර්ථය යම් තරමකට හෝ පසක් කරගත් පුද්ගලයෙකි.
තම ජීවිතය සම්බුදු දහමේ පෝෂණයෙන් වර්ධනය කරගත් ආත්මීය බන්ධනයන්ගෙන් වියුක්ත වූ ඇලීම් ගැලීම් ගැටීම් තුළින් ඈත් වූ ලාභාපේක්‍ෂාවන්ගෙන් තොර වූ චන්දවිමල මා හිමියන් වැනි උදාර භික්‍ෂූන් වහන්සේ කෙනකු තුළ පිහිටන අටලෝ දහමින් කම්පානොවන මෙවැනි තාදී ගුණය මතින් ගම්‍ය වන්නේ චිත්ත සන්තානය තුළ පැවතියා වූ ප්‍රභල තත්ත්වයකි. දියුණුවට පත් සිතක ස්වභාවයේ ලක්‍ෂණයකි.

ඉහත සඳහන් කළ ආකාරයට ඉතා තීව්‍ර අවස්ථාවකදී වුව හඬා වැලපී මෙන් තොරව කෙනෙකුට ඇතැම් විට සිටිය හැකිවුවද තිගැස්ම කම්පනය වැනි චෛතසික ස්වභාවයක් ජීවිතයේ මොනයම් හෝ මොහොතකදී පැන නොනැගීවියැයි සිතීමට අපහසු ය. මෙයට කදිම උදාහරණයක් ගෙන හැර පෑ හැකිය. එයද කල්‍යාණ ධම්ම හිමියන්ට මතක සිද්ධියකි.
නායක හාමුදුරුවන් බොල්ගොඩ පන්සලේ ඉන්නකාලේ ඇදේ සැතපිලා අවදියෙන් සිටින වෙලාවක වහලයේ සිට විශාල ගැරඬියකු නායක හාමුදුරුවන්ගේ පපුව උඩට වැටුණා. උඩ සිට වැටුණු අමාරුවට ඌ ටික වෙලාවක් පපුව උඩම සිටියා. මේ මොහොතේ නායක හාමුදුරුවෝ කිසිම තිගැස්මකින් කලබලයකින් තොරව හිටි ඉරියව්වේම සිටියා. ටික වේලාවක් පපුව මත සිටි ගැරඬියා හෙමින් හෙමින් ඇදී ගියා .
මෙම සිදුවීමේ ඇති විශේෂය වන්නේ එවන් අවස්ථාවක වෙනත් කෙනකු හැසිරෙන ආකාරය හා නායක හාමුදුරුවන් හැසිරුණු ආකාරයෙ ඇති වෙනසය. විශාල ගැරඬියකු බව අප දැන ගන්නේ වැටුණු සර්පයා, හඳුනා ගැනීමෙන් පසුවය. නමුත් අනතුර සිදුවන සැනින් ඌ විෂඝෝර නයකු යැයි සිතෙන්නට පුළුවන. (එසේ සිතෙන්නේ නයා හා ගැරඩියාගේ සිරුර ක්‍ෂණික හඳුනා ගැනීමට අපහසු බැවිනි) ඒ නිසා මෙම සිදුවීම මරණ බිය ඉතා හොඳින් දැනෙන අවස්ථාවකි. මෙවැනි සිද්ධියකදී ‘තිගැස්මකින්’ තොරව සිටීම නම් කෙනෙකුට ඉතාම අපහසු ය.
චන්දවිමල මහා නා හිමියන්ගේ සිත කියවිය හැකි තවත් සිද්ධියක් කල්‍යාණ ධම්ම හිමියෝ මෙසේ මෙනෙහි කරති.
