සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

පිළිවෙත් සරු මහ සඟගණ සොබනා


කොළඹ මරදාන, විෙද්‍යාදය පිරිවෙනෙහි
ආචාර්ය මුලනේ ගුණානන්ද හිමි

ලොව්තුරු දහම පුද්ගල කේන්ද්‍රීය වූ අවසානික ඵලයක්‌ කරා ලෝවැසි සත්වයා රැගෙන යන දහමකි. එහි සත්වයන්ගේ පිරිසිදු අපිරිසිදු බව තීරණය කරන අධිකාරී බලයක්‌ හිමි අදෘශ්‍යමාන බලවේගයක්‌ ගැන නූගන්වයි. සියල්ල විසඳීමේ එකම අධිකාරී බලය ඔවුනොවුන්ටම පැවරීම නිසා ලොව අන් සියලු ආගම් අතර ලොව්තුරු දහමට ලැබෙනුයේ සුවිශේෂී තැනකි.

බුදුන්වහන්සේ භික්‌ෂුන් සම්බන්ධව දෙසූ පිළිවෙත් පිරීමේ ප්‍රතිපදාව තුළ ඇත්තේද ඔවුනොවුන්ටම පිරිසිදු අපිරිසිදු බව තීරණය කිරීමේ අධිකාරී බලයකි. භික්‌ෂුව යනු මහා සමාජ කුලකයෙහිම තවත් එක්‌ අනුකුලකයකි. එහි එයටම ආවේණික වූ සංස්‌කෘතියක්‌ ඇත. එනිසා එය අන් සංස්‌කෘතීන්ගෙන් වෙනස්‌ වේ. බුදුන්වහන්සේ භික්‌ෂු සමාජයෙහි ශික්‍ෂණයට අදාළ චර්යා ධර්ම පද්ධතියක්‌ දේශනා කළහ. එම චර්යා ධර්ම භික්‌ෂුත්වය හා බැඳුණු ආධ්‍යාත්මික සංවර්ධනය හෙවත් ස්‌වාර්ථ සාධනය සඳහා මෙන්ම පරාර්ථ සාධනය සඳහාද මුල්වූවකි. පෙර කල භාරතයෙහි මෙන්ම ලක්‌දිවද වැඩිහිටි භික්‌ෂුන් මෙකී පරමාර්ථද්වය සාධනය කරනු වස්‌ ප්‍රතිපත්ති ගරුක වූහ. පිළිවෙත් සම්පූර්ණ කළහ.

මෙම ලිපියෙන් විමසා බලනුයේ ඒ ප්‍රතිපත්තිගරුක වූ පුරාණ භික්‌ෂුන්ගේ චරිතය තුළින් නූතන භික්‌ෂුන් කෙසේ ආදර්ශ ගත යුතුද යන්න පිළිබඳවය. ඒ සඳහා අට්‌ඨකතා තොරතුරු ඉතා වැදගත් වේ.

සංයුක්‌ත නිකාය අටුවාවෙහි දැක්‌වෙන්නේ පෙර අනුරාධපුර මහසෑයේ මළුවෙහි වැලිකැටවලට වඩා භික්‌ෂුන් පිළිවෙත් ස්‌වාර්ථය සාධනය කළ බවයි.

අට්‌ඨකතාවන්හි එන මෙකී තොරතුරුවලින් ඉස්‌මතු වන්නේ පැරැණි ශ්‍රී ලාංකීය භික්‌ෂුන් පිළිවෙත් පුරමින් ප්‍රතිපත්ති ගරුකව අප්‍රමාදීව කෙලෙස්‌ නැති කළ බවයි. ඇතැම් භික්‌ෂුන් පිළිවෙත් පිරීම සිය ජීවිතය මෙන් සිතීය. විසුද්ධි මාර්ගයෙහි සඳහන් වන්නේ පෙර ලක්‌දිව සොර කණ්‌ඩායමක්‌ විසින් වනයෙහිදී භික්‌ෂුවක රසකිඳ වැලකින් බැඳ තැබූ බවයි. වනය හාත්පස ලැව්ගින්නෙන් දැවෙන විටද රසකිඳ වැල කැඩීම ආපත්තියක්‌ බව දැනගත් භික්‌ෂුව එය නොකඩා විදසුන් වඩා රහත්වී එහිදීම පිරිනිවන් පෑහ. අතීතයේ විසූ ඇතැම් භික්‌ෂුන් දුෂ්කර පිළිවෙත් පුරමින් ස්‌වාර්ථය සාධනය කළා පමණක්‌ නොව එමගින් පරාර්ථයටද දායක විය. චෝරක මහ වෙහෙර විසූ මහමිත්ත තෙරුන් සිය මෑණියන්ට හටගත් විසගණ්‌ඩ රෝගයක්‌ පිළිවෙත් පිරීමේ බලමහිමයෙන් සුවපත් කළ පුවත එයට හොඳ නිදසුනකි. එසේම පෙර ඇතැම් භික්‌ෂුන් පිළිවෙත් පිරීමෙහි උදාසීන වනවිට උන්වහන්සේලා දිරිමත් කළේ සිව්පසයෙන් උපස්‌ථාන කළ දායක පක්‌ෂයයි.