නායක හාමුදුරුවන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු වු ගොඩිගමුවේ සෝරත හිමියන් නොසිතූ මොහොතක අපවත් වූයේ ය.ඒ හෘදයාබාධයක් හේතුවෙනි. දෙතුන් දෙනකු ගිහින් උන්වහන්සේ ඔසවාගෙන පැමිණි අවස්ථාවේ නායක හාමුදුරුවන් කිසිම කම්පනයකින් තොරව පැවසුවේ ‘වැඩේ කෙරිල වගෙයි’ කියාය. මෙය ඒ මොහොතේ බලාපොරොත්තුනොවු හදිසි මරණයකි. ඒ නිසා ආරංචියට පොලීසියෙන්ද පැමිණියේය. මෙම වික්‍ෂිප්ත අවස්ථාවේදි නායක හිමියන් හැසිරුණේ ඉතා සන්සුන්වය. මහා නා හිමියන් පිළිබඳව මෙසේ මතකය අවධි කළ ශාස්ත්‍රවේදි හේන්ගොඩ කල්‍යාණධම්ම හිමියන් නායක හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයකි. විහාරස්ථානයේ සියලු කාර්යයන් නොපිරි හෙළා සිදු කළේද උන්වහන්සේය. දහම්පොත් මුද්‍රණය කරමින් එහි වගකීම් සියල්ල දරමින් විහාරස්ථාන යේ සියලු කටයුතු සංවිධානය කළේද කළ්‍යාණධම්ම හිමියන්ය. උන්වහන්සේ 1996 අපේ‍්‍රල් 11 වන දින අපවත් වීම දරාගත නොහැකි පාඩුවකි. තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාගේ අපවත්වීම මහා නා හිමියන්ට දැනුම් දුන් අවස්ථාවේදී උන්වහන්සේ කිසිදු කම්පාවකින් තොරව පැවසුවේ ‘අපි ඉන්දැද්දි ගෝලයෝ ‘ යනව කියාය.
එසේම බොල්ගොඩ බොධිරුක්ඛාරාමාධිපතිව සිට අපවත් වී වදාළ කල්එළියේ සුමංගල මා හිමි ද රේරුකානේ මහා නා හිමියන්ගේ ගෝලයෙකි.
එම අපවත් වීම මහා නාහිමියන් දැනගත් මොහොතේ උන්වහන්සේ පැවසුවේ ‘ආ ඕක පුදුමයක්යැ මෙච්චර දුබල වෙච්ච මම මැරෙන්නේ නැති එකනෙ පුදුමේ “ කියාය. එහෙත් උන්වහන්සේ තුළ එතැනදීද කම්පාවක් ඇති නොවීය.
පියකු ජීවමානව සිටිද්දී යහපත් ලෙස රටට වැඩදායි ලෙස හදා වඩා ගත් දරුවන් මියැදෙන්නේ නම් එය මොනතරම් කම්පනයක් ඇති කරවන සුළු දැයි අපට සිතා ගැනීමට පුළුවන. එහෙත් තමන්ගේ දරුවන් වැනි වූ ගෝලයන් තිදෙනෙකුම උන්වහන්සේට ප්‍රථමයෙන් අපවත් වුවද මේ එක අවස්ථාවකවත් මහා නා හිමියන් කම්පාවූයේ හෝ ශෝක වූවේ හෝ නැත. මහා නා හිමියන්ගේ හිත හඳුනන කවුරුත් දන්නේ නැත. උන්වහන්සේ දැඩි සිත් ඇත්තකු නොවන බවය. එසේ නම් මෙසේ කම්පා නොවීමේ ශෝකවීමේ ස්වභාවය විශේෂත්වයකි. තමාගේම කෙනකු මිය යාමේදී එයින් වන පාඩුව හුදෙකලාව අසරණවීම ආදි තත්වයන් නිසා අපි කම්පාවෙමු. වැළපෙන්නෙමු. ශෝකවෙන්නෙමු. එහෙත් ඉපැදෙන කා හට වුවත් මිය යෑම ලෝක ස්වභාවයයි. මෙම නිශ්චිත තත්වය යතාර්ථවාදීව පසක් කරගත් තැනැත්තාට තමා සමීපයේ සිටි හෝ දුරක සිටි හෝ තැනැත්තාගේ මරණය දැනෙන්නේ එක ම විදියටය. එයින් මද කුදු හෝ නොසැලෙන කම්පාවෙන් ශෝක නොවන තැනැත්තා නිසි ජීවිතාවබෝධ ලද්දෙකි. අනියත වූ සියල්ල නැසෙනසුළු බව යථාවබෝධයෙන් පසක්කර ගෙන සිටි නා හිමියන් නොසැලීම අකම්පිත වීමේ මේ විශිෂ්ට යති චරිතය ප්‍රගුණ කළාවූ සුවිශේෂ ගුණයකි.
දුප්පත් නිවසක බණට දනට වඩින්නේ නම් මහා නාහිමියන් අනුශාසනාදිය සිදු කරන්නේද ඉතා උනන්දුවෙනි. ආපදාවකට හසුවූ සතකු කොහේ හෝ සිටිනවා දුටුවොත් සතාව පන්සලට රැගෙනවිත් සාත්තු සප්පායම් කිරීමට තරම් මහා නා හිමියන්ගේ සිත කාරුණික විය. නිතර විහාරස්ථානය හා සම්බන්ධ වී සිටි සාදයියා, සංකුපණ්ඩිත, ගණ්ඨාරතිස්ස,ධර්මපාල වැනි මානසික ව්‍යාධියෙන් පෙලුණු අසරණයන්ට මහා නා හිමියන් සැලකුවේ කාරුණික හදවතෙනි.
ඔවුන් කරන විකාර වැඩමෙන් කියන ඇතැම් කතා නා හිමියන් සාවධානව අසා සිටි අතර ඒ සියල්ල දෙස බැලුවේ උපේක්‍ෂා සහගතවය. සාමාන්‍ය මිනිසුන් පවා තැකීමක් නොකරන ප්‍රතික්ෂේප කරන මෙවැනි මිනිසුන් සමඟද සුහද සිතින් ඇසුරු කිරීම මේ මහා සුවිශේෂි මහා නා හිමියන්ගේ ගුණය ප්‍රසන්නය.
සාදයියා නිතර පවසන්නේ මෙම ලෝකේ මැව්වේ ඔහු බවය. නායක හාමුදුරුවන් දවසක් දානය වළඳන වේලාවෙ සාදයියා ද අසල විය. දානයට කටුවල්ලන්ද තිබුණි. ඒ වෙලාවෙහි මහා නා හිමියන් සාදයියා ගෙන් ඇසුවේ සාදයියේ ඔබ ලෝකය මැවුවා නම් කටුවල්ලන්ට මෙතරම් කටු තැබුවේ ඇයි ද කියාය. සාදයියා එවිට පැවසුවේ ‘ඔතරම් කටු නොතිබ්බා නම් මේ රසය ගැනීමට බැරි බව ය.
තවත් එවැනිම කෙනෙකි ‘ගණ්ඨාරතිස්ස’ ඔහු දවසක් මහා නා හිමියන්ට හොඳටම බැණ වදිමින් ලිපියක් එවා තිබුණි. නායක හාමුදුරුවන් කළේ එම ලිපිය වීසිකර දැමීම නොවේ. එයට ස්තුති කර පිළිතුරු ලිපියක් යැවීය. ඉන් පසුව මේ ගණ්ඨාර තිස්ස මහා නා හිමියන් සමඟ ඉතා කුළුපග විය. සිතා බලන්න. ලෝකය පුරා කීර්ති කදම්භය විහිදුවාලූ මෙවන් බහුශ්‍රැතයකු ගණ්ඨාරතිස්ස වැනි මිනිසකු කෙරෙහි දැක්වූ කාරුණිකභාවය තවත් සිහි මද ගතියෙන් පෙළුණු තැනැත්තෙකි ධර්මපාල. දවසක් රාත්‍රියේ ඔහු මහා නා හිමියන් වැඩ සිටි තැන ජනේලය ළඟට පැමිණ කතා කළේය. ඔහු පැවසුවේ නායක හාමුදුරුවන්ට එහා පන්සලේ මෝල්ගහ මං මෙහාට අරගෙන ආවා. මේ පන්සලේ මෝල්ගහ ඒ පන්සලට ගිහින් තියන්නද? ‘ කියාය.