මනෝරථපූරණී නම්වූ අංගුත්තර නිකාය අටුවාවෙහි එන අම්බරිය විහාරවාසී පිණ්‌ඩපාතික තිස්‌ස තෙරුන්ගේ කතා පුවත දායකයකු නිසා පිළිවෙත් පුරා රහත්බව ලැබූ භික්‌ෂුවකගේ කතන්දරයකි. එහි සඳහන් තිස්‌ස තෙරුන් මහවිහාරයේ චෛත්‍ය වඳිනු කැමැතිව එහි යන්නට පිටත්වූ විට මාගම වල්ලි වීදියෙහි දාරුභණ්‌ඩතිස්‌ස නම් උපාසකයෙකු තම දුව උකසට තබා කහවණු 12 ක්‌ ලැබ කිරි දෙනකු ගෙන ගිතෙල් සමඟ කිරිබත් භික්‌ෂුන් පිදීය. තම දියණිය නිදහස්‌ කර ගැනීමට සයමසක්‌ උක්‌ මෝලක වැඩකොට කහවණු 12 ක්‌ ලැබ එන අතරේÊදන් වේලාව වූ බැවින් තිස්‌ස තෙරුන්ට ඒ කහවණු 12 වියදම් කොට බත්මුලක්‌ පිදීය. තිස්‌ස තෙරුන් උපාසක තැනගේ හදකම්පා කරන සිදුවීම් මාලාව අසා අතිශයින්ම සංවේගයට පැමිණ රහත් බව නොලැබ වැළ» දානයෙහි විපිළිසර වී සත්දිනක්‌ම භාවනා කොට රහත්බව ලැබූහ.

මේ පෙර භික්‌ෂුන් කුඩාවූ වරදටද බියවී පිළිවෙත් පිරූ ආකාරයයි. පෙර විසූ ඇතැම් භික්‌ෂුන් පිළිවෙත් පිරීම පසෙක තබා තමන් රහත් යෑයි අධිමානයෙන් කල්ගත කළහ. හංකන නම් විහාරයෙහි හැටඑක්‌ වයස්‌ ඇති භික්‌ෂුවක්‌ එවැනි පැවතුම් ඇතිව විසූ බව මඡ්ජධිම නිකායේ සල්ලේඛ සූත්‍ර වර්ණනා අටුවාවේ සඳහන් වේ. මෙවැනිම රහත් යෑයි අධිමානයෙන් විසූ භික්‌ෂුවක්‌ සිතුල්පව්වෙහිද සිටි බව එහි සඳහන් වේ. තවත් එවැනිම අධිමානයෙන් විසූ භික්‌ෂුවක කැලණි ගඟෙහි ස්‌නානය කරන විට දීඝභාණක අභය නම් මහ තෙරුන්ගේ උපදෙස්‌ මත එක්‌ භික්‌ෂුවක්‌ දිය යටින් කිමිද උන්වහන්සේගේ පාදය ඇල්ලූහ. අධිමානයෙන් විසූ භික්‌ෂුව කිඹුලකු යෑයි සිතා කෑ ගැසුවේය. උන්වහන්සේ කෑගැසීමෙන් නොරහත් බව ප්‍රකට විය.