මෙතනදී නායක හාමුදුරුවන් කලබල නොවී මෙසේ පැවසීය. ධර්මපාල ඕකම ගිහිල්ල ඒ පන්සලේ තියන්න. මේ මිනිසාගේ මනසට සරිලන ලෙස උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය දෙස බලන්න. මෙවැනි දෙයින්ද පෙනීයන්නේ මහා නාහිමියන් කිසිවකු කොන්කර නොදමමින් සුහදත්වයෙන් ඔවුන් පිළිගනිමින් සමාජයෙන් පැත්තකට විසිකර දැමූ මිනිසුන්ටද කාරුණිකව සැලකු බවයි. ඔවුන්ගේ මානසික ස්වභාවයට උචිත ලෙස මෙවන් මිනිසුන්ගේ සිත් කැලඹවීමෙන් තොරව සැනසෙන විධියට උපක්‍රමශීලිව කටයුතු කළ බවයි.
මා මේ අවශේෂී පුද්ගල චරිත මේ අසහාය චරිතය ද එකට ගෙන කතා කළේ මේ මහා නා හිමියන්ගේ සුවිශේෂි චරිතයේ අසාමාන්‍ය වු ගුණ කදම්භය කුදු මහත් මිනිස් සිත් තුළට විහිදුවාලූ ගුණය පසක් කර දීමටය. හරියට එය හිරු රැස් තියෙන අඳුරු අහුමුළු ද එළිය කරනවා වැනි මහත් ගුණයකි. බොහෝ අය නොතකා හරින සමාජය ප්‍රතික්ෂේප කළ මෙවන් අවශේෂි මිනිසුන් දෙසද සංවේදීව කාරුණිකව මෙන්ම අවධානයෙන් බලන මේ අපිරිමිත කාරුණික මෛත්‍රී සහගත සිත කම්පනය හෝ තිගැස්මෙන් ශෝකයෙන් නොපෙලුණේ දියුණුකළ මනසක විශිෂ්ටතා ගුණයක බලමහිමය නිසාම නොවන්නේ ද?

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 27

සසර දුර මග අඳුරු අහුමුලු එළිය කළ පහන් වැට

චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ ලියූූපොත් කියවා පැහැදී තම ජීවිතයට ඉන් ඉමහත් වූ ආලෝකයක් සලසා ගත් ගිහි පැවිදි ඇත්තෝ අදත් මේ සමාජයේ බහුලය. හෙටත් එය එසේම වනු ඇත. උන්වහන්සේ ලියූ පොත් 28 ක් වැනි සංඛ්‍යාව අතුරින් අඩුතරමින් එකදු පොතක් හෝ නොමැති බොදු නිවසක් ඇත්නම් එය ඉතා විරළ අවස්ථාවකි. ඒ තරමට එම පොත් පෙළ ගමින් ගම දොරෙන් දොරට පැමිණ පොදු බොදු මහජනතාව සමඟ ලෙන් ගතු විය. ඒ සඳහා අමුතු ප්‍රචාරයක් අවශ්‍ය නොවෙයි.

රේරුකානේ චන්දවිමල යන නාමය බොදු පොදු ජන මනසේ ඇඳි රැඳි පවතින්නේ තම ආත්මයේම කොටසක් ලෙසය. මේ බිම ධර්මාලෝකයෙන් බැබල වූ ධර්ම දේශනාවන්ගෙන් පිරිත් සජ්ක්‍ධායනාවෙන් සැනසුවාලූ සුපේශල ගුණයෙන් සිත් සතන් පහන් කළා වූ ආදර්ශයෙන්, ජීවිත හා යා වූ සංඝපීතෘවරුන් සැමට නිසි ගෞරවය පූජනීයත්වය කිසිදා අඩුනොවේ. එවන් භික්‍ෂූන් වහන්සේ මේ බිමේ අධ්‍යාත්මික අගය වර්ධනය කරන්නා වූ රත්නප්‍රදීපයන්ය. ඒ උත්තරීතර සංඝ සමාජය කශාය වස්ත්‍රා ලෝකය උදයට පායන දිනිසුරුගෙ අරුණාලෝකයේ කහ පැහැය සේම නිදිගත් ලෝකය අවධි කළ සේක. ධර්මද්වීපයේ මල් පිපුණේ ඵල දැරුවේ එවන් වූ සංඝ පීතෘවරුන් නිසා ය. කිසි සේත් එම සඟරුවන අවතක්සේරුවට පත්කළ නොහැක. ඒ සියලු සුපේශල ශික්‍ෂාකාමි බහුශ්‍රැත ධර්මධර භික්‍ෂූන් වහන්සේලාට නිසි ගෞරවය පුදකරමින්ම රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ට හිමිව ඇති තැන පිළිබඳව සඳහන් කළේ පවතින යථාර්ථය එයම නිසාය. පැවිදි දිවියේ පවිත්‍රත්වය සමඟම ධර්ම සන්නිවේදනය ලේඛනයෙන්, පොදු ජන මනසට නිවැරැදිව සරලව සුගමව රැගෙන ඒමට සමත්වූ නිසාම උන්වහන්සේ මෙසේ කුදු මහත් ජන හදවත් හා හෘදයාංග විය.
සිත් සතන් ව්‍යාකූල වූ ඇතැම් අය මනස නිරවුල් කර ගැනීම සඳහා කල්‍යාණ මිත්‍රයකුගේ සහාය පතනව සේ සොයා ගියේ රේරුකානේ මා හිමියන් ලියූ ධර්ම පුස්තකයන්ය. ඇතැම් ගිහියකු ගිහිගෙයින් නික්මී ශාසනාවතරණය කිරීමට තරම් ආත්ම ශක්තියක් උපදවා ගත්තේ මහා නා හිමියන් ලියූ ‘ශාසනාවතරණය’ නම් පොත පරිශීලනය කිරීම නිසාය. බෞද්ධයාගේ අත්පොත බොදු ගෙපැලේ නිවසේ මැදුරේ කාගෙ කාගේත් අත්පොත විය . ආරණ්‍ය, රුක්‍ඛමූල, ශුන්‍යාගාර ගත හුදෙකලා යෝගාවචර භික්‍ෂූන් වහන්සේ විමුක්තිය සොයා යන දුර්ග මාර්ගයේ අඳුරු අහුමුලු දකින විට ඒ අඳුර නිමවන පහන් වූයේ බොහෝ විට රේරුකානේ මා හිමියෝ ලියූධර්ම ග්‍රන්ථ පෙළය. සංකීර්ණ ගැටලුවක් විසඳීමට අවශ්‍ය ගුරු ඇසුර ලබා දීමට මේ ධර්ම ග්‍රන්ථ ගුරුතුමා පිහිටට සිටින්නේය. හුදෙකලා තැන්වල වැඩ වසන බහුතරයක් යෝගාවචරයාණන් වහන්සේලා පවසන්නේ විමුක්තිය සොයා යන වර්ගයේදී යම් ගැටලුවක් පැණ නගින්නේ නම් රේරුකානේ මහා නා හිමියන් ලියූ පොතකින් එයට විසඳුම සොයා ගත හැකි බව ය. මෙසේ පවසන බහුතරයක් යෝගාවචරයාණන් වහන්සේලා භද්‍ර යෞවනයේ පසුවන අය වීම විශේෂයකි.

එක් දිනක් මා දකුණු පළාතේ ඉම දුර කතරක පිහිටි ආරණ්‍ය සේනාසනයක් වෙත ගියෙමි. එහි ආවාස කුටි බොහොමයක් සැකසී තිබුණේ ස්වභාවිකව පිහිටි ගල්ලෙන් ආශ්‍රය කර ගනිමිනි. ගන වන ගහනය මැදින් ඉහැත්තෑවට යන විට එක්තරා හුදෙකලා ගල්ලෙනක් දුටුවෙමි. මිනිස් පුළුටක්වත් නැතැයි සිතූ සිතිවිල්ල වෙනස් වූයේ ගල් තලාවක වනා තිබූ චීවරයක් දුටු මොහොතේය. සෙමෙන් කුටියට ලංවන විට තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් භාවනා යෝගීව හිඳුණු දුටුවෙමි. දසුනපි‍්‍රය විය. බාධා නොකරමින් මම පසෙකට වුණෙමි. මඳ වේලාවකින් පසුව මිනිස් පහසක ඉව වැටුණු නිසාදෝ උන්වහන්සේ දෙනෙත් හැර සෙමෙන් නැඟිට ගත්හ. එහෙත් දොඩමළු වීමට එතරම් පි‍්‍රය නො කළ බවක් දැනුණි. වන කතරක් අතර මැද කැමරාවක්ද කරේ එල්ලාගෙන සිටි මගේ දසුනින් උන්වහන්සේ කලබල වේ යැයි සිතුණ නිසා මාගේ ගමන මෙන්ම අරමුණ වහා පැහැදිලි කළෙමි. අපටද මේ ගන වනය මැද හුදකලා භික්‍ෂුවකගේ වාසය