එමෙන්ම පෙර ඇතැම් භික්‌ෂුන් පිළිවෙත් නොපුරා ස්‌වාර්ථාධිගමයක්‌ නොලැබ අධික කාම රාගය නිසාම අපවත් විය. තවත් සමහරෙක්‌ ලැබූ ධ්‍යාන බලය රාගික සිතුවිලි නිසා නැතිකරගත්හ. පස්‌ අගුල්ලෙන විහාරයේ විසූ තිස්‌ස තෙරුන් එවැන්නෙකි. ගිරි නම් ගමෙහි විසූ ලෝකුරුවකුගේ දියණියක්‌ තරුණියන් පස්‌දෙනකු සමඟ නෙළුම් විලකට බැස දිය නා උස්‌ හඬින් ගී ගයමින් සිටියාය. තිසස්‌ තෙරුන් සෘද්ධියෙන් අහසින් ගමන් කරනවිට ඒ ගී හඬ ඇසී කාම රාගයෙන් දැවී ධ්‍යානයෙන් පිරිහී බිමට පතිත වූ පුවතක්‌ වේ. එසේම මිරිසවැටි විහාරයෙහි පැවැති දන්හලකදී සාමණේර නමක්‌ හා මෙහෙණියක්‌ රාගී සිතුවිලි ඇති කොටගෙන සෑම වසරකටම පසු නැවත හමුවී කාම රාගයෙන් මුසපත්වී සිල් බිඳගත් පුවතක්‌ද වේ. අට්‌ඨකතාවන්හි එන මේ සියලු කතා පුවත් මගින් ඉස්‌මතු වන්නේ ලක්‌දිව පෙර විසූ භික්‌ෂුන් පිලිවෙත් පුරමින් ලැබූ ආධ්‍යාත්මික සුවය හා පිළිවෙත් කඩකරමින් කෙලෙස්‌ වර්ධනය කොට අපාගතවූ ආකාරයයි. මෙහි සඳහන් කළ පිළිවෙත් පිරූ හා නොපිරූ භික්‌ෂු චරිත කතා තුළින් වර්තමාන භික්‌ෂු සමාජයට ගත හැකි ආදර්ශ බොහෝය.

නූතන භික්‌ෂුව ආධ්‍යාත්මික ශික්‌ෂණයට අදාළ පිළිවෙත් පූරණය කිරීමට යැමේදී මුහුණදෙන ප්‍රධාන ගැටලු රාශියකි. ඒ අතර සීමාමායිම් ඉක්‌මවා ගිහි සමාජය සමඟ බැඳීම් ඇතිකර ගැනීම ප්‍රධාන වේ. බුදුන්වහන්සේ කුල සංසර්ගය භික්‌ෂුත්වයට අනුචිත බව දේශනා කළහ. සංයුක්‌ත නිකායේ චන්දූපම සූත්‍රය කුලයන් කරා යැමට සුදුසු භික්‌ෂුව කවර ගුණාංග සපුරා තිබිය යුතු දැයි පෙන්වා දෙන්නේ උපමාවකිනි. තමන්ගේ අත අහසෙහි චලනය කරවා ඒ අත අහසෙහි නොඇලෙන්නා සේ අහස නොගන්නා සේ අහසෙහි නොබැඳෙන්නා සේ භික්‌ෂුවගේ සිතද කුලයන්හි නොඇලේද නොගැනේද නොබැඳේද තමාට ලැබුණු දේ ගැන සතුටුවන්නා සේ අනුනට ලැබෙන විටද සතුටුවේද එවන් භික්‌ෂුව ගිහි කුලයන් කරා යැමට සුදුසු බව පෙන්වාදී ඇත. වර්තමාන සමාජයෙහි නිස්‌සරණාධ්‍යාංශයෙන් ආධ්‍යාත්මික මෙහෙරවක යෙදෙමින් පිළිවෙත් පුරන බොහෝ භික්‌ෂුන්ට මේ කුල සංසර්ගය නිසා බොහෝ සමාජ අපවාදයන්ට මුහුණ දෙන්නට සිදුවී ඇත. සංයුක්‌ත නිකායෙහිද, රුක්‌ඛන්ධෝම සූත්‍රයෙහි එලෙස කුල සංසර්ගය නිසා භික්‌ෂුත්වයට හානිවන කරුණු අටක්‌ දක්‌වා ඇත. භික්‌ෂුවක්‌ ගිහි සංසර්ගයෙහි වාසය කරමින් ගිහියන් හා එක්‌ව සතුටුවේද එක්‌ව ශෝකීවේද සුවපත්වූවන් අතර සුවපත් වේද දුකට පැමිණියවුන් අතර දුකට පැමිණේද ගිහියන්ගේ යම් කටයුතුවලදී පැමිණි කල්හි තමාද ඒවායෙහි නියෑළෙන්නේද එබඳු භික්‌ෂුව මනුෂ්‍ය ග්‍රහණයට හසුවී භික්‌ෂුත්වය අහිමිකරගන්නා බව එම සූත්‍රයෙහි දැක්‌වේ.