කුහුලක් දනවන සිද්ධියක් නිසා යැයි හැඟුණ නිසා දෝ තමා පිළිපන් ගමන් මඟ ගැන සාරාංශ වශයෙන් යමක් කීමට උන්වහන්සේ ද පෙළඹුණහ. දුප්පත් පවුලක වුවත් ඉතා හොඳින් ඉගෙන ගත් මෙම තරුණයා විශ්ව විද්‍යාලය වෙත යන ගමන නවතා සිරිපා අඩවියේ දැඩි හිමයට අවතීර්ණ වූයේ භෞතික දියුණුවේ මඟ පසෙකලා අධ්‍යාත්මය පෝෂණය කර ගනිමින්, සසර මඟ කෙටි කර ගැනීමේ අභිලාශයෙනි. දැඩි ව්‍රතයක යෙදෙමින්, භාවනා අභ්‍යාශයේ නියැලෙමින්, ගඩා ගෙඩියෙන් පණ නළ ගැට ගසා ගනිමින්, ගෙවු කාලය සිහිනයක් විය. අරමුණ වෙත යන ගමන දුෂ්කර විය. ගිරිදුර්ග මතදි යා යුතු මගේ මහා ගල් පර අගාදයන් පෙනෙන්නටද විය. මේ ගැටලු වලට විසඳුම් අවශ්‍යය. හුදෙකලා ගමන තවදුරටත් යා නොහැකි බව දැණුනි. තමා සතු ධර්ම ඥානයද ඒ සඳහා ප්‍රමාණවත් නො වුණූ වග හැඟුණේය. විසඳුම් සොයා පැමිණි ගමන නැවතුණේ මේ ආරණ්‍යයෙනි.
ආරණ්‍ය සේනාසනාධිපතින් වහන්සේ වයෝ වෘද්ධය තපොවෘද්ධය, උන්වහන්සේ ලබා දුන් ඇතැම් ගුරුහරුකම් මේ තරුණ භික්‍ෂූන් වහන්සේගේ ගැටලු සඳහා උත්තර සැපයීමට ප්‍රමාණවත් නොවීය. මේ යොවුන් හිමියන් තම කතාව පැවසුවේ කිසිවකුත් අවතක්සේරුවට ලක් කිරීමට නො වූවද එයින් මා තේරුම් ගත්තේ හිමයේදි මෙන්ම අරණේදීද උන්වහන්සේට නිසි මඟ යාමට අපහසු වූ බවකි. මේ අතර අරණේ පුස්තකාලයේ තිබූ රේරුකානේ චන්දවිමල හිමියන්ගේ ‘පටිච්ච සමුප්පාද විවරණය’ නම් පොත අහඹූ ලෙස ඇස ගැසී එය කියවාගෙන යන විට දැනුනේ තමා වෙත එළඹුණු ගැටලු රාශියකට එයින් පිළිතුරු ලැබුණූ බවය. ඒ පිබිදීමත් සමඟ රේරුකානේ මහා නා හිමියන්ගේ වෙනත් පොත් ද කියවීමට උන්වහන්සේ පෙළඹුණහ.
ඇත්තෙන්ම එම පොත් බහුශ්‍රැත ගුරුවරයකු තම අත්දැකීම් සරලව පහදා දෙන ආකාරයට තමාට පිහිට වූ බව උන්වහන්සේ පැවසූහ.
ලද ප්‍රතිඵල පිළිබඳව විමසන විට උන්වහන්සේ පිළිතුරක් නොදුන් අතර මුහුණේ ඇඳී තිබුණේ නිරවුල්, ප්‍රසන්න සිනහවකි. සසර දුර මඟ ඉම පෙන්වන සංඥා කොළ එහි මෙම තරුණ භික්‍ෂූන් වහන්සේ දුටුවෙහිද? බැඳුණු වරපට ලිහා දැමුවා යැයි හැඟෙන ඒ ප්‍රසන්න සිනහව පසන් මනසක් ප්‍රතිබිම්භනය කර පෙන්වූ කැඩපතක් බඳු නො වේ දැයි මට සිතුණි.