වර්තමාන භික්‌ෂුව පිළිවෙත් පිරීමේදී මුහුණදෙන තවත් ප්‍රධාන ගැටලුවක්‌ වන්නේ ලොව්තුරු දහම පිළිබඳව ඇත්තාවූ සැකසංකා බවයි. දහම නිසිලෙස අවබෝධ කර නොගැනීමයි.

නූතනයෙහි තමන් සෝවාන් යෑයිද මාර්ග ඵලයන්ට පත්වී ඇතැයිද පවසමින් ආර්යයන් ලෙස වැජඹෙන්නට උත්සාහ කරනා ඇතැමුන් තුළද ඇත්තේ දහම නිසි ලෙස වටහා නොගැනීමය. ඔවුන් දැන දැනම පෝෂණය කරන්නේ කුහක ප්‍රතිපදාවය. කුහකකම යනු නැති ගුණ ඇතැයි පෙන්වීමයි. එය මහණකම පවා අහිමිවන බරපතළ ආපත්තියක්‌ වූ උත්තරී මනුස්‌ස ධම්ම පාරාජික ඇවතකි. ව්‍යාජ ඇවතුම් පැවතුම් මගින් නැති ගුණ ඉස්‌මතුකොට ලාභ ප්‍රයෝජන අපේක්‌ෂා කිරීම කුහකයන්ගේ ස්‌වභාවයයි. නූතනයෙහි තමන් සෝවාන් ආදී අධිගමයන්ට පත්වී ඇතැයි මාධ්‍ය මගින් කෑමොර යෙදන ඇතැම් භික්‌ෂුන්ගේ අපේක්‌ෂාවද ලාභ ප්‍රයෝජන මිස අන්කිසිවක්‌ නොවේ. කුහකයන් නිසා එදත් සඟ සසුනෙහි පිළිවෙත් පුරන භික්‌ෂුන්ට බාධා පැමිණිනි. අද ද එය එසේමය. එදා තමන් රහත් යෑයි වංචාවෙන් සැදැහැවතුන් රවටන චාටී අරහත්ත නම් භික්‌ෂුවක්‌ සිටි බවට තොරතුරු විභංග අටුවාවෙහි සඳහන්ය. සිය අසපුවෙහි ඇතුළත කුටියක මහසැලියක්‌ තබාගත් මෙම භික්‌ෂුව උපාසක උපාසිකාවන් කුටියට එනු දුටු විට වහා එයට රිංගා ගනී. උපාසකවරුන් එය නොදැක පිටත සිටි භික්‌ෂුව කුටියෙහි නොදැක මේ නම් රහත් උතුමෙකි. උන්වහන්සේ සෘද්ධියෙන් වැඩමකොට ඇතැයි විස්‌මයට පත්වී ගරු බුහුමන් කරති. ලාභසත්කාර දක්‌වති. මේ කුහක ප්‍රතිපදාවෙහි ස්‌වභාවයයි.නූතන භික්‌ෂුන්ට පිළිවෙත පිරීමට ඇති තවත් ප්‍රධාන බාධකයක්‌ වන්නේ නිශ්චල චංචල විහාර දේපළ පරිපාලන සඳහා සීමා මායිම් ඉක්‌මවා යොමුවීමය. මෙහිදී සීමාමායිම් ඉක්‌මවා යන යෙදුම විශේෂයෙන් භාවිත කරනුයේ ඇතැමකු එය අන්තගාමීව විවරණය කරනු ඇතැයි සිතූ හෙයිනි.නූතන භික්‌ෂුන්ට නිශ්චල චංචල විහාර දේපළ පරිපාලනයෙන් සම්පූර්ණයෙන්ම වියුක්‌තවී පිළිවෙත් පිරීම අපහසුය. එසේම එය ප්‍රායෝගිකද නොවේ. බුදුදහම සියල්ලටම මැද මාවතක්‌ පෙන්වාදෙන බැවින් පිළිවෙත් පිරීමට එය ඒකායන බාධකයක්‌ යෑයි අප අන්තගාමී නොවිය යුතුය.නමුත් විනය පිටකය තුළ අන්තර්ගතවූ නීති මගින් ද්‍රව්‍යමය වස්‌තු පිළිගැනීම පාලනය කිරීම හා භුක්‌තිවිඳීම ද ඇතුළත් සියලු ලෞකික වැඩ කටයුතුවලින් වළකින ලෙස භිකෂුවට අවධාරණය කොට ඇත. ඒ ස්‌වර්ථ සාධනය සඳහා මාර්ගය පහසු කිරීමටය. නමුත් එය නූතන අධිසංවර්ධිත සමාජ රටාව තුළ කෙසේ සකස්‌විය යුතු දැයි දහමට අනුගතව විමසා බැලීම වටී. මුල් කාලයේදී මහා පරිමාණ විහාර දේපළ අයිතිය මෙන්ම පරිපාලනය අද මෙන් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් ලැබුණු බවට සාක්‌ෂි හමුනොවේ.

අද පවතින විහාර දේපළවල අයිතිය තහවුරු කරන 'විහාරාධිපතිකම' ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් ලැබුණු බටව මුල්වරට සඳහන් වන්නේ පස්‌වැනි කාශ්‍යප රජුගේ බුද්ධන් නොහැල ටැම් ලිපියෙනි.

අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන් සමන්තපාසාදිකාවේ සඳහන් කරන්නේ කුඹුරක්‌ ඉඩමක්‌ වැවක්‌ ඇළක්‌ හෝ එවැනි නිශ්චල දේපළ කිසිවක්‌ පාලනය කිරීම, නොපිළිගැනීම භික්‌ෂුවට උචිත වුවත් එවැනි දේපළ කප්පිය කාරයකු විසින් පරිලනය කරනු ලබන්නේ නම් එම දේපළවල ආදායමෙන් සැපයෙන වේතනය පිළිගැනීම කැප බවයි. මෙයින් පෙනෙන්නේ සංඝයාගේ නඩත්තුව සඳහා පිරිනමන දේපළ භික්‌ෂුවක්‌ භාරගත යුතු වන්නේ ගිහියකු මාර්ගයෙන් (කප්පියාකාරයකු) බවයි. එහෙත් මෙම සම්මතයට පටහැනිව පෙර සිටිම භික්‌ෂුන් ආරාම පාලනයට දායක වූ බවට සාධක අට්‌ඨකතාවන් මගින් දැකිය හැකිය.

අථෙසාලිනී හා සමන්තපාසාදිකා යන අට්‌ඨකතාවන්හි සඳහන්වන සෑගිරියෙහි විසූ දීඝභාණක අභය තෙරුන් එවැනි භික්‌ෂුවකි. වත්මන් භික්‌ෂුන්ටද පිළිවෙත් පිරීමට දැඩි බාධකයක්‌ ලෙස පළිබෝධකයක්‌ ලෙස විහාර දේපළ - පරිපාලනය හැඳින්විය හැකිය. අටුවාචාරීන් ස්‌වාර්ථ සාධනය සඳහා උත්සාහවත්වන යෝගාවචාරීන්ට දස පළිබෝධකයන් බාධක ලෙසද දක්‌වා ඇත. ආවාස පිළිබෝධ යනු එහි එක්‌ බාධකයකි. මේ නූතන භික්‌ෂු සංස්‌ථාව පිළිවෙත්හි උදාසීන වීමට බලපෑ හේතු කාරකයන්ගෙන් කිහිපයක්‌ පමණි. පුරාණ භික්‌ෂුන්ගේ චරිතාදර්ශනය මගින් වත්මන් භික්‌ෂුව උගතයුතු පාඩම් බොහෝය. පිළිවෙත් පිරීමට පළිබෝධ කාරක වූ මෙකී දුර්ගුණ දුරුකොට පුරාණ භික්‌ෂුන් මෙන් පිළිවෙත්හිම ඇලෙන්නේ නම් නූතන භික්‌ෂුන්ටද ස්‌වාර්ථ සාධනය අපහසු දුෂ්කර කටයුත්තක්‌ නොවනු ඇත. නූතන භික්‌ෂුන්ද එලෙස පිළිවෙත්හි ඇලෙන විට එදා මෙන්ම අද ද රහතුන්ගෙන් ලොව හිස්‌ නොවනු ඇත.


free counters

දහම් රස වින්දෝ