ඡායාරූපයකට පවා පෙනී සිටීම ප්‍රතික්‍ෂේප කළ මේ යෞවන භික්‍ෂූන් වහන්සේ තම නමවත් තැනවත් සටහන් නො කරන ලෙස මා ගෙන් ඉල්ලා සිටියහ. මෙම සිදුවීම වී දැනට වසර දහයකට ආසන්නය. ස්ථානය මට තවමත් මතකය. උන්වහන්සේගේ නම අමතකය. එහෙත් අඳුර ඉරා පෑවු සෞම්‍ය සඳ මඩලක් සේ වු ඒ ප්‍රසන්න මුහුණ කිසිදා මතකයෙන් ගිලිහි නොයේ. මෙවන් වටිනා තරුණ ජීවිත අඳුරේම මැලවී මියැදෙන්නට ඉඩ නොදී පිබිදී දිදුලන්නට අවශ්‍ය රැස් කිරණ විහිදුවාලූයේ රේරුකානේ මහා නාහිමියන් ලියූ පුස්තකරත්න විසින් නොවේ ද?
දාහත් වසරක් චන්දවිමල මහා නා හිමියන්ගේ සමීපයේම උන්වහන්සේට ඇප උපස්ථාන කරමින් වැඩ සිටි කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ඇසූ ඇසුම් ලද අත්දැකීම් අනුසාරයෙන්ද උපහැරණ කීපයක් ගෙන හැර පෑ හැකිය.
පංචිකාවත්තේ මෝටර් රථවලට සම්බන්ධ වෙළෙඳ සැලක් අයිති මහත්මයෙක් දිනක් පැමිණියේ මහා නා හිමියන් බැහැදැකීමේ දැඩි කැමැත්තෙනි. ඒ කැමැත්ත ඇති වූයේ මහා නා හිමියන් ඔහුගේ ජීවිතය බේරා දුන් බැවිනි. එහෙත් පුදුමය නම් රේරුකානේ මහා නා හිමියන් කෙදිනකවත් ඔහු හා කතා කර හෝ හමුවී හෝ නොමැති වීමය. එසේ නම් ජීවිතය බේරා දුන්නේ කෙසේ දැයි බලමු. මෙම මහතා තරුණ කාලයේදී වෙනත් අයකු සමඟ යම් කාරණයකට දැඩිසේ උරණ විය. අවසානයේ සිතුවේ අමනාප වූ කෙනාට විශාල විපතක් සිදු කිරීමටය. ඒ සඳහා ඔහුගේ රියදුරුට කීවේ වාහනයක් රැගෙන තම මාමාගේ පොත් සාප්පුව අසලට එන ලෙසය. එහෙත් අදාළ වෙලාවට වාහනය පැමිණියේ නැත. ඒ නිසා ඔහුගේ කේන්තිය තව තවත් වැඩි විය. කේන්තිය උත්සන්න වී සංයමය බිඳී පොත් සාප්පුව පුරා එහෙ මෙහේ ඇවිද යන විට රාක්කයේ තිබූ පොතක් අතට අරගත්තේ නිකමට මෙනි. අරමුණකින් තොරව පොතේ පිටු පෙරළන විට එහි ඡේදයක් වෙත දෑස් යොමු වුණේ නිතැතිනි. එම ඡේදය බුර බුරා නැග ආ කේන්තිය මදක් දුර්වල කළ දිය දෝතක් මෙන් විය. පොත රැගෙන ඔහු කාමරයක් වෙත ගියේය. තවත් පිටුවක් දෙකක් පෙරළන විට මුළු පොතම කියවන්නට සිත් විය. මෙම පොතේ අඩංගු වූ සදහම් පාඨය අමා පැන් දියත්තක් සේ ගලා හැලෙමින් ද්වේශයෙන් ගිනියම් වූ සිත් බඳුන සිහිල් කළෙහිය. ප්‍රමාදය පසුතැවිල්ලට මුල වුවද මෙම ප්‍රමාදය සැනසීම උදා කළේය. එදා ඒ නපුරු සිතිවිල්ල ක්‍රියාත්මක කළේ නම් සමහරවිට ඔහු අද ජීවතුන් අතරත් නැති වීමට ඉඩ තිබුණි. නැතිනම් හිරේ විලංගුවේ ය. ඔහුට එසේ ජීවිතදානය ලැබුණේ කිසිදා හමුවී හෝ දැක නොතිබුණා වූ රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් නිසාය. එදා ඔහුට අහම්බෙන් කියවන්නට ලැබුණේ මහා නා හිමියන් ලියූ චතුරාර්ය සත්‍යය නම් ධර්ම ග්‍රන්ථයය.
දිනක් ධම්මානන්ද හිමි තම මෑණියන්ගේ සුව දුක් බැලීමට යන අපේක්‍ෂාවෙන් කොළඹ සිට බිබිල බලා යන බසයකට ගොඩ විය. සංඝයා වහන්සේ වෙනුවෙන් වෙන්ව තිබූ අසුනේ තරුණ භික්ෂූන් වහන්සේ දෙනමක් අසුන්ගෙන සිටි නිසා ධම්මානන්ද හිමියන්ට සිදුවූයේ පසුපස අසුනේ වාඩි වීමටය. ආහාර ගැනීමට බසය නැවැත්වූ වේලාවේ අර භික්‍ෂූන් වහන්සේ සමඟ කතා කිරීමේ අවස්ථාව උදා විය. පිළිසඳරේදි දැනගත්තේ ධම්මානන්ද හිමියන් පැමිණියේ රේරුකානේ මහා නා හිමියන් වැඩ සිටින විනයාලංකාරාරාමයේ සිට කියාය. රේරුකානේ මහා නා හිමියන් ගැන දන්නවාදැයි ධම්මානන්ද හිමි ඇසීය. එක් තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් පැවසුවේ ‘මොකද නැත්තේ මා අදද ජීවතුන් අතර සිටින්නේ රේරුකානේ නායක හිමියන්ට පින් සිදු වන්නටයි කියාය. දිනක් උන්වහන්සේ තම ගුරු හාමුදුරුවන් සමග යම් කරුණක් නිසා අමනාප විය. මෙය කොතරම් දුර දිග ගියේද කිවහොත් අවසානයේ මේ තරුණ භික්‍ෂූන් වහන්සේ සිතුවේ ජීවත් වනවාට වඩා මරණය ළඟා කර ගැනීම වඩා හොඳ බවයි. මරණය වෙත ලංවිය යුතු මාර්ග බොහෝ ඇති නිසා උන්වහන්සේ තෝරාගත්තේ උපවාසයයි. නොකා නොබී දින කීපයක් උපවාස කරන අතරතුරදී උන්වහන්සේ ගේ නෙත ගැටුනේ මේසයක් මත තිබූ ‘චතුරාර්ය සත්‍ය’ පොතය. මරණය අභිමුව සිට චතුරාර්ය සත්‍ය පොත කියවීමට සිත් විය.
ජේදයෙන් ජේදය පරිච්ඡේදයෙන් පරිච්ඡේදය පිටුවෙන් පිටුව පෙරළිණ. පලායන ජීවිතය ඉක්මනින් ඩැහැගැනීමට මෙතෙක් හැල්හොල්මන් කළ වියරු ‘මරණය’ නියාලු වී හැකිලි පසු බසින්නට විය. එසේ සිය දිවි නසා ගැනීම වැනි නරුම හැඟීම් මුලින් උපුටා දැම්මේ මෙම චතුරාර්ය සත්‍ය පොතය. මරණය අභිමුව නොසැලී ජීවිතය ජයගන්නා හැටි කියාදුන්නේ මේ චතුරාර්ය සත්‍ය පොතය. ඒ නිසා සියලු තරහව,ද්වේශය වියැකී. මෛත්‍රිය, කරුණාව ඉපැදී මේ තරුණ භික්‍ෂූන් වහන්සේට නැවත ජීවිතය තිළිණ කළේ ‘චතුරාර්ය සත්‍ය’ පොතය.


free counters

දහම් රස වින්දෝ